Friday, June 15, 2012

ඉරණම - 2

ඉරණම - 2


ඉරණම - 1
සාලයේ පු‍ටුවක ඔහේ දිග ඇදී සිටි ක්‍රිස්ටි නම් තරුණයාගෙත් මීනාගෙත් දෑස් එකට ගැ‍ටුණා.. ඔහු විගස නැගී සිටියා. මීනාට කිසිත් සිතන්නටවත් ඔහු ඉඩක් දුන්නේ නෑ, ඔහු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ඈ දෙසට තම සුරත දිගුකළා..

"හායි මේනාහ් .... " ඔහු මීනාට තාමත් සුරත දිගුකරගත්ත ගමන් ... තාමත් තම අත ‍රැදි මහේශ්ගේ දෑතේ උණුසුම තවත් කෙනෙකුන්ගෙ දෑතක් මත තවරන්නට ඈට සිතුණෙ නහැ,

ඔහු පැහැයෙන් සුදුයි... උඩු ‍රැවුල වවා තිබෙනවා, කොන්ඩය සම්පූර්ණයෙන්ම කපා තිබුණා, සාමාන්යයෙන් වයස 30ක් පමණ ඇති, සුදු පැහැ සැහැල්ලු කමිසයක් හා ක්‍රීම් පැහැ දිග කලිසමක් හැද සිටියා.

"කෝ, කනට දාපු කරාබු, බෙල්ලට දාපු ලොකු දම් වැල් වගේ චේන්, " ඈ ඒ ආයිත්තම් සෙව්වා, වෙනසකට උනේ ඔහු ඒ ආබරණ නොපැලද සිටීමයි, ඔහු තාමත් මීනාට සුරත දිගු කරගත්ත ගමන් ...

ඈ නොකැමැත්තෙන්ම "නොට් මේනා ආ හ් , ජස්ට් මීනා" කියමින් තම කාමරයට ගියා.

කළයුත්තක් නැ, ස්ව දෙමාපියන්ගේ තීරනයට යටත් වෙනවා හැරෙන්නට. ඈට තමා ගැනම ලොකු අනුකම්පාවක් දැනුනා, ඒත් සමගම ලැජ්ජාවක්, "ඇයි මං මෙහෙම බාල්දු වෙන්නෙ, මට තීරණයක් ගන්න බැරිද ? අම්මල මාව සුද්දෙකුට බිලි දෙනව වගේ ! " සිතුවිලි අතරින්ම ඈට ඇඩුම් ආවා..

"ඇයි දුවේ, අඩන්න දෙයක් නෑනෙ, දරුවො , ඔයා කොච්චර ලකීද ?"

නිවසේ පාලිකාව ඇගේ හිස අතගාන්නට වුණා, මීනාට අවශ්ය වුනේ මේ විශම ලෝකෙන් මිදී ඉහළ අහසේ පියඹා යන කුරුල්ලෙක් මෙන් මිදී නිදහසේ සිටින්නට, ඒ සිහිනවලට යළිත් පණ නොලැබෙන බව ඈ දැන උන්නා, .....

ඈ රිය කවුලුවෙන් ඈත බලා සිටියා, තෙන්නකෝනුත් ක්‍රිස්ටිත් විටෙන් විට කතා කරමින් උන්නා, ඒ දෙස උවමනාවෙන් සවන් නොදුන්නත් ඇයට යම් විශේශත්වයක් දැනුනා, ඒ ක්‍රිස්ටි සිංහල භාශාව කතා කිරීමට උනන්දු වීම, ඇදහිය නොහැකි තරමට ඔහු හොදින් බොහෝ වචන උච්ඡාරණය කළා, සමහර තැන්වලදීනම් ඇයට සිනහ යන්නට පවා ආවා,  එවන් විටෙක ඔහුගේ මුහුණ අදුරු වනු දැක ඈ කුරිරු සතුටක් ලැබුවා.

රිය නිවෙස් ආසන්න්යට එනවිටම හීන් වැහි පොදයක් පැතිර ගියා, මීනාට මතක් උනේ මහේශ්ව. හදිසියේ පන්ති නොපැවැත්වූ මෙවන් වැහි දිනයක ඈ ඔහුත් සමග ඇගේ මල් කුඩේ යටින් කො‍ටුගොඩැල්ල වීදිය දිගේ ඔහේ කරක් ගැහුවා.. ඊට පස්සෙ යටිනුවර වීදියට ... ඒ මිහිරි මතක ඉවරෙටම ඉවරයි ...

