Friday, June 15, 2012

ඉරණම - 2

ඉරණම - 2


ඉරණම - 1
සාලයේ පු‍ටුවක ඔහේ දිග ඇදී සිටි ක්‍රිස්ටි නම් තරුණයාගෙත් මීනාගෙත් දෑස් එකට ගැ‍ටුණා.. ඔහු විගස නැගී සිටියා. මීනාට කිසිත් සිතන්නටවත් ඔහු ඉඩක් දුන්නේ නෑ, ඔහු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ඈ දෙසට තම සුරත දිගුකළා..

"හායි මේනාහ් .... " ඔහු මීනාට තාමත් සුරත දිගුකරගත්ත ගමන් ... තාමත් තම අත ‍රැදි මහේශ්ගේ දෑතේ උණුසුම තවත් කෙනෙකුන්ගෙ දෑතක් මත තවරන්නට ඈට සිතුණෙ නහැ,

ඔහු පැහැයෙන් සුදුයි... උඩු ‍රැවුල වවා තිබෙනවා, කොන්ඩය සම්පූර්ණයෙන්ම කපා තිබුණා, සාමාන්යයෙන් වයස 30ක් පමණ ඇති, සුදු පැහැ සැහැල්ලු කමිසයක් හා ක්‍රීම් පැහැ දිග කලිසමක් හැද සිටියා.

"කෝ, කනට දාපු කරාබු, බෙල්ලට දාපු ලොකු දම් වැල් වගේ චේන්, " ඈ ඒ ආයිත්තම් සෙව්වා, වෙනසකට උනේ ඔහු ඒ ආබරණ නොපැලද සිටීමයි, ඔහු තාමත් මීනාට සුරත දිගු කරගත්ත ගමන් ...

ඈ නොකැමැත්තෙන්ම "නොට් මේනා ආ හ් , ජස්ට් මීනා" කියමින් තම කාමරයට ගියා.

කළයුත්තක් නැ, ස්ව දෙමාපියන්ගේ තීරනයට යටත් වෙනවා හැරෙන්නට. ඈට තමා ගැනම ලොකු අනුකම්පාවක් දැනුනා, ඒත් සමගම ලැජ්ජාවක්, "ඇයි මං මෙහෙම බාල්දු වෙන්නෙ, මට තීරණයක් ගන්න බැරිද ? අම්මල මාව සුද්දෙකුට බිලි දෙනව වගේ ! " සිතුවිලි අතරින්ම ඈට ඇඩුම් ආවා..

"ඇයි දුවේ, අඩන්න දෙයක් නෑනෙ, දරුවො , ඔයා කොච්චර ලකීද ?"

නිවසේ පාලිකාව ඇගේ හිස අතගාන්නට වුණා, මීනාට අවශ්ය වුනේ මේ විශම ලෝකෙන් මිදී ඉහළ අහසේ පියඹා යන කුරුල්ලෙක් මෙන් මිදී නිදහසේ සිටින්නට, ඒ සිහිනවලට යළිත් පණ නොලැබෙන බව ඈ දැන උන්නා, .....

ඈ රිය කවුලුවෙන් ඈත බලා සිටියා, තෙන්නකෝනුත් ක්‍රිස්ටිත් විටෙන් විට කතා කරමින් උන්නා, ඒ දෙස උවමනාවෙන් සවන් නොදුන්නත් ඇයට යම් විශේශත්වයක් දැනුනා, ඒ ක්‍රිස්ටි සිංහල භාශාව කතා කිරීමට උනන්දු වීම, ඇදහිය නොහැකි තරමට ඔහු හොදින් බොහෝ වචන උච්ඡාරණය කළා, සමහර තැන්වලදීනම් ඇයට සිනහ යන්නට පවා ආවා,  එවන් විටෙක ඔහුගේ මුහුණ අදුරු වනු දැක ඈ කුරිරු සතුටක් ලැබුවා.

රිය නිවෙස් ආසන්න්යට එනවිටම හීන් වැහි පොදයක් පැතිර ගියා, මීනාට මතක් උනේ මහේශ්ව. හදිසියේ පන්ති නොපැවැත්වූ මෙවන් වැහි දිනයක ඈ ඔහුත් සමග ඇගේ මල් කුඩේ යටින් කො‍ටුගොඩැල්ල වීදිය දිගේ ඔහේ කරක් ගැහුවා.. ඊට පස්සෙ යටිනුවර වීදියට ... ඒ මිහිරි මතක ඉවරෙටම ඉවරයි ...

අම්මා කුඩයක් ‍රැගෙන හනික රිය ළගට ආවා, ඈ කේන්තිය පිට කළේ වැස්සේම ගෙට දුව ගනිමින්, අම්මා ක්‍රිස්ටිව කුඩේ යටින් එක්කරගෙන එනයුරු දු‍ටු ඈට සිනා නැගුණා,
"සමයං.."

දින කිහිපයක් යනතුරු ඈ තාත්තාටවත් ක්‍රිස්ටිටවත් හරියට මුහුන දුන්නේ නැ. කිසිම වෙනසක් නැතිව ක්‍රිස්ටි තමන්ගේ ගෙයක් ලෙස සලකා තම නිවසේ වාසය කිරීම මීනාගේ පුදුමයට හේතු උනා, කෙසේ නමුත් මීනා එක් දෙයක් තේරුම් ගෙන තිබුණා, ඒ සිතූ තරම්ම ක්‍රිස්ටි නරක මිනිසෙක් නොවන බව. ඔහු තාත්තාගේ බිස්නස් කටයුතුවලදී සෑහෙන කලක සිටන්ම ළගින් සිටිය බව ඈට මතකයි, ඈ කුඩා කලදීත් මේ නිවසට ඔහු ඇවිත් ගියා ඈට මතකයි, නමුත් ඔහු තමාව විවාහ කරගන්නට උත්සාහ දරනු ඇතැයි ඈ සිහිනෙකින්වත් සිතුවේ නෑ.

දවස තිස්සේම ඔහු තාත්තා සමග බිස්නස් වැඩවලට කියා පිටතට යනවා. නිවසේ ‍රැදෙන වෙලාවලට මීනාත් සමග කතාවට උත්සාහ කලත් උත්සාහය ව්යර්ථ වෙනවිට තෙන්නකෝන් හා අම්මා එක්ක හෝ කතා කරමින් සිටිනවා. ඒත් සිංහලෙන්. ඇත්තෙන්ම ඔහු හරි පුදුමාකරයි.

"දූ මොනාද ඔය හැටි කල්පනා කරන්නේ?" අම්මා ළගටම ඇවිත් .. ඒත් මීනා තාමත් ජනේලෙන් එපිට ලෝකෙක නතරවෙලා.

