Thursday, March 22, 2012

නූරි --- 13

සිතේ ඇතිවන වේදනාව නූරිව විඩාවට පත් කළේය. සියල්ල සිදුවූයේ තමාගේ වරදින් යැයි ඈ කල්පනා කළාය. යෞවන වියේ ඇතිවන ක්ශණික හැගීමකට මුල්තැන දෙමින්, හෙට සිට තරින්දට මුහුණදීමේ අපහසුතාවය නැවත මතකයට නගා ගනිමින් ඈ දුව ගොස් අල්මාරිය මත තිබූ කුඩා බෝතලය සිය සුරතට තද කර ගත්තාය.

***********
"නූරි, ළමයො ඇයි කලුවරේ, ලයිට් ගියා වද්ද ? " අම්මා කඩයට ගොස් නැවත එන අතරදී අඩ අදුරේ ගිලී ඇති නිවස දැක, දියණිය පෙනෙන්නට නැතත් විමසුවාය.

පිළිතුරක් නොලද තැන ඈ හඩ නගා "නූරි  ඊ ..." යැයි පැවසුවාය.

"පුතේ බලන්න අක්කි කොහෙද කියල... "

"අම්මි, අක්කි කාමරේ වැටිල ... එන්න....."
කුඩා ඔනෙල්ගේ කෑගැසීමෙන්. මව කාමරයට දුව ගියාය. එය වැටීමක් නම් නොවන බව අවබෝධ කරගත් ඇගේ මව, බොහෝ සේ අවුල් වූ සිතින්, අහළ පහළ පිරිසකගේ උදව්වෙන් නූරිව රෝහලට ‍රැගෙන යන ලදි.

"අහවල් එකක් උනාද මගෙ දරුවට , දෙය්යනේ... "
රෝහලට යන අතරදීත් නූරිගේ මවගේ වේදනාබර වචන ඈ සමග උන් අන් පිරිසවද අඩවන්නට සමත් විය. සැමදෙනාගේම සිත්වල තිබුනේ කුතුහලයකි.

"ඇයි අක්කෙ, දරුවට මොකකටවත් සැර වැර වත් කෙරුවද මේ දවස්වල ?"
පිරිස අතර සිටි කාන්තාවක් විමසුවාය..

"අනේ,, මයෙ කෙල්ලට අපි කවද්ද දෙය්යනේ නිය පිටින් පාරක් වත් ගැහුවෙ.. "
රෝහලට ඇතුලත් කල විගස ජයසේන මහතාද රෝහලට පැමිණියේය. වහ වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හදිසි ප්‍රතිකාර අංශය වෙත නූරි ව යොමු කළහ.





නූරි සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි. රෝහල් බංකුව මත ජයසේන මහතාද, ඔහුගේ සිරුරට හේත්තු වී කදුලු වගුරමින් සිටිනා බිරිදද දු‍ටු වෛද්යවරයා ඔවුන්ව පසෙකට කැදවා ප්‍රශ්න කරන්නට විය.

"බයවෙන්න දෙයක් නැ, ළමය බය කරන්න වෙන්නැති මෙහෙම දෙයක් කරන්න ඇත්තෙ... ඒත් මට මේකට හේතුව නම් දැනගන්න ඕනෙ.."

"ඩොක්ටර් මේ ඇත්තමයි, අපිට කිසිම දෙයක් හිතාගන්න බෑ.. අපෙ දරුවට එහෙම දෙයක් කරගන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ අපි දන්න විදියට.. "

"ඒක හරි පුදුමයක්නෙ.. මොකද අපි ළගට ඔහොම ළමයි ගොඩක් එනව, මං කියන්නෙ මේ වයස හොද නෑනෙ, එක එක දේවල්වලට පැටලිල ජීවිතෙ නැති කරගන්න උත්සහ කරන ලමයි සෑහෙන්න ඉන්නව... ඔය මොකක් හරි පොඩි හේතුවක් ඇති මේ වයසට... "

"අනේ මන්ද ඩොක්ටර්, අපි දැනුවත්ව නම් කිසි හේතුවක් නෑ, කෝකටත් මං දූගෙ ඉස්කෝලෙ යාලුවෙක්ගෙන් වත් ආරංචි කරල බලන්න්නම්කො.. "

නූරිගෙ පියා මේ පිළිබදව තරින්ද ගුරුන්ගෙන් විමසීමට සිතා ගත්තේය.

"දන්න අදුනන තරුණ සර් කෙනෙක් ඉන්නව ඩොක්ටර්, මං ඒ සර්ගෙන්වත් අහල බලන්නම්.. දරුවට මෙහෙම දෙයක් කරගන්න ඕනෙනම් ඒක කරගන්න ඕනතරම් හේතු තිබ්බ පහුගිය කාලෙනම් අපි පවුලම වැටිල හිටිය  නිසා.. "

පියා තවදුරටත් වෛද්යවරයාට ගෙවුණු කළ සිදුවූ සිදුවීම්ද සැකෙවින් විස්තර කළේය.

******************************

නූරි වස බී රෝහලේ යන පුවත විදුලි වේගයෙන් පාසැලේ ළමුන් අතර පැතිරෙන්නට විය. හේතුව සැම කෙනෙකුටම කුතුහලයක් බැවින්, හේතු නිර්මාණය කරන්නට ද බොහෝ අය පටං ගෙන තිබිණි.

තරින්ද විජේරත්න ගුරුන්ටනම් මෙය ප්‍රහේළිකාවක් නොවීය. නූරි දක්ශ දැරියක් හා යමක් කියූ විට අවබෝධ කර ගැනීමේ සමතියක් යැයි  සිතූ බැවින්ම මිසක ඔහු දුරකථනයෙන් ඈට කථා නොකරන්නට ඉඩ තිබිණි. ගුරු කාමරයෙ හිස් පු‍ටුවකට බරදී ඔහු අරමුණක් නොමැතිව හිස් බැල්මෙන් ඈත බලා සිටියේය.

