Monday, July 16, 2012

චින් චින් ගේ සිහිනය - කවියෙන්

යාලුවනේ මේ අහන්න
පොඩ්ඩක් මට සවන් දෙන්න
පුංචි කතාවක් කියන්න
අද සැරසෙන්නේ ...

හැමදාමත් අපි ලිව්වට
රසට රසේ රස වින්දට
පුංචි පැටව් ගැන නෑ නොව
කවි ලියැවෙන්නේ ...

ඒ බව මොහොතකට සිතා
ලියනෙමි අද සිගිති කතා
පුංචි කලදි මා රස විදි
චින් චින්ගේ සිහිනේ ...

********************************************

චින් චින් හරි පොඩි ළමයෙකි
හැබැයි හරිම දග කෙල්ලෙකි
අම්ම කියන දේ නාහන
හුරතලයට හැදී වැඩෙන ...

කිසිම වැඩක් ඈ නොකරයි
සපත්තු වුව අම්ම දායි
පාසල් යන්නටද හොරයි
සෙල්ලම පමණී ...

බලු තඩියෙක් තුරුලු කරන්
පූස් නැට්ටා ළගට අරන්
අම්ම බෙදන බත් පිගාන
උන්ට කවන්නේ...

බත් ටික දෙනවලු බල්ලට
මාලු කූරියා පූසට
එළවලු ටික තාරාවට
චින් චින් හරි අපූරුවට ...


දවසක් දා මේ විදියට
සතුන්ට කන්නට දීලා
ඈ මේසය මත වැටිලා
පාවී යනවා දැනුනා ...

අනේ හරිම ලස්සනයිනෙ
බැලුම් ගොඩක් තියෙන්වානෙ
මං පාවී යනවානේ
චින් චින් සිතුවා ...

හිටි හැටියෙම එක පාරට
බැලුම් පිපිරි ඈ පහලට
වැටෙන්න යනවිට හනිකට
කූරෙක් එයි ඇගේ පිනට ...

කූරා ඇය ‍රැගෙන යසට
ගස් මල් අතරින් හෙමිහිට
යනවා කුරුමිණි ලෝකෙට
හරිම ලස්සනයි ...

රතු කලු මුසු වුණු කුරුමිණි
කොයි කවුරුත් එකතු වෙලා
චින්චින් වෙනුවෙන් දැමුවා
ලොකුම සාදයක් ...

ලොකු කුරුමිණි හාමි ඇවිත්
රගමුකො ‍රැගුමක්ය කියා
චින් චින් හා කැරකි කැරකි
නටන්න ගත්තා ...



කුරුමිණියා නටනවාලු
කැරකි කැරකි නටනවාලු
චින් ට කලන්තේ හැදිලා
බිමටම ඇද වැටෙනවාලු

ඈ හට දැන් හරි ලැජ්ජයි
නින්දක් වත් ඈට නොයයි
කුරුමිණියන් කියන කතා
අහගෙන හිටියා ...

චින් හරි කම්මැලියි නේද?
නටන්නවත් බැරිලු නේද?
අම්ම කියන දේ වත් ඈ
ගනන් ගන්නේ නෑලු නේද?

ඊලග දින උදෑසනම
ඉබ්බා මත ඈ නැග්ගම
කොහෙදෝ සිට ආ ගෙම්බා
විහිලුවක් කලා ...

ගෙම්බෝ කට වහගෙන හි‍ටු
මට පුලුවනි දුවල යන්ට
එහෙම කියා චින් දුවගෙන
යන්ට දැගලුවා ...

ඉබ්බා හා ගොලුබෙල්ලා
ඈ පසුකරගෙන ආවා
චින් තාමත් බඩ ගාගෙන
එන්ට තනනවා...

පළා ගිරව් ජෝඩුවක්ම
වැටී සිටින චින් දැකලා
මී පුරයට අරන් ගොසින්
මී පැණි දුන්නා ...

මී මැස්සෝ කඩිසර ලෙස
පැණි පිරවූ පුංචි බදුන්
අතින් අත යවයි හනිකට
මී වදයක් හදා ගන්ට ...

පැනි බදුනක් ගත් චින් චින්
ඊලග මැස්සට දුන්නා
දැන් චින් ළග බදුන් ගොඩයි
චින්ට තෙහෙට්‍ටුයි ...

පය ලිස්සා ඈ වැ‍ටුණා
මකුලු දැලක ඈ ‍රැදුණා
හනික නැගිට හිස් බදුනට
පා පහරක් එල්ල කළා ...

පෙරලි පෙරලි ඒක ගියා
ආයෙත් හුළගට ආවා
ඈ බයවී දුව එනවා
බදුනත් පස්සෙන් එනවා ...