"ඔය හැටි හිතන්න දෙයක් නැහ් පුතේ.. ඔයාගෙ හොදටයි හැමදේම වෙන්නෙ.. ක්‍රිස්ටි නරක ලමයෙක් නෙවෙයි. මටත් දැන් ඉස්සරට වඩා ඒ දරුව ගැන පැහැදීමක් තියෙනවා.. ඔයා බය නැතුව ඉන්නකො පුතේ, එයා ඔයාව හොදට බලාගනියි. "

ඇත්තෙන්ම  ඒ බව ඈත් තේරුම් අරන් තිබුණා, ඒත් ඈ දන්නා තවත් කාරණයක් තියෙනවා. ඒ ඔහු මහේශ් තරම් නම් හොද නැති බව.

"ඒත් අම්මා ක්‍රිස්ටි සුද්දෙක්නෙ.. මං උන්ට කැමති නෑ.."

"පුතේ , ඒ ළමයා සුද්දෙක් වුණාට අපෙ සමහරුන්ට නැති හොද සිරිත් ඒ ළමය ළග තියෙනවා, අනික ගොඩක් වෙලාවට ගෑනු අපිට තියෙන එකම දේ හොදම දේ කියල හිතන්න වෙනවා අපෙ ජීවිතවල සමහර වෙලාවට. මාත් ඒ විදියට නොහිතුවානම් අද අපි කොහෙ ඉදියිද දන්නෙ නෑ, "

මොකක් නමුත් අම්මා කියන කතාව දුක්බරයි වගේ, මීනා අම්මා ළගට ගියා, ඈ සිටියේ ඇද මත වාඩිවී. මීනා එතැන බිම වාඩිවුණා, පුරුදු පරිදිම අම්මා ඇගේ හිසේ කෙස්ගස් අතරින් සිය ඇගිලි යවන්නට උනා. දැනෙන සනීපෙ.

"ඔයාගෙ අප්පච්චි නැතිවෙනකොට ඔයාට කිසි දෙයක් තේරෙන්නෙ නැති පොඩි එකෙක්, අප්පච්චි නැතිවෙලා අවුරුද්දකට විතර පස්සෙ තමයි පුතේ තාත්ත මට මුණ ගැහුනෙ.. හ්ම්ම් ..
එයාත් එතකොට මැරි කරල ඩිවෝස් වෙලා උන්නෙ. මං ගැන එයා උනන්දු වෙන බව මට තේරුණාට පුතේ මට ඕනෙ උනේ ඔයාව ලොකු කරගන්න විතරයි. ආයෙත් මැරි කරන්න උවමනාවක් උනේ නැ මට. ඒත් අත්තම්මලාට , මාමලාටනම් ලොකු බයක් තිබ්බ අපෙ ජීවිත ගැන, ඉතින් එයාල එක පයින් තාත්තට කැමති උනා, අන්තිමට උනේ මගෙ කැමැත්තක් නැතුවම අපිව තාත්තා එයා ලගට ගත්තු එක. ඒත් පුතේ එදා තාත්තා ගත්තු තීරණෙ වැරදි එකක් නෙවෙයි.. එයා කවදාවත් ඔයාට අඩුවක් කලේ නැ, මල්ලිල ඉපදෙන්න ටිකක් කල් යනකොට තාත්තලගෙ ගෙවල්වල අය පොඩ්ඩක් අරක මේක කියන්න ගත්තා, අපි එයාලව හිතාමතා පරක්කු කළෙත් ඔයාට වෙනස්කමක් වෙයි කියල බයට. මල්ලිල හිටිය කියලත් ඔයාට තාත්ත වෙනසක් කලේ නෑ.. ඒ නිසා මට විශ්වාසයි තාත්තා ගත්තු මේ තීරණයත් වැරදි නැ, ක්‍රිස්ටි සිංහල නොවුනට ඒ දරුව හොදයි. ඔයා එයාව බදින්න කැමති වෙන්න පුතේ. ඔයාට වරදක් වෙන්නෙ නෑ.. ඔයාගෙ අප්පච්චි ඔයා දිහා බලාගෙන ඇති."

"හ්ම්"

දිනෙන් දින ගෙවී ගොස් ඇගේ මංගල දිනය උදා වුනා. ක්‍රිස්ටිගේ පාර්ශවයෙන් මංගල උත්සවයට සහභාගී වුණේ ඉතාම ස්වල්ප පිරිසක්. ඒ පිරිස සතු‍ටු කිරීම උදෙසා මීනාට පල්ලියේ චාරිත්‍ර සහිතවද, තම සමීප අය්ගේ සතුට වෙනුවෙන් පෝරුවේ චාරිත්‍ර ද සියල්ල සහිතව මංගල උත්සවය ගන්නට සිදුවුණා. සියල්ලෝම සතුටින්.

කිසිම දෙයක් කිසිම දිනක පැතූ ආකාරයෙන් නොවන්නේ ඇයිදැයි යන ප්‍රශ්නය ඔස්සේ ඈ අතරමං වී සිටියා.
උදැසන පිපුනු කුසුමක් මෙන් සුන්දරව තමා අසලින් සිටින තම ප්‍රියම්බිකාව පිළිබදව ක්‍රිස්ටි බොහෝ සේ අමන්දානන්දයට පත්ව සිටියා..

 "මහේශ්, මට සමාවෙන්න මහේශ්... " මීනා සිතින් දහස්වර කියා සිටියා..

...............

සිය විවාහයෙන් දෙසතියක් ඉක්ම ගිය කල්හි ක්‍රිස්ටි තම මව්‍ රට බලා යාම පිළිබද මීනාගෙන් කැමැත්ත විමසුවා. ඔහුට අවශ්ය වූයේ ඇත්තෙන්ම ඇගේ කැමැත්තටම ඉඩ දීමට. කෙසේ වෙතත් මීනාත් ගැහැණු නුවණ උපයෝගී කරගනිමින් තම ජීවිතයට අනුගත වෙමින් සිටියා. ජීවිතයේ ඉදිරි කාලය ගෙවීම උදෙසා ක්‍රිස්ටිගේ රටට යායුතු යැයි මීනා තදින්ම කියා සිටියා. මීනාට අවශ්ය වූයේ මහේශ් පිළිබද මතකය කොහේ හෝ වළලන්නට. එහි ප්‍රතිඵලය ලෙස ඔවුන් ඔහුගේ රටට පැමිණියා. ක්‍රිස්ටි සුද්දෙක් වුවත් ඔහු බොහෝ සෙයින් වෙනස් මිනිසෙක් බව ඈට හැගී ගියා. එවන් මිනිසෙකුට වෛර කරමින් සිටීම තේරුමක් නැති ක්‍රියාවක් බව ඈ අවසානයේ වටහා ගත්තා.

කාලයත් සමගින් ඇගේ සියලු පැතුම් ඉ‍ටුවුණා. ඈ බොහෝ සෙයින් ස්වාමියාට ලැදි පිය බිරිදක්ම වූවා, සියල්ලට රහස ඔහු බලාපොරොත්තු නොවූ විරූ අයුරින් සුන්දර මිනිසෙක් වීමයි. සතුට පිරුණු කැදැල්ලක හිමිකාරියක් ලෙසින් ඈ තම දෙමාපියන්ටත් තොරතුරු දැන්වූවා.