"මගෙත් වැ‍රැද්ද, ඒ ළමයට ප්‍රශ්න මදිවට මේ වෙලාවෙ ඕක කිව්වෙ... "
සිතුවිලි සිතට එන්න පටන්ගත්විට ඔහුගේ සිත ඔහුට දොස් පවරන්නට විය. ඊයේ දිනදී නූරිගේ පියාද ඔහු හමු වී මේ පිළිබද දන්නා තොරතුරක් ඇතිදැයි විමසූ අවස්ථාවේදී ඔහු බොහෝ සේ අපහසුතාවයට පත්වුණු අයුරු සිහියට නැගිණි.

"පුතා, අපෙ ළමයගෙ මොනාහරි පටලැවිල්ලක් එහෙම තිබ්බ කියල ආරංචියක් වත් නැද්ද ?"

"අනේ , නෑ අන්කල්, මේ ළමයගෙ එහෙම කිසි හේතුවක් තිබ්බෙ නෑ, අපි ළමයි එක්කමනෙ ඉන්නෙ ... "

"දරුවගේ ජීවිතේටනම් අනතුරක් නෑ කියපු හින්ද හිතට බයක් නෑ.. ඒත් අපි හොයල බලන්න එපැයි දරුවො, කාගෙන්වත් බලපෑමකට බයේවත් ළමය මෙහෙම කරගන්න ගියාද කියල.. "

"ඔව්, ඒක නම් ඇත්ත තමයි.. අන්කල් බය වෙන්න එපා, ඉස්කෝලෙන් මම විස්තර හොයල බලන්නම්කො ... "

*******************

තෙසතියකට පසුව නූරි සුවය ලබා නිවෙසට ආවාය. පෙරදී කෙළිදෙලෙන් පසුවූ සිසුවිය වෙනුවට, බොහෝ සෙයින් නිහඩ දැරියක් වූ නූරි වැඩි කාලයක් තම කාමරයටම වී කාලය ගත කළාය. පාසැලට යාම බොහෝ සේ ප්‍රතික්ශේප කරන්නට වූවාය. සතියකට වතාවක් මිතිලා අවුත් දුක් සැප බලා යාම සිදු විය.

"මගෙ රත්තරන් පුතේ, ඔයා ඔහොම හැසිරුණොත් අපි කාටත් හිතට වේදනයි නේද ! අපිව දාල නුවරට එන්න පුලුවන්කම අප්පච්චිට තියෙද්දිත්නෙ අප්පච්චි අපි ඔක්කොම අරගෙන නුවර ආවෙ .. ඒ අපි හැමෝම සතුටින් එකට ඉන්න ඕනෙ හින්දනෙ දරුවො.. ඔයා ඔහොම කථා නොකර පැත්තකට වෙලා හිටියොත් අපෙ සතුට කෝ පුතේ.. ඇයි මගෙ පුතාට ඉස්කෝලෙ යන්න බැරි .. ? මොකක්ද ප්‍රශ්නෙ ...  "

නූරි කට පියාගෙන කාමරයට ගියාය. සිය හැගීම් වෙනුවෙන් පොර බැද, ඒ අසාර්ථක වූ කල්හි, ඈ පලිගන්නේ ඇගේ අහිංසක දෙමාපියන්ගෙන් බව බොහෝ තරුණ දුවනියන්ට මෙන්ම ඈටද අමතක වී තිබිණි.

තරින්ද ගුරුන්ගේද සිත බොහෝ ව්යාකූල වී තිබිණි. මේ සියල්ල සිදුවූයේ ඔහුගේ වරදින්ය යන හැගීමෙන් මිදෙන්නට ඔහුට නොහැකි වී තිබිණි. පන්තිය අතරතුරදී නූරිගේ දෑස් සොයා ඒ අකීකරු දෑස් සරන්නට පටන්ගෙන තිබිණි. නූරි සිටින දිනවල ඇගේ වගක්වත් සිතට නොදැනුන නමුත් ඈ නොසිටින මේ දිනවල ඈම සිහිවන්නේ ඇයිදැයි සිතට වදදෙන ප්‍රශ්නයක්ම විය. ඒ රවුන් මුහුණ නැතිව ඔහුටද පාලු දැන්නෙන්ට පටන් ගෙන තිබිණි. "මේ කෙල්ල මට වශියක් වත් කළාවද්ද" සමහර අවස්ථාවලදී ඔහු එහෙමද සිතුවේය.

නිතර හිනාවෙන් තිබූ නිවෙස කෙටි කලකින්ම අදුරු ගුප්ත ස්වරූපයක් ගන්නා ලදි. කළ හැකි දෙයක් නොවූයෙන් නූරිව තාවකාලිකව ගමේ මහගෙදර නැවැත්වීමට ඇගේ දෙමාපියන් විසින් තීරණය කරන ලදි.
වෛද්ය වරුන් පවසන ආකාරයට ඇයට රෝගයක් නොමැති බැවින්, ඇයට අවශ්ය දිනෙක නිහඩ බව බිදිනු ඇතැයි ජයසේන මහතාට වෛද්යවරුන් කියා තිබිණි.

"ඔන්නොහෙ එයාට තව ටිකක් කල් දෙමු.. ඊට පස්සෙ බලමු. .. අපි කෝකටත් දරුවව, ගමේ එක්කරන් යං.. අක්ක එක්ක ඉන්නකොට ඔය කට ඇරිල එයි .. "

මිතිලා පැමිණ මිතුරියට කතා කොට, සුපුරුදු ලෙසම පිළිතුරක් නොලැබුවාය. ඒත් අද ඈ වෙනදා මෙන් ඉක්මණින් නොගියාය. බලෙන්ම මෙන් ‍රැදී සිට, නූරිගේ මව නොමැති අවස්ථාවකදී හතරට පහට නැමූ කොලයක්, නූරිගෙ සුරතේ ගුලි කළාය.

"මොකක්ද ?" දුබල කටහඩින් නූරි විමසුවාය.

"සර් දුන්නෙ, ලියුමක් වෙන්නැති"

"මට, ඇයි ?"

"මං දන්නෙ නෑ, ඔයා පස්සෙ බලන්න.. " පහත් ස්වරයෙන් මිමිණූ මිතිලා යන්නට ගියාය.

නූරි ගැහෙන දෑතින් ලියුම අතට ගත්තාය.

"එක්කො හෙට ගමේ ගියාම බලනවා" ඈ එය පරෙස්සමින් ඇදුම් බෑගයේ යටටම දැම්මාය.