දැන් දැන් අහසෙන් වැටේවි
හිස් බදුනට පිට රිදේවි
චින් චින් යටිගිරියෙන් මෙන් 
උදව් ඉල්ලුවා ...

දවල් දැක්ක මේ හීනෙන්
චින් ඇහැරෙනවා
හීනෙ මතක් වන හැමවිට
ඈ බයවෙනවා ...

එදා පටන් චින් ළමයා
කීකරු වෙනවා
තනියම ඇදුමුත් ඇදගෙන
ලෑස්ති වෙනවා ...

උදේ කෑම ඇය තනියම
හොදහැටි කනවා
පූස්, තාරා බලු පැටවුන්
බලා ඉන්නවා ...








Thursday, July 5, 2012

සුබම සුබ උපන් දිනයක් !!!

"බෑ මට අදනම් රෑට ගෙදර කොහොමටවත් ඉන්න බෑ..."
වේදනාව වැඩි තැන මං කිව්වෙ ගෙදර ඉදල රෑ අමාරු වුණොත්...
"ඔයාට අමාරුම කියල හිතෙනවනම් අපි යමු.. ඒත් දැන් ගියොත් ඔය බබා ලැබෙන්න එන අමාරුව නොවුනත් නවත්ත ගන්නව හවස නිසා.. ඇදක් හෙම නැතිඋනොත් කොහොමද ඉන්නෙ? ඒ නිසා කෝකටත් කියල අපි තව ටිකක් බලමුද?"
"හා එහෙනම්... "
එයා කෝකටත් හොදයිනෙ කියල වාහනේ ගේට්‍ටුවෙන් එලියෙ නැවැත්තුවා.. මොකද ඒ වෙනකොට අපි හිටපු කුලී ගෙදර මහල් ඔක්කොගෙම පවුල් කීපයක් හිටිය.. එන එන පිළිවෙලට වාහන නැවැත්තුවම ආයෙ ඒව ගන්න ගියාම හරිම කරදරයි.. රෑට වාහන හොලවන්න ගෙවල් ඔක්කොටම ගිහින් අයිතිකාරයින්ව ඇහැරවන්න ඕනෙ..

"එයාලව ඇහැරවල වාහනෙ ගන්නකොට බබා ලැබෙයි"

එයා වාහනෙ එලියෙන් දාල එනින් ගමන කිව්ව... එක එක ජාතියෙ හුරතල් සත්තු මහල තිබුනු පොඩි ඇදුම් ගොඩාරියක් දාල තිබිච්චි ලොකු බෑග් එක එයා ආයෙත් ඇරියා..
"ආයි අදින්න එපා... දැන් පොඩි වෙනවත් එක්ක"  මං කිව්ව...
ඒවයෙන් එක එක අරගෙන ආයෙ මදින්න ගත්ත එයා... අයන් එකටත් වඩා පුංචි ඇදුම් පොඩි ඉඹ ඉඹ එයා අයන් කරනව මට අද වගේ මතකයි...

"හරි ඔක්කොම තියෙනව.."
බෑග් එකේ සිප් එක වහන ගමන් එයා කිව්ව...
දැන් එයාගෙයි මගෙයි ඇදුම් අයන් කරන්න ගත්තා රෑ යන්නවත් උනොත් කියල...
----------------------
රෑ නින්දෙ උන්නු මං එකපාර්ම ඇහැරුණා.. මේ හොස්පිට්ල් යන්න වෙලාව.. මට ඉවෙන් වගේ තේරුණා..

"මේ අයියෙ, යං දැන් යං... " මම හොදටම බයවෙලා... දාඩිය වැක්කෙරෙනව...  වෙලාව පාන්දර තුනයි පහයි...
දඩිබිඩියෙ මං ලෑස්ති උනා...
බුදු පහනට තෙල් දාල පහන  පත්තුකරල ඉල්ලුවා කරදරයක් නැතිව මගෙ දරු පැටිය මේ ලෝකෙට එන්න කියල...

"අනන්ත වේදනා විදිමින්, ඔබේම මහන්සියෙන් මේ ලෝකෙට ඔබේම කිරිකැටියා ගෙන ඒම ඔබ මෙලොවදී ලබන උපරිම සතුට බව හැමවිටකදීම මතක තබාගන්න... "
 ගමේ ක්ලිනික් එකෙන් නොමිලේ දුන්නු පොතේ තිබිච්චි වාක්යක් මතක් උනා.. හිත ධෛර්යමත් කරගෙන එලියට බැහැල අපෙ මරුටියට ගොඩ උනා...

"ඔච්චර වේගෙන් යන්න එපා... එච්චර අමාරුවක් නෑ... " එයා සැරින් සැරේ මං දිහා බලනව...