සුදු හිසකෙස් හා නිල් ඇස් ඇති සුදු පැහැ පුතෙකුත්, සුරන්ගනාවක් බදු වූ කුඩා දියණියකුත් ඔවුන්ගේ ජීවිත කැදැල්ල සම්පූර්ණ කළා. 

හදිසියේම තාත්තා රෝගාතුර වූ ආරංචිය ලැබුණු මොහොතේදී ඔවුන් බොහෝ කම්පනයට පත්වුණා, හැකි ඉක්මණින් සියරට කරා පියාසර කළා, ඒත් ඒ වනවිටත් තාත්තා ඔවුන් සියලු දෙනා හැර ගොස් තිබුණා, මීනා සේම ක්‍රිස්ටිත් කම්පා වුණා, තාත්තාත් නැති සෙයින් සොයුරන් වෙනුවෙනුත්, දරුවන්ගේ අනාගතය සිංහල සන්ස්කෘතියට සම්බන්ද වීම යහපත් බැවින් මහගෙදර නතර වීම හොද තීරණයක් බව ක්‍රිස්ටිගේ අදහස වූවා, මීනාවත් අම්මාවත් කිසිවක් කියන්නට ගියේ නෑ. බාහිර ස්වරූපයට වඩා ඔවුන් තුළ ජීවත් වන මිනිසුන් කොයිතරම් නිවැරදිද යන්න ඔවුන් වටහාගෙන තිබුණා.

........................

ඈ ක්‍රිස්ටිගේ අතක එල්ලී දළදා මාලිගාව කරා යමින් සිටියා. දරු දෙදෙනා ඔවුන්ගේ මාමලා අතර සුරතල් වෙමින්, අත්තම්මාත් ඒ අසලින්මයි, මෙවන් සතු‍ටු ජීවිතයක් ලබා දුන්නාට ඈ දළදා හිමියන්ට ස්තුතිවන්ත උණා.

වළාකුලු බැම්ම එදා සේමයි, තැනින් තැනට තරුණ ජෝඩු ‍රැදී සිටියා.. පුරුද්දකට මෙන් ඈ අතීතයේ හුරුපුරුදු ස්ථාන වෙත ඔහේ බැලුවා. ඇගේ නෙතට දිස්වූයේ සුන්දර තරුණියක් සමග අත්වැල් පටලා කතා කරමින් සිටින මහේශ්.. වැව් දිය මත එදත් ‍රැළිති නංවමින් කොකුන් පියඹ පියඹා යමින් සිටියා, මහේශ් හා ආගන්තුක තරුණිය අසලින් රතුම රතු කාරයක් නවත්වා තිබුණා, මීනාගේ දෑසට අහේතුකව කදුලක් පැන නැංගා, ඒත් මේ සතු‍ටු විය යුතු වෙලාවක් ..



ඈ කෙළින්ම මහේශ් ඉදිරියේ පෙනී සිටියා, මහේශ් වරදක් කල අයෙක් සේ තැති ගත්තද මීනා බොහෝ කුලුපග ලෙසින් කතා කලා. ඔහුගේ වාහනය ඉදිරිපස රතු කතිර ළකුණක් සහිත ස්ටිකරයක් අලවා තිබුණා.

"මට ගොඩක් සතු‍ටුයි මහේශ්... " ඈ එසේ පවසමින් තම හිමියන් අසලට පැමිණියා...

හදවතේ ගැඹුරුම තැනක හිර වී තිබුණු ලොකු බරකින් තමා නිදහස් වූවායැයි ඈට සිතුණා..


--------------- නිමි ---------------------





Wednesday, June 13, 2012

ඉරණම

වැව් දිය මත ‍රැළිති නංවා පියඹා ගිය කොකෙකු දිහා ඈ වුවමනාවකින් තොරවම ඔහේ බලා සිටියා. ඈට වුවමනා වූයේ කෙසේ හෝ කාලය ගෙවා ගැනීමට පමණයි. නිශ්චිත අරමුණක් නොමැතිවම ඈ අත ‍රැදි ඔරලෝසුව දෙස දෑස යොමු කළා..

"තව මිනිත්තු 10 ක් යනකොට එයා එයි . " ඈ හිතෙන් කියාගත්තා..



ඈ හිටියේ නුවර වැව රවුමේ සිමෙන්ති බංකුවක් මත. පුරුද්දට වගේ පුංචි බංකුවේ කෙළවරක ඈ වාඩිවෙලා උන්නත් ආයෙත් අනෙක් කෙළවරේ එයා වාඩි වෙන එකක් නැතිවෙයි කියා ඈට සිතුණා. දෙනෙත් අගින් මෝදු වුන පුංචි කදුලු බින්දු මුලු ඇස් දෙකම බොද කරමින් කම්මුල් තෙත් කරන්නට පටන් ගත්දී ඈ ඒවා වළක්වා ගන්නට මෙන් උඩ බලන්නට වුණා. බහිරව කන්දේ බුදු සමිදුන් ඈ දෙස බලා සිටින්නා මෙන් ඈට පෙනුණා ..

"මීනා, ඔයා කලින්ම ඇවිල්ලා... "
ඔහු ඇවිත් , ළගටම ඇවිත්, "අපරාදේ දුර තියා දැක්කනම් එන දිහාව බලාන ඉන්න තිබ්බ, මේ අවසාන හමුවීම...." ඇගේ සිත කතා කළා.. 

"මීනා, ඇයි මොකෝ ක්ලාස් කට් කලේ, මං බස් එකෙත් බැලුව, ඔයා නැංගෙ නෑ කියල සමන්ති කිව්ව, මොකක් හරි කේස් එකක්ද ? මොනා උනත් හවස ක්ලාස් එකට යන්න ඔයා මේ වෙලාවට මෙතෙන්ට එයි කියල මං හිතුවා ... "

කතා කරන්නේ ඔහු පමණයි. ඈ කිසි සද්දයක් නෑ ...

"මහේශ් !"  බින්දුව බින්දුව මෝදු වුණු කදුලු මහ වැස්සක් වගේ වැටෙන්නට වුණා ...

"ඇයි සුදූ, මොකද වුනේ?? කියන්නකො මොකක්හරි අසනීපයක්ද?"

"නෑ අපිට මේ එෆෙයාර් එක නවත්තන්න වෙනෝ ! "

"මොකක්, හදිසීයෙම ! මොකක්ද අවුල ....   මීනා, මෙතන කතා කරන්න බෑ, අපි යං සුදර්මාරමෙට යන්, ක්ලාස් එක පටන් ගන්නත් ලගයි ."

ඇයට පන්ති යන්නටනම් කොහොමටවත් උවමනා වුනේ නෑ, ඈට අවශ්ය වුනේ ඔහුත් සමග තනිවෙන්නට .. නමුත් ඔහුගේ ඉල්ලීමට පිටතින් යන්න බෑ.. ඇරත් අද වගේ දවසක . ඔහුට අමතර පන්ති ගොඩක් වටිනවා, ඇයට වගේ නෙවෙයි, අනික ඔහු ඇත්තෙන්ම ඉගෙනුමට දක්ශයෙක්, රුසියෙක්,

"හා, යංකො ... " මීනා ඔහුගේ අසලින් වැ‍ටුනා.. සමාන්තරව ගමන් කරමින් තිබුනු මීනාගේ සුරතත්, ඔහුගේ වමතත් එකට පැටලුනා.. 