Wednesday, March 21, 2012

කෝ කොහිද කවුරුන්ද මේ වෙනස ඇති කළේ !

අහස සිඹින නෙක බිල්ඩිම් මැද්දේ
දවස ගෙවන නෙක තත්පර මැද්දේ
හවස දිනක් ගේ තුළ දී සද්දේ
දෙබස මතක් විය කවියෙන් විද්දේ ........

හවහට හෙමිහිට පුතු ගෙන උකුලට
හැඩේට ළංකොට පොඩි පුතු සිරුරට
කාලෙට වුණු දේ විය පවසන්නට
අපහට වුණි එය අහගෙන ඉන්නට ......

දසක අටක් වයසයි අත්තම්මා
දසක පහක් වෙයි මගෙ සුදු අම්මා
දසක තුනක් වත් මට නැත නිම්මා
දෙබස පටන් ගති අපි තුන් අම්මා .....

අත්තම්මා :
කන්ද උඩින් ඉර එබෙන්න පළමුව
නින්ද මතින් අපි නැගිටල විදි සුව
මන්ද උඹල මේ කරනා විහිලුව
ඉර දු‍ටු විට හිස පොරවයි තව තව !

නදේ සියොත් මැද ළිදට දිව්ව අපි
වදේ නොකිය ලිං දියත් ඇද්ද අපි
පදේ මොටද මගෙ අනේ අහෝ තොපි
බාත් රූම් මිස ළිදට යයිද තොපි !

අම්මා :
පාසැලට ගුරු පාර දිගේ ඇවිදන් එදා
සීරුවට අඩි තබා ගියෙමු ඒ අපි එදා
පූරුවට කල පවක්දෝ සිතේ මට මෙදා
උඹලාට අඩි දෙකට වාහනය හුරු මෙදා !

අත්තම්මා :
සිල් ගන්න පෝ දාට නැතේ අදිමදි කළේ
මල් පුදා බුදුන් හා දෙගුරුන්ට පෙම් කළේ
ගල් ලෑලි ගල් කූරු පමණකිය රජ කළේ
පොල් මල්ල වැනි බරක් පොඩි පිටේ අද කළේ !

අම්මා :
හූණු බිජු රසකැවිලි රස බැලුව අපි එදා
සත දෙකේ සියඹලා ගුලි ගිලපු ඒ එදා
පීසා ද මැකරෝනි විශ ගිලින මේ මෙදා
බලයෙන්ම ලෙඩ බදාගෙන විදිති දුක් සදා ......

නැතත් කිසි කෙනෙක් ගං දියට පැන නැටූ අපි
පාර දෙක වදින විට අඩ අඩා දුවපු අපි
පූල් එක මිස පැටව් දානවද ගගට අපි
අහෝ ඇයි නැති කළේ සොදුරු බව උන්ට අපි !

අත්තම්මා:
රාස්සිගෙ අව් ‍රැල්ල මිදුල සිප ගන්නවිට
ගම පුරා කුප්පිවල එලිය විහිදෙනා විට
හැම දෙනා ගෙට අවුත් එකතු වෙයි පිල උඩට
ඩොලැක්කය ගහන විට අපි ගයමු හරි හැඩට .....

ඩොලැක්කේ ගියත් විසිවෙමින් කුණු බක්කියට
ගිටාරේ ගේනවලු සුවය අද පැටි උන්ට
අපි එකල ටීටරේ නාට්ටිය බැලුවාට
දැන් උන්ට නාට්ටිය ගේනවලු සාලයට !

අම්මා :
පාසලේ සිට සෙමෙන් ඇවිද ආ යාලුවෝ
දෙපා පොඩි ඇලට දා කොටනතුරු මාලුවෝ
වේලි වල තිබුණු ඒ බිගු කැදලි හෑරුවෝ
අහෝ නැත දැන් උන්ට ඒ සොදුරු කාලයෝ !

අත්තම්මා:
කාලයේ ඇවෑමය අමුතු දේ සිදු කළේ
බාලයේ සොදුරු  බව ඇයි උන්ට නැති කළේ
තාලයේ හැටි ගමන නැතේ සුබ මේ කලේ
කෝ කොහිද කවුරුන්ද මේ වෙනස ඇති කළේ !

Monday, March 19, 2012

නූරි --- 12


සිත ඔහේ පාවී යද්දී රත් මල් වැට මැද්දෙන් වැලි පාර මතින් නූරි පන්තියට ආවාය.  අද ඇගේ පන්තිය අතුගාන දිනය නොවූවත් ඒ වනවිටත් පන්තිය අතුගාන යෙහෙළියන් නොපැමිණ සිටිය හෙයින් ඈ කොස්ස ගෙන අතුගාන්නට ගත්තාය. කුලුදුලේම පාසලට අද ගිය ඇගේ සොයුරු ඔනෙල්ව ඈට සිහියට නැගිණි. "මොන විකාරයක් කරලද දන්නෑ දැනටම ! " ඈ තමාටම කියාගත්තාය.


ටික වේලාවකින් පාසලේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් දේශාභිමාන ගී ප්‍රචාරය වන්නට විය. මෙය ඇගේ පාසලේ සෑම සදුදා දිනකම පාසල පටන් ගන්නාතුරු සිදුකෙරෙන දෙයකි. ඒ ශබ්දයට මුවාවී පන්තිවල කෙල්ලන්ද කොල්ලන්ද ශබ්ද නගා ගී වලට අත්වැල අල්ලති. කිසිවෙක් එයට එපා නොකීහ. නූරිද තනියෙන් වුවද ශබ්ද නගා අනිත් මිතුරින් එනතුරුම ගී ගායනයේ යෙදුනාය.

සාමාන්යයෙන් භෞතික විද්යාව කාලයේදී තරින්ද ගුරුතුමන් ඈ සමග විශේශයෙන් කතා නොකලද, අන් සියලු සිසුන් සිසුවියන්ට මෙන්ම ඈටද සලකුවේය. නමුත් අද ඔහු නූරි දෙස හිතාමතාම නොබැලුවේය. සියලුම ළමුන් දෙස එකවර බලමින්, කිසිම කෙනෙක්ගේ දෑස් වෙනම ග්‍රහණය කරනොගැනීමට ඔහු අද වගබලා ගත්තේය.