අම්මා කුඩයක් ‍රැගෙන හනික රිය ළගට ආවා, ඈ කේන්තිය පිට කළේ වැස්සේම ගෙට දුව ගනිමින්, අම්මා ක්‍රිස්ටිව කුඩේ යටින් එක්කරගෙන එනයුරු දු‍ටු ඈට සිනා නැගුණා,
"සමයං.."

දින කිහිපයක් යනතුරු ඈ තාත්තාටවත් ක්‍රිස්ටිටවත් හරියට මුහුන දුන්නේ නැ. කිසිම වෙනසක් නැතිව ක්‍රිස්ටි තමන්ගේ ගෙයක් ලෙස සලකා තම නිවසේ වාසය කිරීම මීනාගේ පුදුමයට හේතු උනා, කෙසේ නමුත් මීනා එක් දෙයක් තේරුම් ගෙන තිබුණා, ඒ සිතූ තරම්ම ක්‍රිස්ටි නරක මිනිසෙක් නොවන බව. ඔහු තාත්තාගේ බිස්නස් කටයුතුවලදී සෑහෙන කලක සිටන්ම ළගින් සිටිය බව ඈට මතකයි, ඈ කුඩා කලදීත් මේ නිවසට ඔහු ඇවිත් ගියා ඈට මතකයි, නමුත් ඔහු තමාව විවාහ කරගන්නට උත්සාහ දරනු ඇතැයි ඈ සිහිනෙකින්වත් සිතුවේ නෑ.

දවස තිස්සේම ඔහු තාත්තා සමග බිස්නස් වැඩවලට කියා පිටතට යනවා. නිවසේ ‍රැදෙන වෙලාවලට මීනාත් සමග කතාවට උත්සාහ කලත් උත්සාහය ව්යර්ථ වෙනවිට තෙන්නකෝන් හා අම්මා එක්ක හෝ කතා කරමින් සිටිනවා. ඒත් සිංහලෙන්. ඇත්තෙන්ම ඔහු හරි පුදුමාකරයි.

"දූ මොනාද ඔය හැටි කල්පනා කරන්නේ?" අම්මා ළගටම ඇවිත් .. ඒත් මීනා තාමත් ජනේලෙන් එපිට ලෝකෙක නතරවෙලා.

"ඔය හැටි හිතන්න දෙයක් නැහ් පුතේ.. ඔයාගෙ හොදටයි හැමදේම වෙන්නෙ.. ක්‍රිස්ටි නරක ලමයෙක් නෙවෙයි. මටත් දැන් ඉස්සරට වඩා ඒ දරුව ගැන පැහැදීමක් තියෙනවා.. ඔයා බය නැතුව ඉන්නකො පුතේ, එයා ඔයාව හොදට බලාගනියි. "

ඇත්තෙන්ම  ඒ බව ඈත් තේරුම් අරන් තිබුණා, ඒත් ඈ දන්නා තවත් කාරණයක් තියෙනවා. ඒ ඔහු මහේශ් තරම් නම් හොද නැති බව.

"ඒත් අම්මා ක්‍රිස්ටි සුද්දෙක්නෙ.. මං උන්ට කැමති නෑ.."

"පුතේ , ඒ ළමයා සුද්දෙක් වුණාට අපෙ සමහරුන්ට නැති හොද සිරිත් ඒ ළමය ළග තියෙනවා, අනික ගොඩක් වෙලාවට ගෑනු අපිට තියෙන එකම දේ හොදම දේ කියල හිතන්න වෙනවා අපෙ ජීවිතවල සමහර වෙලාවට. මාත් ඒ විදියට නොහිතුවානම් අද අපි කොහෙ ඉදියිද දන්නෙ නෑ, "

මොකක් නමුත් අම්මා කියන කතාව දුක්බරයි වගේ, මීනා අම්මා ළගට ගියා, ඈ සිටියේ ඇද මත වාඩිවී. මීනා එතැන බිම වාඩිවුණා, පුරුදු පරිදිම අම්මා ඇගේ හිසේ කෙස්ගස් අතරින් සිය ඇගිලි යවන්නට උනා. දැනෙන සනීපෙ.