අපේ ආර්ථිකේ හැටියටත්, ගොඩක් අයගෙන් ලැබිච්චි උපදෙස් අනුවත් අපි රජයේ ඉස්පිරිතාලෙක තමා රෙජිස්ටර් උනේ... මහත්තයගෙ අක්කත් දොස්තර වරියක්.. එයා තමා කිව්වෙ බය නැතිව රජයෙ ඉස්පිරිතාලෙකටම යන්න කියල...
ඉතිං විනාඩි දහයකින් අපි ඉස්පිරිතාලෙ...

නම ලියා ගන්න ඒව එහෙම කරගෙන මාව වාට්‍ටුවට ඇතුළ් කලා.. අනිත් ලෙඩ්ඩු වගේ නෙවි, බඩදරු අම්මලව ඉක්මණට වෝඩ් එකට දානව අවදානම නිස...  එයා කාර් එකට වෙලා.... මං ඇවිදිනව එහාට... මෙහාට...

හිතුව වගේම ඇදක් තිබුනෙ නෑ...

"දැන් ඩොක්ටර් එයි බලන්න, අම්ම ඔතන වාඩිවෙලා ඉන්න.." ඉක්මණට එන්න දෙවියනේ මං යැද යැද හිටිය....
ඈතින් ඔලුව කස කස ඇස් පිහද පිහද එක ගෑනු කෙනෙක් ආව... ත්‍රී ක්වාට කලිසමක් ඇදල...

"කවුද දැන් ගෙනාවෙ?"
නර්ස් කෙනෙක් මාව පෙන්නුව...

"ආහ් බලමු... "
මගේ දරුවගේ පිහිටීම එහෙම බාහිරින් පරීක්ශා කරන ගමන් ඩොක්ටර් මට බනින්න ගත්තා...
"මොකක්ද අම්මෙ ඇයි දන්නැද්ද මේක මේ බබා ලැබෙන්න එන ලක්ශණයක්ද ? ලාබ්ලා ලා............................................... "

ඒ ලස්සන දොස්තරවරිය මට බනිනවා.. ඒ අතරේ ඇස් කසනවා.. නිදිමත ඇති ...
ඇත්ත තමා කාටද නිදිමත නැත්තෙ පාන්දර තුන පහු උන විතරනෙ...

"හරි දැන් අම්ම උදේ වෙනකන් ඔහෙ වාඩිවෙලාවත් ඉන්නකො, ඇදනුත් නෑනෙ... "

"හා ඩොක්ටර්.. " වේදනාවනම් උපරිමයි, ඒත් දොස්තර නෝනා කියනවනම් වරදින්න ඇත්තෙ මට කියල මං හිතුවා...

කාත් කවුරුවත් ළග නොහිටපු හින්දා මහත්තයා ගමේ උන්නු එයාගෙ දොස්තර අක්කට ආරංචිය දීල... උදේ ලෙඩ්ඩු බලන වෙලාවට ආපු වෙලාවෙ එයා කිව්වෙ දැන් දැන් ලගම එයාල එනව ඇති කියල..

තාම ඇදක් නෑ... මං පු‍ටුවකට වෙලා කොන්දට අතක් තියාගෙන වේදනාවෙන්..

ලෙඩ්ඩු බලන වෙලාව ඉක්මනින්ම ඉවර උනා.. එයා ගියා.. කොන්දට අත තියාගෙන එහාට මෙහාට ඇවිදින අම්මලා අතරෙ මාත් එක්කෙනෙක් උනා, එන්න එන්න වේදනාව වැඩි මිසක අඩුවක් නම් උනේ නෑ... හිටිහැටියේ එක පාරම අම්ම කෙනෙක් වේදනාවෙන් කෑගහනකොට කට්ටිය දුවගෙන ඇවිත් ට්‍රොලියකට දාගෙන අරගෙන දුවනවා...
කන්නත් බෑ ඒත් දරුව වෙනුවෙන් නොකාත් බෑ.... පු‍ටුවෙ ඉදලා අමාරු වෙනකොට පොඩ්ඩකට තව අම්ම කෙනෙක්ගෙන් ඇද පොඩ්ඩක් ඉල්ලගෙන හාන්සි වෙලා ටිකකින් ආයි එයාට දෙනවා..

"කීය ගියත් කමක් නැ, ප්‍රයිවට් හොස්පිටල් යන්න තිබුනෙ" ඒ අතරෙ මගෙ හිත කියනවා....

"රජයෙ ඉස්පිරිතාල තමා හොදම, බය නැතුව යන්න නංගී.... මාත් එන්නංකො...  "  මගෙ නෑනා කලින් ඉදන්ම එහෙම කියලා තිබුණා.. ඒත් දැන්නම් මට ඒ තීරණෙ වැරදියි කියා හිතිලයි තිබුනෙ.. හැම කෙනෙකුටම එහෙම නෙවෙයි වෙන්න ඇති.. ඒත් මටනම් එපාම උණා...