"මහේශ් තාත්ත ලංකාවට ඇවිල්ලා!"

"ඒ... ඇත්තද ? අරූත් ඇවිල්ල ඇති එහෙනම් .."

"හ්ම්ම්ම්..." ඈ අසරණව මහේශ් දෙස බලා උන්නා.. මහේශ් අදුරු වූ මුහුණින් වලාකුලු බැම්මට බර වුනා..

"මීනා ඔයාගෙ තාත්තට තේරෙන් නැද්ද ඌ ඔයාට ගැලපෙන්නෙ නෑ කියල ඇත්තට ඈ?"

"නැතුව ඇති, අනික එයා මගේම තාත්ත නෙවෙයිනෙ මහේශ්, මං අර සුද්දට දීල බිස්නස් ඩිවලොප් කරගන්නවා, "

"ඉතින් දෙය්යනේ අම්මට තේරෙන් නැද්ද ? "

"අම්මට නොතේරෙනව නෙවෙයි මං හිතන්නෙ, ඒත් අම්මට කරන්න දෙයක් නෑ.. බොරුවට මේ මගුලට කැමතියි වගේ පෙන්නගෙන ඉන්නව,, තාත්තා වසයිනෙ මහේශ් .. අද උදේ අම්ම බෝඩිමේ ඇන්ටිටත් කියල... මගුලක් ලග එනවය කියල.. "

"ඔය මනුස්සයගෙ දෙමාපියො මොනාවත් හොයල බලන් නැද්ද මීනා, "

"නැතිලු, එයාල එච්චර හොයන්නෙ නැතිලු මහේශ් එයාලගෙ සංස්කෘතියෙ හැටි එහෙමනෙ... මට අප්පිරියයි මහේශ්...... "

"මට අද පන්ති යන්න බෑ මීනා, අපි මාලිගාවට යන්ද ?"

"ඕන නෑ මහේශ්, ඔයා ක්ලාස් යන්න, මට යන්න බෑ, ඔයා කොහොමහරි කැම්පස් යන්න ඕනෙ, ඒක තමා මගෙත් හීනෙ...  මං පාස් වුනත් වැඩක් නෑ, තව පොඩි කාලෙකින් අර මිනිහගෙ සර්වන්ට් වෙන්න වෙනව මට .. "
ඈ සුසුමක් හෙළුවා...

"නෑ අපි බලමුකො, අද යන්කො මාලිගාවට, ඔය විදියට ඉගෙන ගන්න පුලුවනෑ අද ? "
ඔහු තවත් බලාපොරොත්තු දෙනවා... ඒත් ඒව පල රහිත බව ඈ දන්නවා, ඇගේ සිතට ආත්මානුකම්පාවක් ඇතිවුනා..

"මීනා, ඔයාට බැරිද ඔය හැමදේම දාල එන්න මං එක්ක ?" ඈ පුදුම වූ දෑසින් ඔහු දෙස බැලුවා. මොන යෝජනාව කලත් ඈ මේ යෝජනාව ඔහුගෙන් බලාපොරොත්තු වූයේ නෑ,...

"මං කොහොමද ඔයත් එක්ක එන්නෙ මහේශ්? අපි එහෙම කලොත් ඔයාට මං ලොකු අසාදාරණයක් කලා වෙනව ඒක, එතකොට ඔයාට නැති ප්‍රශ්න ඇති වෙනව.. ඔයා හොදට විභාගෙ කරන්න ඕනේ.... ඒනිසා මෙහෙම දෙයක් කරන්න බෑ... "

"විභාගෙ ගියදෙන් බල්ලට.. මං දැනුත් කරන ඉගැන්නිල්ලෙන් ජීවත් වෙන්න පුලුවනි ... "

"විකාරද මහේශ් ! ඔයා ලස්සන ලොකු දොස්තර මහත්තයෙක් වෙන්න ඕනෙ කවදහරි, අම්ම අප්පච්චිව දාගෙන රතුපාට කාරෙකක ට්‍රිප්ස් යන්න ඕනෙ... "
අන්තිම ටික කියද්දී ඈට නැවතත් ඇඩුම් ආවා... මේ කියවුනේ ඔවුන් එකට පැතුව සිහිනයක්මයි... ඒ සිහිනයට සමුදිය යුතුම වී තිබෙනවා..

තව සුලු කලකින් ඇගේ ජීවිතය කොයි පැත්තකට තල්ලු වේ දැයි ඈටත් සිතා ගත නොහැකි වුණා.. ඔහුත් සමග මුලින්ම දළදා හිමියන්ව වැද පුදා ගන්නට ආවේ ඔහු මුණ ගැසුනු ප්‍රතම දිනයේදීම බව ඈට මතක් වුනා. අදත් අපි ආවා, ආයෙ නො ඒවි.... ඈ හිතෙන් මිමිණුවා..

පඩි පෙළ බැසවිත් වැල් බෝධියටත් ගිය ඔවුන් එකිනෙකාගෙන් සමුගන්නට නොහැකිව අසරනව උන්නා..

"දැන් කවද්ද ඔයා නුවරින් යන්නෙ?"

"හෙට තාත්ත එයි... "

"හ්ම්ම්ම්, පුදුම තාත්තල තමයි,... මං ඔයාගෙ තාත්තා එක්ක කතා කරන්නද? "

"වට් ??? ඔයාට පිස්සුද මහේශ් ??

"පිස්සු නොහැදුනොත් තමා පුදුමේ!"

"හ්ම්ම්. ඒකනම් ඇත්ත තමයි .."

"මම යන්න ඕනෙ මහේශ්.. ඔයා ක්ලාස් යනවනම් යන්න දැන්, ඉන්ටවල් එකෙන් පස්සෙ යන්න පුලුවන්නෙ. "

"නැහ් මං යන් නෑ, ඔයාව බෝඩිමට ඇරලන්නම්, යං.."

නිහඩ බව බිදිමින් මහේශ් මොනවදෝ මොනවදෝ කියනව මීනට ඇසුණා. ඒත් ඇගේ සිත බෙහෙවින්ම ව්යාකූලයි. කිසිවක් ඇයට වැටහුනේ නැ.. ආයෙ කවදාවත් අපි මෙහෙම එක ළග බස් එකේ යන එකක් නැතිවෙයි. ආයෙ කිසිම දිනෙක ඔහු වැව රවුමෙදී, සුදර්මාරාමයේදී, වැල් බෝදියේදි ඇයට කවදත් අසීරු රසායන විද්යාව ලිහිල් බසින් කියා නොදේවි ... ඇගේ සිතුවිලි අතීතයේ මිහිරි මතක තුළට ඇදී ගියා..