"ඔයාගෙ අප්පච්චි නැතිවෙනකොට ඔයාට කිසි දෙයක් තේරෙන්නෙ නැති පොඩි එකෙක්, අප්පච්චි නැතිවෙලා අවුරුද්දකට විතර පස්සෙ තමයි පුතේ තාත්ත මට මුණ ගැහුනෙ.. හ්ම්ම් ..
එයාත් එතකොට මැරි කරල ඩිවෝස් වෙලා උන්නෙ. මං ගැන එයා උනන්දු වෙන බව මට තේරුණාට පුතේ මට ඕනෙ උනේ ඔයාව ලොකු කරගන්න විතරයි. ආයෙත් මැරි කරන්න උවමනාවක් උනේ නැ මට. ඒත් අත්තම්මලාට , මාමලාටනම් ලොකු බයක් තිබ්බ අපෙ ජීවිත ගැන, ඉතින් එයාල එක පයින් තාත්තට කැමති උනා, අන්තිමට උනේ මගෙ කැමැත්තක් නැතුවම අපිව තාත්තා එයා ලගට ගත්තු එක. ඒත් පුතේ එදා තාත්තා ගත්තු තීරණෙ වැරදි එකක් නෙවෙයි.. එයා කවදාවත් ඔයාට අඩුවක් කලේ නැ, මල්ලිල ඉපදෙන්න ටිකක් කල් යනකොට තාත්තලගෙ ගෙවල්වල අය පොඩ්ඩක් අරක මේක කියන්න ගත්තා, අපි එයාලව හිතාමතා පරක්කු කළෙත් ඔයාට වෙනස්කමක් වෙයි කියල බයට. මල්ලිල හිටිය කියලත් ඔයාට තාත්ත වෙනසක් කලේ නෑ.. ඒ නිසා මට විශ්වාසයි තාත්තා ගත්තු මේ තීරණයත් වැරදි නැ, ක්‍රිස්ටි සිංහල නොවුනට ඒ දරුව හොදයි. ඔයා එයාව බදින්න කැමති වෙන්න පුතේ. ඔයාට වරදක් වෙන්නෙ නෑ.. ඔයාගෙ අප්පච්චි ඔයා දිහා බලාගෙන ඇති."

"හ්ම්"

දිනෙන් දින ගෙවී ගොස් ඇගේ මංගල දිනය උදා වුනා. ක්‍රිස්ටිගේ පාර්ශවයෙන් මංගල උත්සවයට සහභාගී වුණේ ඉතාම ස්වල්ප පිරිසක්. ඒ පිරිස සතු‍ටු කිරීම උදෙසා මීනාට පල්ලියේ චාරිත්‍ර සහිතවද, තම සමීප අය්ගේ සතුට වෙනුවෙන් පෝරුවේ චාරිත්‍ර ද සියල්ල සහිතව මංගල උත්සවය ගන්නට සිදුවුණා. සියල්ලෝම සතුටින්.

කිසිම දෙයක් කිසිම දිනක පැතූ ආකාරයෙන් නොවන්නේ ඇයිදැයි යන ප්‍රශ්නය ඔස්සේ ඈ අතරමං වී සිටියා.
උදැසන පිපුනු කුසුමක් මෙන් සුන්දරව තමා අසලින් සිටින තම ප්‍රියම්බිකාව පිළිබදව ක්‍රිස්ටි බොහෝ සේ අමන්දානන්දයට පත්ව සිටියා..

 "මහේශ්, මට සමාවෙන්න මහේශ්... " මීනා සිතින් දහස්වර කියා සිටියා..

...............

සිය විවාහයෙන් දෙසතියක් ඉක්ම ගිය කල්හි ක්‍රිස්ටි තම මව්‍ රට බලා යාම පිළිබද මීනාගෙන් කැමැත්ත විමසුවා. ඔහුට අවශ්ය වූයේ ඇත්තෙන්ම ඇගේ කැමැත්තටම ඉඩ දීමට. කෙසේ වෙතත් මීනාත් ගැහැණු නුවණ උපයෝගී කරගනිමින් තම ජීවිතයට අනුගත වෙමින් සිටියා. ජීවිතයේ ඉදිරි කාලය ගෙවීම උදෙසා ක්‍රිස්ටිගේ රටට යායුතු යැයි මීනා තදින්ම කියා සිටියා. මීනාට අවශ්ය වූයේ මහේශ් පිළිබද මතකය කොහේ හෝ වළලන්නට. එහි ප්‍රතිඵලය ලෙස ඔවුන් ඔහුගේ රටට පැමිණියා. ක්‍රිස්ටි සුද්දෙක් වුවත් ඔහු බොහෝ සෙයින් වෙනස් මිනිසෙක් බව ඈට හැගී ගියා. එවන් මිනිසෙකුට වෛර කරමින් සිටීම තේරුමක් නැති ක්‍රියාවක් බව ඈ අවසානයේ වටහා ගත්තා.