නූරිගේ මුහුණ හොද නැත. ඈ මිතිලාත් සමගින් පාසැල අවසන බසය කරා යමින් සිටියාය. ඈ කුමක්දෝ දෙයකට මුහුණ නරක් කරගෙන සිටියාය. උදේ බොහොම උද්යෝගයෙන් සිටි මිතුරියට කුමක් වූවාදැයි මිතිලාටද නොවැටහෙන බැවින් ඈ නිහඩ බව බින්දාය.

"මොකෝ, දැන් ඇතිනෙ මූණ කොරහක් වගේ කරගෙන හිටිය! කියපංකො, මොකක්ද අව්ල?"
නූරි රවා බැලුවාය.

"මට ඇති අව්ලක් නෑ, ඔයාට පේන හැටි.."

"මට විතරක් නෙවි නූරි, හැමෝටම පේනව ඔයාගෙ මූනෙ කැත, ඇයි කල්පවත් මොනාහරි කිව්වද?"

"අනේ පිස්සුද මිතිල. කල්ප හිතේ තියාගෙන ඉන්නව, අපි ඒව දන්නව කියලත් දන්නව, ඒත් ෆෝවඩ් නෑ, ඒක හොදයි ... කරදරයක් නෑනෙ එතකොට,"

"ඔව්, කෙලින් අහනකං නොදන්නව වගෙ ඉන්න පුලුවන්නෙ නේද? හරි දැන් ඌත් නෙවෙයි නම් කේස් එක මොකක්ද?"

"කේස් එකකුත් නෙවේ මිතිල, මට හරි දුකයි බං, සර් අද මගෙ මූණවත් බැලුවෙ නෑ, හරියට මං සර්ට වැ‍රැද්දක් කරල වගේ, "

මිතිලාට සිනා යන්නට පටන් ගත් විට නූරිට තවත් කේන්තිය වැඩි විණි.

"ඕකනෙ මං කිව්වෙ නැත්තෙ, ඔයාලට ඉතින් කවදත් විහිලුනෙ, කමක් නෑ මගෙ ප්‍රශ්නෙ මං විසදගන්නම්, ඔයා පැත්තකට වෙලා ඉන්න......."

"අපෝ නෑ නූරි මං හිනා වුනේ එහෙම ඔයාව පල් කරන්න නෙවෙයි.. ඔයාත් හරි පුදුමයි එක අතකින් බැලුවම.. "

"ඉතින් අනිත් අතින් බලපන්, එතකොට පුදුම නැති විදියට පෙනේවි... හිහ්"

"නෑ නූරි ඒ සැරේ ඔයා විහිලු කරනව, ඔයා තරින්ද සර්ට ඇත්තටම හිත යටින් ආදරේ කරනව නේ !"

නූරි ගැස්සී ගියාය. ලෝකෙටම ඇහෙන්නට "ඔව් මං සර්ට ආදරෙයි ඊ ඊ " කියන්නට උවමනා උවත් එයට සුදුසු වේලාවක් නොවේ මේ. එහෙයින් ඈ මෙලෙසින් පිළිවදන් දුන්නාය.

"එහෙම්මත් නෙවෙයි මිතිල, අනේ මන්ද !"

"ඔයා ඔය හිත රවට්ට ගන්න ඔහොම කිව්වට ඕකට ඔයා හැර හැමෝම කියන්නෙ ආදරේ තමයි .. කමක් නෑ නූරි , ඕක මොකක් වුනත් මමනම් ඕකට කැමති නෑ නූරි"

"ඒයි, ඒ ඇයි ඔයා එහෙම කියන්නේ ?"

"ඔයා මනෝලෝකෙක අතරමං වෙලා වගේ පිස්සුවෙන් සර් ගැන හිතුවට ඔයාවත් අපිවත් කවුරුවත් සර් ගැන හරියට දන්නෙත් නෑ. ඒක එකක්, අනික ඒ සර් කෙනෙක්, ඔයා සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක්, ඒක වෙනස් වෙන්නෙ නෑ කොහොමවත්.. ඔයා සර් එක්ක යාලුවුනොත් ඒක ඉස්කෝලෙටත් හරි නෑ ... "

"ඔයා කියන ඒව හරි මිතිල, ඒත් අපි ඒවට උත්තර හෙව්වොත් ඒ ප්‍රශ්න විසදගන්න පුලුවන් නේද ?"

"ඒවට උත්තර නෑ බං, මන් ඔයාට නොකිව්වට දිලිනි එක්කත් මේක කතා කළා.. "

"අනේ , දිලිනි මොනාද කිව්වෙ, පව් මිතිල ඔයා මං වෙනුවෙන් මහන්සි වෙලා... "

"ඇත්තම කියනවනම් දිලිනි උබත් එක්ක වැඩිය කථා කරන්නවත් එන්නෙ නැත්තෙ ඔය මගුල් සිතුවිලි හින්ද බං"

"ඒ පිස්සුනෙ බං දිලිනිට, මං එයාව ගිලිනවයැ !, සමයංද කොහෙද?"

"ඔයාට සමයං උනාට නූරි පොඩ්ඩක් හිතන්න, අපෙ ඉස්කෝලෙ නුවර තියෙන හොදම ඉස්කෝලයක් .. ඇයි ඔයා ඒ ගැන නොහිතන්නෙ... "

"හ්ම්ම්, හරි මම නරක දෙයක් කරන්නෙ නෑ මිතිල, අපි බලමුකො.. දැන් මට පොඩි උදව්වක් කරහං.. "

"ඒ පාර මොකක්ද?"

"අපි අර කමියුනිකේශන් එකට ගිහින් එමුද?"

"කාටද කෝල් ගන්නෙ,? සර්ටද?"

"හ්ම්, මට එදා ක්ලාස් ගියා කියල කියන්න බැරි උනා බං...  මං මේ කෝල් එකෙන් පස්සෙ ආයි සර් ගැන නොහිත ඉන්න බලන්නම්කො... "

නූරි සෙමෙන් තරින්ද ගුරුන්ගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කළාය.