මහේශ් ඇගේ සුරත සෙමෙන් අල්ලා ගන්නා විට ඈ ගැස්සී පියවි ලොවට පිවිසියා. ඒ දෑස් වල තිබූ අසරණ බව දු‍ටු මීනාට කියන්නට කිසිම වචනයක් ආවෙ නෑ. උගුරේ යම්කිසි ගුලියක් හිරවී වචන එලියට ඒම හිරකර තිබුණා..

ඈ අරුප්පොලදී බසයෙන් බැස බෝඩිමට පැමිණියා. ඒ වනවිටත් ඈව නිවසට එක් කරගෙන යාමට තාත්තා ඔහුගේ රියදුරු එවා තිබුණා.

රියදුරු තැන ඈ දැක සිනාසුනා.

"තෙන්නකෝන් මොකෝ හදිස්සියේම ?" ඈ කිසිවක් නොදන්නා සේ විමසුවා.

"බබා, මහත්තයා ආවනෙ... බබාව එක්ක එන්නෙය කිව්වා, අර ක්‍රිස්ටි මහත්තයත් එක්ක ආවෙ... එයා ඇතුලෙ වාඩිවෙලා ඉන්නවා ... "

ඇගේ මුලු සිරුරම අප්‍රාණික වුනා...

 "අහවල් එකකට මෙහෙ ආවද !" ඈට කේන්තියටම කියවුණා.. ඒ හඩට බෝඩිමේ හිමිකාරියද වහා මිදුලට පැමිණියා..

සාලයේ පු‍ටුවක ඔහේ දිග ඇදී සිටි ක්‍රිස්ටි නම් තරුණයාගෙත් මීනාගෙත් දෑස් එකට ගැ‍ටුණා.. ඔහු විගස නැගී සිටියා. මීනාට කිසිත් සිතන්නටවත් ඔහු ඉඩක් දුන්නේ නෑ, ඔහු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ඈ දෙසට තම සුරත දිගුකළා..

Thursday, May 24, 2012

අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ ...

සෑහෙන කලක සිට කවියක් නොලිව්වෙමි
වෑහෙන රසය ඇති පදයක් අද ලියමී
පෑහෙන නොපෑහෙන බවනම් නොම දනිමී
සෑහෙන වෙලා ඇතිනම් කියවනු මැනවී ...

කාලේ මෙකල මං හිටියේ තුරුණු කලේ
ආලේ තමයි හැම සුසුමම සොදුරු කලේ
මාලේ බැන්ද අපි නැකතින් එකතු කලේ
කාලේ රුදුරු අපි දෙන්නා දෙමංසලේ

පස් වසරක්ම නුබ ඉගෙනුම කෙරුවාට
දොස් නැත නගේ නුබහට ජොබ් නැතුවාට
ඇස් දෙක වගේ නුබ ‍රැක ගමි හැමදාට
වස් නොවදීවි යන් මගෙ ක්වාටස් එකට ...

හිමි කිවු දෙයින් මා සිත සැනසීල ගියා
නිමි කර ‍රැකියාව මං ඉල්ලා අස්ව ගියා
පිමි පැන වගේ හිමිගේ උණුසුමට ගියා
වෙමි ප්‍රිය ගෘහණියක් අද සිට නුඹට කියා ...

අක්කර පහක් විතරක් වෙයි ඒ ඉඩම
අක්කර දෙකක් වත් ඇති ඒ මහ ගේම
දුක්බර දෙයකි ඒ මහ ගේ අතුගෑම
ඒ හින්දාම නොකළෙමි එය හැමදාම ...

මේ කිසිදෙයක් මගෙ සිත් ගත්තේ නැතිද
වේ එක් දෙයක් තවමත් මතකෙට සබැද
ගේ වට තිබිණි මහ අඹ ගස් නේක විද
මේ ගස් ටිකට මං ආදර කලා සොද ...

තනිකම වැඩියි බෑ පාලුව ඉවසන්ට
හනිකට අම්මෙ මලයා මෙහෙ ඇරලන්ට
කලකට පසුව බැරියැයි මට හුරුවෙන්ට
එතකොට එවන්නම් අම්මේ පිං නුබට ...

උදේ පටන් මං හා මගෙ පොඩි මලයා
ගල්ද පොලුද ගෙන අඹ ගස් රකිනු නියා
මදේ රසය වින්දෙමු නෑ වචන ලියා
අඹේ රසය සුර ලෝකෙට එහා ගියා ...

හවසක දිනෙක මලයා ගහ උඩට නැග
ආයාචනා කෙරුවයි මට ගහ උඩට
නැති වුව පුරුද්දක් මට ගස් වලට පැන
මොහොතක් පසුව මං සිටියෙමි අතු අතර

කෙලින් පාර ඈතට පෙනෙනවා සොද
පෙලින් පෙලට වාහන පැමිණෙනා සද
දු‍ටුව දෙයින් මං සිහි නැති නොඋනා වෙද
හිමි එන්නේය මිතුරන් සමගින්ම අද .....

හනිකට මල්ලි උඩ බිම බලමින් පැන්නා
වටකොට අතුරිකිලි මං ගහ උඩ තව ඉන්නා
අඩියට දෙකට හිමි මිතුරන් හා එන්නා
"කෝ බං උබේ බාරි" යැයි විමසන්නා ...

විස්මය හැගෙන දෑසින් මගෙ ස්වාමියා
වටපිට බලා මලයා වෙත අඩිය තියා
සැකහැර දැනුනු පසු මං ගස මතය කියා
"අනේ මචං නානවලුනෙ එයා" කියා ගියා

අඩ පැයක් ගෙවී ගොස් කලුවරත් වැ‍ටුනු විට
විදි දුකක් අනේ මං තනියෙන්ම ගහක් උඩ
දුරු කළා මදුරුවන් මැස්සන්ද මගේ තනිය
අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ  ...

තව මොහොතකින් ඒ නරි ‍රැළ පිටව ගියා
ආයිත් දිනෙක එන බව සැක හැරම කියා
දිග ඉනිමගක් ගෙනවිත් ගහ මුලට තියා
මං ගොඩ වුනෙමි නිවසට මලයාට රවා ....

Tuesday, May 22, 2012

අත්තම්මා හා මගේ සිතුවම

මේ ළගදි මට ආයෙත් පොඩි කාලෙ වෙච්චි සිද්දියක් මතකෙට ආවා.. ඒක මතක් වෙද්දිත් මට කට කොණට හිනාවක් ආව නිසා නිකමට වගේ බ්ලොග් එකටත් ලියලා දාන්නම් කො...