කාලයත් සමගින් ඇගේ සියලු පැතුම් ඉ‍ටුවුණා. ඈ බොහෝ සෙයින් ස්වාමියාට ලැදි පිය බිරිදක්ම වූවා, සියල්ලට රහස ඔහු බලාපොරොත්තු නොවූ විරූ අයුරින් සුන්දර මිනිසෙක් වීමයි. සතුට පිරුණු කැදැල්ලක හිමිකාරියක් ලෙසින් ඈ තම දෙමාපියන්ටත් තොරතුරු දැන්වූවා.

සුදු හිසකෙස් හා නිල් ඇස් ඇති සුදු පැහැ පුතෙකුත්, සුරන්ගනාවක් බදු වූ කුඩා දියණියකුත් ඔවුන්ගේ ජීවිත කැදැල්ල සම්පූර්ණ කළා. 

හදිසියේම තාත්තා රෝගාතුර වූ ආරංචිය ලැබුණු මොහොතේදී ඔවුන් බොහෝ කම්පනයට පත්වුණා, හැකි ඉක්මණින් සියරට කරා පියාසර කළා, ඒත් ඒ වනවිටත් තාත්තා ඔවුන් සියලු දෙනා හැර ගොස් තිබුණා, මීනා සේම ක්‍රිස්ටිත් කම්පා වුණා, තාත්තාත් නැති සෙයින් සොයුරන් වෙනුවෙනුත්, දරුවන්ගේ අනාගතය සිංහල සන්ස්කෘතියට සම්බන්ද වීම යහපත් බැවින් මහගෙදර නතර වීම හොද තීරණයක් බව ක්‍රිස්ටිගේ අදහස වූවා, මීනාවත් අම්මාවත් කිසිවක් කියන්නට ගියේ නෑ. බාහිර ස්වරූපයට වඩා ඔවුන් තුළ ජීවත් වන මිනිසුන් කොයිතරම් නිවැරදිද යන්න ඔවුන් වටහාගෙන තිබුණා.

........................

ඈ ක්‍රිස්ටිගේ අතක එල්ලී දළදා මාලිගාව කරා යමින් සිටියා. දරු දෙදෙනා ඔවුන්ගේ මාමලා අතර සුරතල් වෙමින්, අත්තම්මාත් ඒ අසලින්මයි, මෙවන් සතු‍ටු ජීවිතයක් ලබා දුන්නාට ඈ දළදා හිමියන්ට ස්තුතිවන්ත උණා.

වළාකුලු බැම්ම එදා සේමයි, තැනින් තැනට තරුණ ජෝඩු ‍රැදී සිටියා.. පුරුද්දකට මෙන් ඈ අතීතයේ හුරුපුරුදු ස්ථාන වෙත ඔහේ බැලුවා. ඇගේ නෙතට දිස්වූයේ සුන්දර තරුණියක් සමග අත්වැල් පටලා කතා කරමින් සිටින මහේශ්.. වැව් දිය මත එදත් ‍රැළිති නංවමින් කොකුන් පියඹ පියඹා යමින් සිටියා, මහේශ් හා ආගන්තුක තරුණිය අසලින් රතුම රතු කාරයක් නවත්වා තිබුණා, මීනාගේ දෑසට අහේතුකව කදුලක් පැන නැංගා, ඒත් මේ සතු‍ටු විය යුතු වෙලාවක් ..



ඈ කෙළින්ම මහේශ් ඉදිරියේ පෙනී සිටියා, මහේශ් වරදක් කල අයෙක් සේ තැති ගත්තද මීනා බොහෝ කුලුපග ලෙසින් කතා කලා. ඔහුගේ වාහනය ඉදිරිපස රතු කතිර ළකුණක් සහිත ස්ටිකරයක් අලවා තිබුණා.