"හෙලෝ...."
අනෙක් පසින් ඇසුණු ගැහැණු කටහඩ හමුවේ නූරි නිරුත්තර වූවාය.

තමා අතින් අංකය වරදින්නට ඇතැයි ඈ අනුමාන කළාය.

"හෙලෝ කවුද, තරින්ද සර්ට ද කථා කරන්න ඕනෙ, හෙලෝ... ".

"හෙලෝ ඔව්, සර් ඉන්නවද!"

"මල්ලි නම් දැනුයි ආවෙ, ලිදට ගියා තව ටිකකින් එයි, කවුද කතා කරන්නෙ මල්ලිගෙ පන්තියෙ ළමයෙක්ද , යාලුවෙක්ද කිව්වොත් එයාට කියන්න පුලුවන් ... "

"මං සර්ගෙ පන්තියෙ ළමයෙක්, නම නූරි... "

"ආහ් නූරි ද ? හරි නංගි මම කියන්නම් මල්ලි ඔයා ගැන කියල තියෙනව මට, ... "

"මං ගැන,,.. මො .. මොනාද සර් කියල තියෙන්නෙ"

"හරි නංගි, එහෙනම් මං කියන්නම්කො ඈ"... ඈ දුරකථනය විසන්දි කළාය.

දැන් තවත් ප්‍රශ්නයකි....  සියලු විස්තර අපේක්ශාවෙන් මිතිලා දුරකථන කුටියට පිටින් බලා සිටී. සියල්ල විස්තරාත්මකව පැවසූ නූරි අවසානයේ මෙසේද ඇසුවාය.

"මොකක්ද බං සර්ගෙ අක්ක මට එහෙම කිව්වෙකේ තේරුම..?"

"ම්හු, මොකක් උනත් ඒක උබ අද සර් කෝල් කරාම අහගනිං..."

"හ්ම්ම්... "

---------------------------------------

නිවෙසට පැමිණි වහාම ලහිලහියේ මුව සෝදාගත් නූරි දුරකථනය පේන මානයේ වාඩී වී ආහාර ගත්තාය. වෙනදා මෙන් නොව අද ඈට කාමරයට යාමේ කිසිම අවශ්යතාවයක් නැත්තා සේය. සාලයේ කෑම මේසය මතම පොත් පෙරලාගත් නූරි තමාට කරදර කරන්නට එන ඔනෙල්ට බැන වැදුණාය.

"පුතේ ඔයාට ඔතන වැඩ කරන්න බැරිනම් කාමරේට යන්නකො, මල්ලිට නිකම් බැන බැන ඉන්නැතුව,,, "

අම්මාගේ විධානයෙන් නූරි ඔනෙල් මොනවා කෙරුවත් ඉවසා සිටින්නට වූවාය. දුරකථනය නාද වන සෑම වේලාවකම නූරි වහා පැන එයට ප්‍රති උත්තර දෙයි.

"මොකද ළමයො... "

වරෙක දුරකථනය නාදවන විට එදෙස දුවන්නට ගොස් මේස කකුලක පය ගැටිණු මොහොතක අම්මා එසේ ඇසුවාය.

"අහ් නෑ අම්මෙ, මේ විකාරෙ රින්ග් වෙනව, පොතක් බලන්නවත් නෑනෙ නිදහසක්..."

"ඉතින් ඔයා ඉන්න මං ගන්නංකො... "

හවස කලුවර වැටෙනවිට නූරි සෙමෙන් කාමරයට ඇදුණාය. "මං නිකම් බලං හිටිය විතරයි ... මං මෝඩයෙක් වෙලා හවස් වරුවම කෑව, පාඩමවත් කරගත්තෙ නෑ.. අපරාදෙ! " ඇගේ සිත කියන්නට වූවාය.

නැවතත් දුරකථනය නාද වෙනු ඇසී ඈ සාලයට දිව්වාය.
 "අනේ සර්ම වෙන්න දෙය්යනේ... අම්මයි මල්ලියි කඩේ ගියා... සර්ම වෙන්න....... "

"හෙලෝ ... "

"හෙලෝ නූරි ........"

"සර්, නූරි තමා..."

"ඇයි නූරි කථාකළේ ?"

"අහ් සර්, මං මං මේ කථාකලේ අර සර් කිව්වෙ අර පන්තිවලට යන්න කියල.. "

"ඔව් .. නූරි යන්න හිතුවද?"

"ඔව් සර් මං ගිය සතියෙ ඉදන් යන්න පටන් ගත්ත... "

"ඉතින් හොදයිද පන්තිය.. ඉස්කෝලෙට වඩා තේරෙනව ඇති නේද?"

"තාම සර් එක දවසනෙ ගියෙ,,, "

"යන්න පටංගත්තු එක හොදයි. තව මාස කීයද විබාගෙට... දැන් ඉතින් හැම දෙයක්ම විබාගෙ වෙනුවෙන් තමයි වෙන්නෝ නෙ නේද නූරි ... "

"ඒ කිව්වෙ සර් ?"

"නෑ මේ මං කිව්වෙ නූරි, ඔය මේ වයසෙදි කොයි තරම් නම් දේවල් ළමයි කරනවද විබාගෙ අමතක කරල...  ඔය හැමදෙයක්ම අමතක කළොත් තමයි තමංගෙ ඉලක්කෙට යන්න පුලුවන් ... "

"ඔව් සර්, මට තේරුණා... මාත් එහෙම කරන්නම් සර් ... "

"හ්ම්, නූරි තනියමද ගෙදර ඉන්නෙ ?"

"නෑ සර්, දැන් අම්ම ඉන්නවනෙ, දැන්නම් පොඩ්ඩකට කඩේට ගිහින් මල්ලිත් එක්ක..."

"එහෙනම් නූරි පොඩ්ඩක් මං කියන එක හොදට අහගන්න... අපි ගුරුවරු.. අපි කවුරුත් ඔය වයස පහු කරල තියෙන්නෙ, ඔය වයසෙදි ඇතිවන හැම හැගීමක්ම වගේ අපිටත් එහෙම කාලයක් තිබුණු නිසා දැන් ළමයි හැරෙනකොට ගුරුවරුන්ට හිතාගන්න පුලුවනි.. නූරි ගොඩක් දක්ශ ළමයෙක්... නූරි අහගෙනද ඉන්නෙ?? හෙලෝ .."