මේ කාලෙ මම එක වසරෙ විතර... ගමේ ඉස්කෝලෙ ගිය මම පොඩ්ඩක් විතර කලින් ගෙදර එනවා.. ඊට ටික වෙලාවකට පස්සෙ නගරේ ලොකු ඉස්කෝලෙ ගිය අක්කි ගෙදර එන්නෙ... ඉතින් එයා එනකම් සෙල්ලමක් වත් කරන්න විදියක් නැතුව ඉන්න මම තනියම කරන්න පුලුවන් සෙල්ලම් සොයාගැනීමේ මෙහෙයුම් දියත් කරනවා.. ඔය අතරින් ගොඩක් සෙල්ලම් අවසානයේ මුල්ලක මට නින්ද යෑම තමා සිද්ද වෙන්නෙ...

අපෙ අත්තම්ම තමා හැම එකටම ඉන්නෙ ඉතින්... මොකක් හරි වැඩක් කරගන්න බලන්නෙ අත්තම්මා... මං අහුවෙයි ඔව්වට... 

අක්කි එනකන් ගේ ඉස්සරහ සිමෙන්ති පඩිය උඩ බලාගෙන හිටපු මට අපූරු සිතුවිල්ලක් ආවා.. මට අක්කි ඉස්කෝලෙ සිට එන හැටි චිත්‍රයක් අදින්න හිතුනා.. දුවගෙන කාමරේට ගිහින් මං ප්ලැටිග්නම් පෙට්ටියක් අරන් ආවා... දැන් මං මගේ හැකි උපරිමය චිත්‍රයට නගනවා.. අත්තම්මගෙනුත් කිසිම සද්දයක් නෑ.. පොඩ්ඩකට එහා ගෙදරවත් යන්න ඇති.. ඉතින් මං නිදහසේ සිමෙන්ති පඩිය උඩ දිගාවෙලා කඩදාසි කොලේක අක්කිව සිත්තම් කරනවා... ඔන්න එතකොට මට ආයිත් එනවා අපූරුම අයිඩියා එකක් .. "මොකටද කොලේ අදින්නෙ? සිමෙන්ති පොළවෙම අදිනවා... සිනිදුම සිනිදු රතුම රතු පාට සිමෙන්තියෙ ලස්සනට ඇදෙනවනෙ.. "
පොඩි වෙලාවයි ගියෙ, මං කොළ පාටින්ම අක්කිව ඇන්දා, ටිකක් පොඩියට ..... පොඩි කාලෙත් ඉතින් මං ගත්තු දෙයක් ආපහු එතැනින්ම තියන නිසා ප්ලටිග්නම් පෙට්ටියත් කාමරෙන් තියල අත්තම්ම හොයන්න ගියා... 

දැන් හවස... අක්කියි මායි සෙල්ලම් කරනවා.. මිදුලෙ සෙල්ලම් ගෙයක් දානවා.. මට චිත්‍රෙ ගැනත් අක්කිට කියන්න අමතක උනා... ඔන්න ඔය වෙලාවෙ තමයි අර අසහාය සිත්තම අත්තම්මට දර්ශනය වුණේ... ගෙදර ප්‍රධාන දොර ඉස්සරහම ඇදපු බලිය දැක්ක අත්තම්ම හොදටම කේන්ති අරගෙන ..

"කවුද මේ විනාශෙ කළේ?"

"අත්තම්ම මං නෙවෙයි... "
අක්කි කෙළින්ම කිව්වා... එතකොට ඉතින් මංනෙ.. මාත් වීරය වගේ බොරු කියන්න පටන් ගත්තා..
"අත්තම්ම මාත් නෙවෙයි.. "

"ඔය දෙන්න නෙවෙයි නම් මමද මේක ඇන්දෙ ?"

"දන්නෑ අත්තම්මෙ, අපි නෙවෙයි"
අක්කි ඒ පාර මං වෙනුවෙනුත් පෙනී සිටිනවා..

එක පාරටම අපේ අත්තම්ම වෙනස් වුණා.. හරිම ලස්සනට හිනා වෙලා මෙහෙම කිව්වා...

"කවුරු උනත් හරිම ලස්සනයිනෙ.. කමක් නෑ පුතේ, ඔයාල දෙන්නටත් බැරිද මේ වගේ ලස්සනට චිත්‍ර අදින්න... මේ විදියටම ඇන්දොත් මං එයාට දෙනව තෑග්ගක්..."

"මට පුලුවන් අත්තම්ම, මං අදින්නද?"
මං පටස් ගාල ගෙට දිව්වා ප්ලැටිග්නම් ගේන්න... (හනේ මෝඩ මං...) අක්කිත් දුවගෙන ආවා ...

දැන් අපි දෙන්න අදිනවා චිත්‍ර... මටනම් වැඩි වෙලාවක් ගියෙත් නෑ.. ඉකමණටම ඉවර කරපු චිත්‍රෙ දිහා බලපු අක්කිගෙ ඇස් දෙකත් ලොකු උනා..


"ඔයාද මේකත් ඇන්දේ?"

"ඔව්... " මං ආඩම්බරෙන් කිව්ව...  අත්තම්මත් කිව්වනෙ ලස්සන චිත්‍රෙ කියල..

"ඕක ටිකක් වෙනස් කරල අදිනව, නැත්නම් අත්තම්ම දැනගන්නව ඔයා තමයි මේක ඇන්දෙ කියල..."

 අක්කි පුන පුනා කිව්වත් මං නෙවෙයි ඒ ලස්සන චිත්‍රෙ වෙනස් කලේ!

ටික වෙලාවකින් අත්තම්ම ආව.. චිත්‍ර ඇන්දපු කොල දෙකම අතට ගත්තු අත්තම්මගෙන් ඊට සුලු මොහොතකට පස්සෙ මගෙ පස්සට ගුටියක් ලැබුනා.. ඊට පස්සෙ මෙහෙම කිව්ව..

"ඔය ගුටිය චිත්‍රෙ ඇන්දට නෙවෙයි බොරු කිව්වට... "

ඊට පස්සෙ අක්කියි මායි අත්තම්මයි තුන් දෙනාම එකතු වෙලා තිනර් ටිකක් ද කොහෙද දාලා අර චිත්‍රෙ මකල දැම්මා..


Monday, April 9, 2012

අතීතයට ගියෙමි ...

"පොඩ්ඩක් ඉන්නව ළමය, දැන් අතත් පුච්ච ගන්නව !"

අත්තම්ම කියනව, ඒත් අපි සැලෙයි ඔව්වට. කොහොමහරි අත්තම්ම ලිපට එහා පැත්තෙන් තියාගෙන විටින් විටේ ඒකට දාන කැවුම් ටික දිහා බලාගෙන ඉන්න එක තමයි අපේ වැඩේ..  වැඩිය උසත් නැති නිසා අක්කි ගෙනාවා පොඩි ස්ටූල් එක.. දැන් ඒකට නගිනව අපි දෙන්නම. හරි දැන් අපූරුවට පේනවා. දෙන්නම දගල දගල ඕක දිහා බලා ඉන්නකොට අත්තම්ම සැර කරනව..

"ඕක උඩ නටල දැන් වැටෙයි ළමයි.. !" ඒත් මොනා කිව්වත් කැවුම් නම් ලැබෙනවා..
බැන බැන් හරි අත්තම්ම අහනව
 "රසද ?"