"මට ගොඩක් සතු‍ටුයි මහේශ්... " ඈ එසේ පවසමින් තම හිමියන් අසලට පැමිණියා...

හදවතේ ගැඹුරුම තැනක හිර වී තිබුණු ලොකු බරකින් තමා නිදහස් වූවායැයි ඈට සිතුණා..


--------------- නිමි ---------------------





Wednesday, June 13, 2012

ඉරණම

වැව් දිය මත ‍රැළිති නංවා පියඹා ගිය කොකෙකු දිහා ඈ වුවමනාවකින් තොරවම ඔහේ බලා සිටියා. ඈට වුවමනා වූයේ කෙසේ හෝ කාලය ගෙවා ගැනීමට පමණයි. නිශ්චිත අරමුණක් නොමැතිවම ඈ අත ‍රැදි ඔරලෝසුව දෙස දෑස යොමු කළා..

"තව මිනිත්තු 10 ක් යනකොට එයා එයි . " ඈ හිතෙන් කියාගත්තා..



ඈ හිටියේ නුවර වැව රවුමේ සිමෙන්ති බංකුවක් මත. පුරුද්දට වගේ පුංචි බංකුවේ කෙළවරක ඈ වාඩිවෙලා උන්නත් ආයෙත් අනෙක් කෙළවරේ එයා වාඩි වෙන එකක් නැතිවෙයි කියා ඈට සිතුණා. දෙනෙත් අගින් මෝදු වුන පුංචි කදුලු බින්දු මුලු ඇස් දෙකම බොද කරමින් කම්මුල් තෙත් කරන්නට පටන් ගත්දී ඈ ඒවා වළක්වා ගන්නට මෙන් උඩ බලන්නට වුණා. බහිරව කන්දේ බුදු සමිදුන් ඈ දෙස බලා සිටින්නා මෙන් ඈට පෙනුණා ..

"මීනා, ඔයා කලින්ම ඇවිල්ලා... "
ඔහු ඇවිත් , ළගටම ඇවිත්, "අපරාදේ දුර තියා දැක්කනම් එන දිහාව බලාන ඉන්න තිබ්බ, මේ අවසාන හමුවීම...." ඇගේ සිත කතා කළා.. 

"මීනා, ඇයි මොකෝ ක්ලාස් කට් කලේ, මං බස් එකෙත් බැලුව, ඔයා නැංගෙ නෑ කියල සමන්ති කිව්ව, මොකක් හරි කේස් එකක්ද ? මොනා උනත් හවස ක්ලාස් එකට යන්න ඔයා මේ වෙලාවට මෙතෙන්ට එයි කියල මං හිතුවා ... "

කතා කරන්නේ ඔහු පමණයි. ඈ කිසි සද්දයක් නෑ ...

"මහේශ් !"  බින්දුව බින්දුව මෝදු වුණු කදුලු මහ වැස්සක් වගේ වැටෙන්නට වුණා ...

"ඇයි සුදූ, මොකද වුනේ?? කියන්නකො මොකක්හරි අසනීපයක්ද?"

"නෑ අපිට මේ එෆෙයාර් එක නවත්තන්න වෙනෝ ! "

"මොකක්, හදිසීයෙම ! මොකක්ද අවුල ....   මීනා, මෙතන කතා කරන්න බෑ, අපි යං සුදර්මාරමෙට යන්, ක්ලාස් එක පටන් ගන්නත් ලගයි ."

ඇයට පන්ති යන්නටනම් කොහොමටවත් උවමනා වුනේ නෑ, ඈට අවශ්ය වුනේ ඔහුත් සමග තනිවෙන්නට .. නමුත් ඔහුගේ ඉල්ලීමට පිටතින් යන්න බෑ.. ඇරත් අද වගේ දවසක . ඔහුට අමතර පන්ති ගොඩක් වටිනවා, ඇයට වගේ නෙවෙයි, අනික ඔහු ඇත්තෙන්ම ඉගෙනුමට දක්ශයෙක්, රුසියෙක්,

"හා, යංකො ... " මීනා ඔහුගේ අසලින් වැ‍ටුනා.. සමාන්තරව ගමන් කරමින් තිබුනු මීනාගේ සුරතත්, ඔහුගේ වමතත් එකට පැටලුනා.. 