"ඔව් සර් මං අහං ඉන්නෙ... "

"ඔයාගෙ යාලුව, මිතිලත් ගොඩක් හොදයි දක්ශයි ... ඉතින් දෙන්නම එකතු වෙලා වැඩ කරන්න... මේ කාලෙ පිස්සු නැ‍ටුවොත් ජීවිතෙ හැමදාම දුකින් තමයි ... මට නූරිගෙ හැගීම් තේරෙනව.. ඉස්සෙල්ල අපි විබාගෙ කරගනිමු... මොකද නූරි මම දන්නව මට ගුරුකමෙන් සැනසෙන්න වුනේ ඇයි කියල ... ඉතින් දැන දැන අපි ගින්දරට පනින්නෙ ඇයි ?? "

"මං තියන්නම් සර් එහෙනම්... "
නූරිට ඕනෑ කළේ කෑ ගසා හඩන්නටය. තව දුරටත් සර්ගේ මුහුණ බලන්නේ කෙසේදැයි ඈ සිතුවාය.

"හරි තියන්න ඕනෙ නම් තියමු නූරි , හැබැයි හෙට ඉදල ඔයිට වඩා උවමනාවෙන් වැඩ ටික කරන්න ඕනෙ මනස්ගාත අතහැරල...  "

"හරි සර්... මං තියනව... "

යටිතොල විකාගෙන කදුලු නවත්වාගනිමින් නූරි දුරකථනය තැබුවාය. ඈ හැඩුවේ ආදරය වෙනුවෙන් තැබූ බලාපොරොත්තු කඩවීමටත් වඩා ඇතිවූ ලැජ්ජාවටය.



"අයියෝ මං කරගත්ත විනාශෙක තරම... දැන් ඉතින් හොදට පාඩම් කරගන්න එක කොහොම වෙතත් හෙට ඉදල සර්ගෙ මූණ බලන්නෙ කොහොමද ?.. ඔයහැටි ගුරුවරුන්ට සාත්තර කියන්න පුලුවන්නම් තව ගුරුවරු කී දෙනෙක් ඉන්නවාද දන්නෙ නෑ මගෙ හැටි දැනගෙන... හපොයි දෙයියනේ... මට මොලේ පෑදෙන්න කල් ගියේ ඇයි මෙච්චර ..." නූරි ඇගේ කාමරයට ගොස් තම සිත හා තර්ක කරමින් ඇදේ පෙරළී කදුලු වගුරන්නට වූවාය.

Friday, March 16, 2012

බලා සිටිමු අපි ඔබ එන පෙරමග .....

පුංචි කුරුලු පොඩිත්තෝ
කූඩුවලට වදිත්තෝ
රංකැටි මගෙ සිගිත්තෝ
මගෙ උකුලට පනිත්තෝ .......

ඉර මාමත් හැංගෙනවෝ
හද මාමට ඉඩ දෙනවෝ
රන් තැටියක කිරි පැණි දී
මගෙ කුමරුන් නලවනවෝ ......

පුලුන් වලා කුට්ටි වගේ
උදේ තිබුනු සුදට සුදේ
අන්න අපට හොරෙන් පුතේ
පාට සේල පොරවාගෙන ......

අන්න බලන් පුංචි පුතේ
බට්ටි පැටව් හතර අතේ
රෑ කලුවට බයෙන් පුතේ
අම්ම ළගට තුරුල් වෙනව ........

අනේ ඉතින් පුංචි නෙතට
නිදිමත සළකුණු ආවට
එපා එපා දොයියන්නට
අප්පච්චී තවම මගලු .......

හැමදාමත් ඔහු එනවිට
සුදු පුතු දොයියන උන්නට
අදවත් අපි හිදිමු බලා
බැල්කනියේ කොනට වෙලා ......

Thursday, March 15, 2012

නූරි --- 11

නූරි --- 11

දරා ගත නොහැකි වූ බොහෝ දුකකින් නූරි ඇගේ මව දෙස බලා සිටියාය. සති කීපයකට පෙරාතුව ලස්සනට තිබුණු වත කමල අපාටව, දුර්වර්ණව ගොස් වැන්න.

සෑහෙන කලකින් අම්මා දැකීමේ ප්‍රීතිය ඔනෙල්නම් හොදින් භුක්ති වින්දේය, මාරුවෙන් මාරුවට අම්මා ළගටත් තාත්තා ළගටත් ගොස් තුරුල් වන්නට විය.

"පුතේ අම්මට මහන්සි ඇති, තේ ටිකක් හදමු" සුදු නැන්දා ගේ විධානයෙන් නූරි මුලුතැන්ගෙයට ඇදුණාය.


*****************

යාන්තම් ඉර එළිය පොළොවට පතිත වන්නටත් මත්තෙන් නූරි බසයට දුව ආවාය. අද ඇයට බොහෝ සෙයින් සතු‍ටු දිනයකි. ගෙදර අසලින් බසයට නැගගත් ඈ තවත් මිනිත්තු කීපයකින් කලින් කතාකරගත් පරිද්දෙන් දළදා මාළිගාව අසලදී මිතිලාට එකතු වූවාය. නුවරදී ටියුශන් පන්තියකට යන ප්‍රථම වතාව බැවින් මිතිලාගේ අතකිනුත් අල්ලාගත් නූරි අප්‍රමාණ සතුටකින් වළාකුලු බැම්ම අසලින් පා නැගුවාය.



"මේ ඔහොම හෙමින් ගියොත් නම් අද ඉන්න වෙන්නේ අන්තිම පේළිවල තම්යි නූරි... යමංකො ඉක්මනට.. "

"ඇයි මිතිල,, මෙච්චර උදෙන් ඇවිල්ලත් අන්තිම පේලිවල ඉන්න වෙයිද ඈ? "

"ඔයා මේ ෆස්ට් ඩේ නිසා දන්නෑනෙ නූරි .. ගිහිං බලන්නකො තෙරපෙන විදිය එතන......"