"ම්ම් තේරුන් නෑ තව එකක්... "




කිව්වා වගේම තමයි .. ටික වෙලාකින් ලිපට යටින් අත්තම්ම සීරුවට ගොඩ ගහලා තියෙන දර ගොඩෙන් දර කීරක් ඇනිලා අපි දෙන්න දගලනකොට කොහොමත් වැටෙනවා... හරි දැන් අක්කි දුවනව ඉස්සරහ මිදුලට.
වැලි දාපු මිදුලෙ කට්ටිය ගොඩක් රවුමට වාඩිවෙලා බෙල්ලො දානවා... චූටි මාම, ලොකු මාමා, ලොකු පුංචි, තව එහා ගෙදර බාප්පල... ඔක්කොම මෙතන.. අපි දෙන්නත් ඔය අස්සෙ පොඩි ඉඩකින් රිංගලා වාඩි වෙනව.. අපිට ඇහෙනව අමුතුම වචන..
 "අත කාටද ? "
"පොඩි දුව දාන්න, දිනුම් ඔත්තෙයක් ද? කෝ තැන්තුව? ඒක අදින්න එපා ... "
"හරි රුපියලක් ඔට්‍ටුයි, වැටෙන්නෙ ඉරට්ටයක් .. "
"ඔට්‍ටුයි ඔත්තෙයක්.. "

එතන එක ගාලගෝට්ටියක් වගේ...  ඔය අතරෙ අපිටත් බෙල්ලො කුට්ටම අල්ලන්න චාන්ස් එක එනවා...

"ඔන්න මගෙ අත දාන්නෙ චුට්ටි, "
 ඒ චූටි මාමා, මාත් ඉතින් දන්න සෙල්ලම් දාල පංච කුට්ටම හොලවල දානවා...
"දිනුම් ඔත්තෙයක් ම වැටියන්.. "
චූටි මාමා ඒ අතරෙ මුමුණනවා.. වැරදිල හරි එයා දින්නොත් මට තවත් එයාට වාසනාව ගේන්න එතන ඉන්න වෙනව.. නැත්නම් කොහොමත් අපිව එලවනව..

අපි දුවගෙන එනවා. පහල ගෙදරට. එහේ ඉන්නෙ අපෙ අත්තම්මගෙ අය්ය. ඒ සීයාගෙ මිණිබිරීලා මුණුබුරාල අමුතුම තාලෙ ඔන්චිල්ලාවක් හදලා.. බෙල්ලො පොළේ වැඩිහිටියො නිසා කිසිම කරදරයක් නෑ හිතේ හැටියට ඔන්චිල්ලාව පදින්න පුලුවන්. පුදුම ඔන්චිල්ලාවක් තමයි . තනි ලණුවෙ ඔන්චිල්ලාවක්. පොඩි කන්දක් වගේ තියෙන වත්තේ උඩම ගහක හොදට ළනුවක් බැදල ලනුවෙ කෙළවරට ලෑලි කෑල්ලක් ගැට ගහල.. අමුතුයිම නේන්නම්..

ඔන්චිල්ලාව පදින්න පෝලිමෙ ඉන්න ඕනෙ.. මම පොඩි නිසා ඉස්සරහට යන්න චාන්ස් එක එනව.. ලෑලි කෑල්ල උඩ වාඩි වෙලා කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙනවා.. පිටිපස්සෙන් ඉන්න කට්ටිය තල්ලු දානවා,.. හම්මේ කන්ද පාමුල පැත්තට පැද්දීගෙන යනකොට හුස්මත් නතර වෙනව වගේ..




ටික වෙලාවකින් ටිකිරි අය්යට කල්පනාවක් එනව ටීම් එකම යන්න.. මම සුපුරුදු විදියට වාඩි වෙනව. මගෙ දෙපත්තෙන් අපෙ අක්කියි එහා ගෙදර අක්කයි වාඩිවෙනව. ඉඩ තියෙන තැන්වලින් අනිත් තුන් දෙනත් ලෑල්ලෙ එක කකුල ගානෙ තියාගෙන තනි ලණුවෙ එල්ලෙනවා. අඩි දෙක තුනයි යන්නෙ.. දඩෝන් ගාගෙන කඩාගෙන වැටෙනවා.. බෙල්ලො පොළේ හිටපු අයත් දුවගෙන එනවා සද්දෙ මොකක්ද කියල බලන්න.. ඔන්චිල්ලාව බදාගෙන හිටපු මම දුරටම ගිහින් ලණුවත් එක්ක රෝල් වෙලා යනකොට මගෙ පස්සෙන් අනිත් අයත් රෝල් වෙනව.. අවුලක් නෑ අපි හැමෝම නැගිටිනව.. දෙක තුනක් වදිනවා පුංචිලාගෙන් මාමලගෙන්..

 "ඕව සුපුරුදු දේවල්නෙ.. "
"ආයි හදමු, " ඒ ටිකිරි අයියා..

අපි දෙන්න අක්කියි මායි එනවා ගෙදර.. බස් එක එන සද්දෙ ඇහිල අපි දෙන්නට එක සැරේට මතක් වෙනව මද්දු පුංචිව.. කොලඹ ඉදල එන්නේ, අනිවාර්යයෙන්ම අපිට තෑගි ගේනවා.. ආයි දුවනවා පඩි පෙළ නැගල පාරට.. එනව නේන්නම්.. සුදුපාට කම්මුල් රතු වෙලා මහන්සියට..

මහන්සි අරින්න වෙලාවක් දෙන්නෙ නෑ අපි..
"මට මොනාද ගෙනාවෙ?"
අක්කියි මායි හොරෙන් හොරෙන් ගිහින් අහනවා..

ඔන්න පුංචි පොඩි කාමරේ ඇද උඩට වෙලා අර ගෙනාපු තෑගි එක එක අදිනවා.. කොහොමත් එක වගේ ලස්සන ගවුන් දෙකක් එලියට ගන්නවා.. එක වගේම උනත් අපි පුරුද්දට වගේ රංඩු වෙනවා. හිතෙන්නෙම මගෙ එකට වඩා අනිත් එක චුට්ටක් හරි ලස්සනයි වද්ද කියල... කොහොමෞනත් කොලඹ ෆැශන් ගවුන්නෙ.. අපි හිත හදා ගන්නවා..

අක්කි දුවගෙන ගිහින් කලින්ම හදාගෙන තිබුණු ලිස්ට් එකේ මද්දු පුංචි කියන නම ඉස්සරින් හරියක් දාගන්නව.. දැන් තව තෑගි එන්න තියෙන්නෙ එක පුංචි කෙනෙක්ගෙන් විතරයි.. මොකක් ලැබෙයිද දන්නෙ නැ.. එයත් එන්නෙ කොලඹ ඉදන්.. අපි හීන මවනව..

හැමදේම වෙලාවට කරන අත්තම්ම අපි කවුරුත් පෙර‍ටු කරගෙන පන්සල් යනවා.. ලොකු මාම යි චූටි මාමයි උණ වෙඩි දානවා..