දවසත් හෙමීට ගෙවිලා ගිහින් රාත්‍රිය උදා වුණා..  වේදනාවනම් හරිම අසාමාන්යයි, දොස්තර මොනා කිව්වත් මට හිතෙන්නෙම බබාට එලියට එන්න ඕන වගේ.. මං අමාරුවෙන් ආයෙත් නර්ස් නෝනා කෙනෙකුට කිව්වා.. දැන් ආවෙ පිරිමි දොස්තර කෙනෙක්, ඒ පිටිපස්සෙන් අර ලස්සන දොස්තර නෝනත් ආව... 

"හා, අම්මේ ඔයාට එච්චර අමාරුවක් නෑනෙ, අපි හෙට ටිකට් කපන්නම්, මේ ලගමනෙ ඉන්නෙ ඕනෙ වුණොත් ඉක්මණට එන්න බැරිය නේද ! "
මං හිතුවෙ මගෙ දරුවත් අරගෙනම යන්න පුලුවන් කියලා, ඒත් ඉතින් දොස්තර මහත්තුරු අපිට වඩා දන්නවනෙ.. එහෙනම් හෙට ගිහින් ආයෙ අමාරු වෙනකොට එනවා...  දොස්තර මහත්තයා මාව පරීක්ශා කරනකන් ණයට ඉල්ල ගත්තු ඇද අයිතිකාරයට දෙන්න ඕනෙ හින්දා මං ඇදෙන් බහින්න ලෑස්ති උනා විතරයි. මට සුර ලෝකෙන් වගේ මගෙ නෑනගෙ කටහඩ ඇහුනා..
"ඩොක්ටර්, මං ...................... , අහවල් හොස්පිටල් එකේ .............,, මගෙ නංගි ඉන්න්වා බලන්න ආවෙ... "

"එයා මාව දැක්කෙ නැ, නමුත් මට කදුලුත් පැන්න... "

"බොහොම හොදට අපේ අක්කව පිළිගත්තු දොස්තර නෝනයි මහත්තයයි හිනාවෙලා මෙහෙම කිව්වා.."

"මෙයාද නංගි, අපි බලමුකො එහෙනම් මෙයාගෙ ටෙස්ට් එකක් කරල... ලා බ්ලාඅ..... ඉක්මන් කරලා බහින්නකො කෙල්ලෙ... "
හෙහ් මට දොස්තර මහත්තයා කෙල්ලෙත් කියනවා.. මටම හිනා...

අක්කත් ඉස්සරහ ඉද්දිම මාව පරීක්ශා කරපු දොස්තර කිව්වෙ ඉක්මණින්ම මාව ලේබර් රූම් යවන්න ඕනෙ කියල..
මට හරිම කේන්තියක් ආව දොස්තර ගැන. දැන් පොඩ්ඩකට කලින් මාව ගෙදර යවන්න හිටපු දොස්තර මේ.. වෙලාවට අක්ක ආවෙ,,, නැත්නම් ඒ රාත්‍රියෙ මං කොයිතරම් අපහසුතාවයට පත්වෙන්න තිබුණද ! අක්කටත් ඒ බව තේරුනා, එයත් දොස්තර කෙනෙක් ඒත් ඒ වගේ නොසැලකිලිමත් එක්කෙනෙක් නම් නෙවෙයි...
ලහි ලහියේ අක්කගෙ උදව්වෙන් අවශ්ය කාර්යයන් ඉක්මණින්ම කරගත්තු මාව ලේබර් රූම් එකට දැම්ම...

කෝම කෝමහරි තව පැය කීපයක් යනකොට ඒ සුන්දර මල් කැකුල මගේ ලෝකෙට ආව. ඉතින් ඒ ලස්සන මොහොත සිදුවෙලා අදට හරියටම වසර දෙකයි........

ඉතින් මගේ රත්තරන් පුතේ, හැම අම්ම කෙනෙක්ම වගේ ඔයා වෙනුවෙන් මේ අම්මත් වින්ද වේදනාව අපමණයි. ඒත් ඔය රෝසපාට මූණු දකිනකොට ඒ ඔක්කොම දුක් වාශ්ප වෙණවා වගේ, එතකොට සතු‍ටු කදුලු දෝරෙ ගලනවා, නොදන්න ගාථා පවා මතක් වෙනවා. සියලු දෙවිවරු මගේ දරු පැටියා රකීවි කියා නිරායසයෙන්ම පතනවා.

ඉතින් ඒ තරම් උතුම් මාතෲත්වයට, පීතෲත්වයට අපිව පත්කළ අපේ සුදු පුතුට සුබම සුබ උපන් දිනයක් !!!