"මහේශ් තාත්ත ලංකාවට ඇවිල්ලා!"

"ඒ... ඇත්තද ? අරූත් ඇවිල්ල ඇති එහෙනම් .."

"හ්ම්ම්ම්..." ඈ අසරණව මහේශ් දෙස බලා උන්නා.. මහේශ් අදුරු වූ මුහුණින් වලාකුලු බැම්මට බර වුනා..

"මීනා ඔයාගෙ තාත්තට තේරෙන් නැද්ද ඌ ඔයාට ගැලපෙන්නෙ නෑ කියල ඇත්තට ඈ?"

"නැතුව ඇති, අනික එයා මගේම තාත්ත නෙවෙයිනෙ මහේශ්, මං අර සුද්දට දීල බිස්නස් ඩිවලොප් කරගන්නවා, "

"ඉතින් දෙය්යනේ අම්මට තේරෙන් නැද්ද ? "

"අම්මට නොතේරෙනව නෙවෙයි මං හිතන්නෙ, ඒත් අම්මට කරන්න දෙයක් නෑ.. බොරුවට මේ මගුලට කැමතියි වගේ පෙන්නගෙන ඉන්නව,, තාත්තා වසයිනෙ මහේශ් .. අද උදේ අම්ම බෝඩිමේ ඇන්ටිටත් කියල... මගුලක් ලග එනවය කියල.. "

"ඔය මනුස්සයගෙ දෙමාපියො මොනාවත් හොයල බලන් නැද්ද මීනා, "

"නැතිලු, එයාල එච්චර හොයන්නෙ නැතිලු මහේශ් එයාලගෙ සංස්කෘතියෙ හැටි එහෙමනෙ... මට අප්පිරියයි මහේශ්...... "

"මට අද පන්ති යන්න බෑ මීනා, අපි මාලිගාවට යන්ද ?"

"ඕන නෑ මහේශ්, ඔයා ක්ලාස් යන්න, මට යන්න බෑ, ඔයා කොහොමහරි කැම්පස් යන්න ඕනෙ, ඒක තමා මගෙත් හීනෙ...  මං පාස් වුනත් වැඩක් නෑ, තව පොඩි කාලෙකින් අර මිනිහගෙ සර්වන්ට් වෙන්න වෙනව මට .. "
ඈ සුසුමක් හෙළුවා...

"නෑ අපි බලමුකො, අද යන්කො මාලිගාවට, ඔය විදියට ඉගෙන ගන්න පුලුවනෑ අද ? "
ඔහු තවත් බලාපොරොත්තු දෙනවා... ඒත් ඒව පල රහිත බව ඈ දන්නවා, ඇගේ සිතට ආත්මානුකම්පාවක් ඇතිවුනා..

"මීනා, ඔයාට බැරිද ඔය හැමදේම දාල එන්න මං එක්ක ?" ඈ පුදුම වූ දෑසින් ඔහු දෙස බැලුවා. මොන යෝජනාව කලත් ඈ මේ යෝජනාව ඔහුගෙන් බලාපොරොත්තු වූයේ නෑ,...

"මං කොහොමද ඔයත් එක්ක එන්නෙ මහේශ්? අපි එහෙම කලොත් ඔයාට මං ලොකු අසාදාරණයක් කලා වෙනව ඒක, එතකොට ඔයාට නැති ප්‍රශ්න ඇති වෙනව.. ඔයා හොදට විභාගෙ කරන්න ඕනේ.... ඒනිසා මෙහෙම දෙයක් කරන්න බෑ... "

"විභාගෙ ගියදෙන් බල්ලට.. මං දැනුත් කරන ඉගැන්නිල්ලෙන් ජීවත් වෙන්න පුලුවනි ... "

"විකාරද මහේශ් ! ඔයා ලස්සන ලොකු දොස්තර මහත්තයෙක් වෙන්න ඕනෙ කවදහරි, අම්ම අප්පච්චිව දාගෙන රතුපාට කාරෙකක ට්‍රිප්ස් යන්න ඕනෙ... "
අන්තිම ටික කියද්දී ඈට නැවතත් ඇඩුම් ආවා... මේ කියවුනේ ඔවුන් එකට පැතුව සිහිනයක්මයි... ඒ සිහිනයට සමුදිය යුතුම වී තිබෙනවා..