"මිතිලා.... ඒක නෙවී ........පන්ති ඉවරවුණාම මං එක්කො සර්ට කෝල් කරල කියනව ... "

"මොකක්ද ? "

"මොකවත් නෙවෙයි.. සර් කියපු විදියට ක්ලාස් ආව කියල.. "

"ඕන් නෑ බං... දැන් සර්ද ක්ලාස් කාඩ් ගන්න සල්ලි දුන්නෙ? නෑනෙ... සර් ඉතින් යන්න කිව්ව විතරනෙ.. ඕක කිව්වම ඊට පස්සෙ වෙන එකක් කියන්නත් උබට හිතෙයි ...."

"සර් නං නෙවේ තමා සල්ලි දුන්නෙ... ඒත්...කිව්වොත් තමා හොද"

"අනේ නූරි ඔයාට ඔය හැදීගෙන එන ලෙඩේනම් එච්චර හොද එකක් නෙවෙයි... ඔච්චර කොල්ලො ඉන්නව බලපංකො ඒ එකෙක් දිහා.. අහවල් එක්කටද සර් ට ලයින් දාන්නෙ ? ..... "

"අනේ ඔය හැටි කොල්ලො ඉන්නවනම් පේන් නැතෑ ?"

"හා දැන් ගිහින් බලපන්කො ක්ලාස් එකේ කොච්චර හැඩ එවුන් ඉන්නවද කියල... අනික නූරි තරිදු සර් කැම්පස් එකේදී කවුරුහරි එක්ක යාලුවෙලත් ඉන්න ඇති බන් ..."

"අනේ මං හිතන්නෑ මිතිල එහෙම.. "

"ආං මං කිව්වෙ බොරුද බලපං කාඩ් පෝලිමේ දිග... අපි ඉතින් වැනි වැනි එනකොට පෙරහැර ගිහින්... "

සෑහෙන පරිශ්‍රයක් දරා පෝලිමේ තල්ලුවී ගොස් පන්තියට ඇතුලුවූ ඔවුන් දෙදෙනාට එක ළග හිස් අසුන් දෙකක් සොයා ගත හැකි විය.

--------------------------------------------

"කොහොමද පුතේ පන්තිය ?"
ගේට්‍ටුවෙන් ඇතුලුවන්විටම අම්මා නූරිගෙන් විමසුවාය.

"හප්පේ හොදයි අම්මෙ... ලමයි ගොඩායි මගෙ හිතෙ දෙදාහක් වත් ඉන්න ඇති ... සර් කතා කරන්නෙත් මයික් එකෙන් .......ඊලග දවසෙ තව උදෙන් යන්න ඕනෙ, අද පස්ස පේලියක හිටියෙ හරියට ඇහුණෙත් නෑ...."

"අප්පච්චියේ එච්චර ලමයි ඉන්නවද ? අනේ මන්ද ඉතින් පන්ති නොගිහිනුත් බෑ කිව්වනේ..... "

"හ්ම්ම් .. නොගිහින් කොහොමද අම්මෙ, අර තරින්ද සර්රුත් කිව්වනෙ යන්නම කියල... ඉස්කෝලෙ ගුරුවරු කොච්චර මහන්සි උනත් බැරිලු සිලබස් කවර් කරන්න.. "

"හ්ම්ම් .. පුතේ ගිහින් එහෙනම් වොශ් එකක් දාගන්නකො .. මං මේ අප්පච්චි එනකන් බලන් ඉන්නෙ , හංදියට ගියා මල්ලිගෙ කොන්ඩෙ කප්පවගෙන එන්න..  සදුද මල්ලි ඉස්කෝලෙ යනවනේ පුතේ..."

"ආයිශ් අම්මෙ, මට තව ඩිංගෙන් ඒක අමතකත් වෙනව ! ඒක තමයි මල්ලි පේන්න නැත්තෙ.. මං බැලුව"
නූරි නාන කාමරය වෙතට යමින් කිව්වාය.

හිතට අමුතු සනීපයක් දැනෙන්නේ ඇයිදැයි ඈ කල්පනා කළාය. දෙතුන් දාහක් ලමුන් ඉගෙනගන්නා පන්තියක ඇත්තෙන්ම ඉගෙන ගැනීමනම් දුශ්කර කාර්යයකි. විටෙක හිස් මුදුනින් කඩදාසි රොකට්‍ටු පාවෙයි. පන්තියට ගිය ප්‍රථම දිනයේදීම දගකාර කොල්ලෙකු විසින් එවන ලද රොකට්‍ටුවක් නූරිගෙ කොන්ඩයේ ඇමිණී තිබී, සුලුවෙලාවකට පසු පි‍ටුපස පේලියේ සිටි කෙල්ලක විසින් ගලවා ඉවත් කරන ලදි. ඒ මොහොතේදීනම් ඈට කදුලු පනින්නට මෙන් ලැජජාවක් උපන් නමුදු, "ඕව ඔහොම තමයි නූරි" කියා මිතිලා ඇයව අස්වැසුවාය.

තවද ඉඩක් ලද කොයි මොහොතක හෝ තරින්ද ගුරුන්ට කතා කල යුතු යැයි නූරි සිතුවාය. ඔහු නොකීවානම් ඇත්තටම අප්පච්චී වුවත් මෙසේ ඈව ටියුශන් පන්ති යැවීමක් ගැන සිතයිද යන්න ඇයට අවිශ්වාසය.

"කොච්චර ළමයි හිටියත්, ඔය ලමයින්ගෙන් කීයෙන් කී දෙනෙක්ද කැම්පස් යන්නෙ! ඒ පුන්චි ගොඩ ඇතුළට මාත් කොහොමහරි යනවා.. මගෙ ටාගට් එක ඒක .. " සිතමින් ඈ නාන්නට පටන් ගත්තාය.

***************************************"
සදුදා උදෑසන පාන්දරම නූරිගේ මුලු නිවසම එකම යුද්ධයක් වී තිබිණි. වෙනදාට කෙසේවත් උදෑසන අවදිකරවාගන්නට නොහැකි ඔනෙල් පාන්දරින්ම අවදිවී පාසල් යාමට සූදානම් වී සිටියි.

ඔනෙල් සෙමෙන් ඇවිදියි. සපත්තු කුට්ටම අලුත් බැවින් එය පා පොඩි රිදවනවා ඇතැයි ඈ සිතුවාය.

"හනේ, සුදූ පව් අප්පා දැන් ඔය අදින් පටන් ගන්න ගමන දෙය්යනේ තව අවුරුදු කීයක් ඉගෙනගන්නද මල්ලියේ.. හයියෝ මංනම් යාන්තම් ඉවර වෙන්න කිට්‍ටුයි... අයියෝ සංසාරේ මගේ මල්ලියා... අද හිනාවෙන්න නෙවෙ මල්ලි අඩන්න ඕනෙ.. "

"නූරි මෝඩ කතා නොකියා ඉන්නවා... එන්න මගෙ රත්තරන් අපි කිරිබත් චුට්ටක් කමු.. "
අම්මා ඔනෙල්ට පෙනෙන්න නූරිට පහරක් ගසා සෙමෙන් මෙසේ කිව්වාය.

"ඔය අද නැගිට්ටට හෙට මෙයා නැගිට්ටවන්න බෝර ගහන්නවත් වෙයි .."

"අම්මෙ මාවත් මෙහෙමද ඉස්කෝලෙ යැව්වෙ පළවෙනි දවසේ ?"

"අහ් නෑ .. ඔයා ඒ දවස්වල උදේම නැගිටල අපිට උයල තියල තනියම නෙ ලෑස්ති වෙලා ගියෙ මතක නැද්ද  ... මම මේ මල්ලියට විතරයි මෙහෙම මහන්සි වෙන්නෙ ...  දැන් මෙතන ගැලතෙන්නෙ නැතුව ඔයත් ලෑස්ති වෙන්න, අප්පච්චි එක්ක ඔයාටත් යන්න පුලුවන් අද !"

"අම්ම යන්නෙ නැහ් ?"

"යනව ළමයො ... කොල්ල ඇඩුවොත් හෙම අප්පච්චිට ඔය හැටි නිවාඩු තියෙනවද , පහුගිය දවස්වලම කොච්චර ගත්තද "

ඔනෙල් ව අම්මා සමගින් ඔහුගේ පාසල අසලින් කාරයෙන් බස්සවන ලදි.
"සුදු කොක්කු වගේ අම්මා... ! අනේ පොඩි කට්ටිය ගොඩායි .. මල්ලි පරිස්සමින් හොදේ, රංඩු වෙන්නෙ එහෙම නෑ ලමයි එක්ක... "

"ඔව් මගෙ පුතේ... අක්කි වගේ හොද ලමයෙක් වෙන්න ඕනෙ.. " පියාද ඇයට එකතුවූවේය. "
ඒ කොක්කු ‍රැළට තවත් පුංචි පැටියෙක් සේ ගේට්‍ටුව අසලදී ඔනෙල්ද එකතු වූ පසු නූරිත්, පියාත් ඇගේ පාසල වෙත රථය පදවන්නට විය.

"ඔන්න පුතේ මල්ලිත් ජීවිතේ පටංගත්ත එහෙනම් ... " නූරි දෙස බලමින් පියා පැවසුවේය.
"හ්ම්ම් අප්පච්චි, අද ඊයෙ වගේ මල්ලි හම්බුනේ මටනම් ..."
"මටත් ඒ වගේ තමයි පුතේ... "

හදිසියේම නූරි දු‍ටුවේ බස් නැවතුමකට වී බසයක් එනතුරු බලා සිටිනා තරින්ද ගුරුතුමන්ය.
 "අප්පච්චි, අර අර ඉන්නෙ අපෙ සර්, අප්පච්චි නවත්තමු නේද ? අර සර්, අප්පච්චි එදා අපෙ වාහනෙ හැප්පුනෙ !"

"අප්පේ මට අදුන ගන්ටත් බැරි වුනා.. පුතා පස්සට යන්න, සර්ට නගින්න කියන්න.."

"ගුඩ් මෝනින්ග් සර්,  නගින්න සර්"

"ගුඩ් මෝනින්ග් පුතා, නූරි දැක්ක නිසා අදුන ගත්තෙ, නැත්නම් මම යනව දකින්නෙත් නෑ. , යන් මං ගිහින් දාන්නම් .. "

නූරි වහා පි‍ටුපස අසුනට ගියාය. යටැසින් ඈ දෙසත් ඇගේ පියා දෙසත් බැලූ තරින්ද, සෙමෙන් අසුනේ හිද ගත්තේය.

"පුතාට දැන් හොදටම සනීපයි නේද ?"

"ඔව් අන්කල්, දැන් හොදයි .. අන්කල්ල හැමදාම මේ පාරෙද එන්නෙ? "

"අනේ නෑ පුතා, අද මෙයාගෙ මල්ලිව ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලෙට බාරදුන්නානේ, අර ප්‍රෛමරියට.. ඒ නිසා ආවෙ, කෝ පුතාගෙ බයිසිකලේ ?"

"ඒක වික්කා අන්කල්, ගිය සතියෙ,"

දෙබස් සියල්ල සාවධානව අසා සිටි නූරිට ඔහු හොරෙන් හොරෙන් වාහනයේ ඉදිරි කන්නාඩිය තුළින් පි‍ටුපස, එනම් තමා දෙස බලන්නේ ඇයිද යන්නනම් වටහාගැනීමට අසීරු විය.

"සර් මං දිහා බලනව පේන්නෙ මාත් බැලුවොත්නෙ, මං නොබලා ඉන්නවා... " , ඈ සිතුවත් එය ප්‍රායෝගික නොවීය. බැලෙන්නේම එදෙසය.

"අන්කල්, ඔය හන්දියෙ අර කඩේ ලගින් නවත්තන්න, මං බහිනව .. තැන්ක් යූ අන්කල්,"

"ඕකේ පුතා, "

පාසල එක් වංගුවක් තිබියදී ඔහු එසේ බැස ගියේ ලැජ්ජවට යැයි ඈ සිතුවාය. කෙසේ නමුත් එය වඩා හොදයැයි ඇයද සිතුවාය.

"අද හොද දවසක්, " සිතමින්, නූරිද අනන්ත ලමුන් අතරට වැටී පන්තිය කරා ගාටන්නට වූවාය.