තව සුලු කලකින් ඇගේ ජීවිතය කොයි පැත්තකට තල්ලු වේ දැයි ඈටත් සිතා ගත නොහැකි වුණා.. ඔහුත් සමග මුලින්ම දළදා හිමියන්ව වැද පුදා ගන්නට ආවේ ඔහු මුණ ගැසුනු ප්‍රතම දිනයේදීම බව ඈට මතක් වුනා. අදත් අපි ආවා, ආයෙ නො ඒවි.... ඈ හිතෙන් මිමිණුවා..

පඩි පෙළ බැසවිත් වැල් බෝධියටත් ගිය ඔවුන් එකිනෙකාගෙන් සමුගන්නට නොහැකිව අසරනව උන්නා..

"දැන් කවද්ද ඔයා නුවරින් යන්නෙ?"

"හෙට තාත්ත එයි... "

"හ්ම්ම්ම්, පුදුම තාත්තල තමයි,... මං ඔයාගෙ තාත්තා එක්ක කතා කරන්නද? "

"වට් ??? ඔයාට පිස්සුද මහේශ් ??

"පිස්සු නොහැදුනොත් තමා පුදුමේ!"

"හ්ම්ම්. ඒකනම් ඇත්ත තමයි .."

"මම යන්න ඕනෙ මහේශ්.. ඔයා ක්ලාස් යනවනම් යන්න දැන්, ඉන්ටවල් එකෙන් පස්සෙ යන්න පුලුවන්නෙ. "

"නැහ් මං යන් නෑ, ඔයාව බෝඩිමට ඇරලන්නම්, යං.."

නිහඩ බව බිදිමින් මහේශ් මොනවදෝ මොනවදෝ කියනව මීනට ඇසුණා. ඒත් ඇගේ සිත බෙහෙවින්ම ව්යාකූලයි. කිසිවක් ඇයට වැටහුනේ නැ.. ආයෙ කවදාවත් අපි මෙහෙම එක ළග බස් එකේ යන එකක් නැතිවෙයි. ආයෙ කිසිම දිනෙක ඔහු වැව රවුමෙදී, සුදර්මාරාමයේදී, වැල් බෝදියේදි ඇයට කවදත් අසීරු රසායන විද්යාව ලිහිල් බසින් කියා නොදේවි ... ඇගේ සිතුවිලි අතීතයේ මිහිරි මතක තුළට ඇදී ගියා..

මහේශ් ඇගේ සුරත සෙමෙන් අල්ලා ගන්නා විට ඈ ගැස්සී පියවි ලොවට පිවිසියා. ඒ දෑස් වල තිබූ අසරණ බව දු‍ටු මීනාට කියන්නට කිසිම වචනයක් ආවෙ නෑ. උගුරේ යම්කිසි ගුලියක් හිරවී වචන එලියට ඒම හිරකර තිබුණා..

ඈ අරුප්පොලදී බසයෙන් බැස බෝඩිමට පැමිණියා. ඒ වනවිටත් ඈව නිවසට එක් කරගෙන යාමට තාත්තා ඔහුගේ රියදුරු එවා තිබුණා.

රියදුරු තැන ඈ දැක සිනාසුනා.

"තෙන්නකෝන් මොකෝ හදිස්සියේම ?" ඈ කිසිවක් නොදන්නා සේ විමසුවා.

"බබා, මහත්තයා ආවනෙ... බබාව එක්ක එන්නෙය කිව්වා, අර ක්‍රිස්ටි මහත්තයත් එක්ක ආවෙ... එයා ඇතුලෙ වාඩිවෙලා ඉන්නවා ... "

ඇගේ මුලු සිරුරම අප්‍රාණික වුනා...

 "අහවල් එකකට මෙහෙ ආවද !" ඈට කේන්තියටම කියවුණා.. ඒ හඩට බෝඩිමේ හිමිකාරියද වහා මිදුලට පැමිණියා..

සාලයේ පු‍ටුවක ඔහේ දිග ඇදී සිටි ක්‍රිස්ටි නම් තරුණයාගෙත් මීනාගෙත් දෑස් එකට ගැ‍ටුණා.. ඔහු විගස නැගී සිටියා. මීනාට කිසිත් සිතන්නටවත් ඔහු ඉඩක් දුන්නේ නෑ, ඔහු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ඈ දෙසට තම සුරත දිගුකළා..