ලිප පත්තු කරන නැකත එනකොට වෙලාව හරියට බලන්න ටී වී එක ළගකීපදෙනෙක් ඉන්නවා.. අත්තම්ම කොහොමත් විනාඩි ගානකට කලින් ඉදන්ම ලිප ලග හිටගෙන බුදුන් වැදගෙන ලෑස්තිවෙනව.. . පුංචි දර කීරි ටිකක් ලොකු දර කීරි ටිකක් තමන්ගෙ වෙලාව එනකන් අත්තම්ම එක්ක ලිප ළග ඉන්නවා.  කිරි මුට්ටිය කොහොමහරි උතුරවන්න බලාගෙන තවත් කට්ටිය එතන ඉන්නවා..

කවන නැකත එනකොට ලොකු පොඩි කවුරුත් පෝලිම් ගැහෙනවා.. ආයෙත් මං ඉස්සරහම.. මංනෙ පොඩිම.. ඉතින් හරිම නැකතට හැමදාම කැවෙන්නෙ මට.. කිරිබතට දාපු හකුරුද තලද තව තව ජාති එක්ක අත්තම්ම අපි කාටත් කට කට පෝලිමේ එන හැටියට කවනව, හරිම රහයි..

දැන් ගනු දෙනු කරන වෙලාව. අපි ආසම වෙලාව.. බුලත් කොලවල ඔතල පුංචි බාප්පල මාමල ඔය කවුරුත් කාටත් ගනු දෙනු කරනව.. රුපියල් දහයක් ලැබුණොත් ඒක අපිට ලොකු දෙයක්.. වැඩ අල්ලන නැකත් කියල අම්මි කියනවා පොතක් බලන්න කියල, අලුත් අවුරුද්දෙත් බැනුම් අහන්න බැරි නිසා පරණ පොතක බලියක් වගේ එකක් ඇදල අපි ශේප් වෙනව...

හිසතෙල් ගාන නැකත එනකොට අපි හැමෝම පංසලට යනවා.. ලොකු හාමුදුරුවො තමයි ඒ වැඩේ කරන්නෙ..

ඉතින් පුංචිල ආයි යන්න ලෑස්ති වෙනවා, නිවාඩු ඉවරලු ... හිතට දුක හිතෙනවා... අවුරුදු දවස් ටික අල්ලගෙන තියාගන්න පුලුවන්නම් යන්න නොදී .....

පොඩි පහේ තේරවිල්ලක්.... 2

කලින් තේරවිල්ලට ලැබුණු ප්‍රතිචාරත් එක්ක තවත් පරණ තේරවිල්ලක් දාන්න හිතුවා.. ගොඩක් අය දන්නවාද කියන්නනම් දන්නෙ නෑ, නමුත් බලමු නොදන්න අයත් ඇතිනෙ...

ඔන්න බස් එකක් තිබුණලු. හොදටම පිරිල... අමාරුවෙන් මිනිස්සු ටිකත් අරගෙන බස් හෝල්ට් එක ළගට බස් එක ආවාලු, ඒත් බස් එකට නගින්න හිටපු සෙනග දැකපු කොන්දොස්තරට තරු විසි වුණාලු. කොහොමටවත් ඉඩක් නැති බස් එකට තවත් කට්ටිය නග්ගගන්නෙ කොහොමද කියලා කල්පනා කරපු කොන්දොස්තර බහින්න ඉන්නවානම් ඒ මිනිස්සුන්ට බහින්න කියලාත් නගින්න ඉන්න මිනිස්සුන්ව ප්‍රතික්ශේප කිරීමත් එකම එක වචනයක් පාවිච්චි කරලා ප්‍රකාශ කලාලු... මොකක්ද ඒ වචනෙ ??

කොන්දොස්තර එක වචනයක් පමනක් පාවිචිචි කළේ ඇයිදැයි මම ද නොදන්නා බවත් ඒ පිළිබද වැඩිදුර කල්පනා කිරීම ඵල රහිත බවත් කියා සිටිමි.

Thursday, April 5, 2012

නූරි --- 14

තමාව ගමේ මහගෙදර තනි කොට මල්ලි සමගින් අම්මාත් අප්පච්චීත් නැවත නුවර යාමට පිටත් වූ පසු නූරි ඔහේ ඇද මත හාන්සී වූවාය.

"මයෙ පුතේ, මං වත්තෙන් පොළොස් ගැටයක් කඩං එන්නම්, ඔයා ඩිංගක් ඇලවෙලා ඉන්ට.. දැන් නැන්දත් එයි .. "
අත්තම්මා කුස්සියේ සිටිමින්ම කිව්වාය.

හිටි හැටියේ විදුලියක් කෙ‍ටුවා මෙන් නූරිගෙ සිතට යමක් ඇතුල් විණි. ඈ වහා ඇදෙන් පැන බෑගයට අත දමා ගැහෙන දෑතින් තරින්ද ගුරුතුමන් ගේ ලියුම විවෘත කළාය.



////// 
දයාබර සෙනෙහෙබර දියණියේ,

මං ගුරුවරයෙක්, ඔයා වගේම ලෝකෙ හරියට අදුනා ගත්තෙ නැති, අතපත ගාල ලෝකෙ තේරුම් ගන්න උත්සාහ කරන, ඒ මගින් තේරුම් ගන්නා රාමුවකම ලෝකෙ ඇතියි කියා සිතන බොළද අහිංසක දරුවන්ට සැබෑ ලෝකය මෙයයි යන්න වටහා දෙන්න උත්සාහ කරන ගුරුවරයෙක්..  සැබැවින්ම ඔබත් මා දු‍ටු ආකාරයට ඉතා බොලද අහිංසක ඉගෙනීමට දක්ශ දැරියක්. අනෙක්  දරුවනුත් ඔබත් අතර මා විශේශ වෙනසක් දකින්නේ නැහැ, ඒබොලද බවත් අත්දැකීම් අඩු බවත් නිසාවෙන්ම අද ඔබට ඔබත් මාත් කිසිවෙකුත් නොසිතූ ආකාරයේ සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවී ඇතැයි යන්න මගේ හැගීම වනවා.  ///

නූරි ඇද මත පෙරළී සිටිනවා වෙනුවට කොට්ටයක් ඇද විට්ටමට තබා ඒ මතට හේත්තු වූවාය.

/// .. ඔබත් මාත් අතර වයසින් විශාල පරතරයක් නැතත්, අඩු වශයෙන් එය වසර හතක් වත් වනු ඇතැයි මා සිතනවා. මීට වසර හතකට පෙරාතුව මගේ චර්යාරටාව මට තවමත් හොදින්, ඉතාමත් හොදින් මතක ඇති බැවින් ඔබේ ක්‍රියාකාරකම් දඩබ්බර ලෙසට දැකීමට සිත් දෙන්නේ නැහැ. දරුවන් එසේයි, ඔවුන්ගේ ක්‍රියාකාරකම් කිසිම ගුරුවරයෙක් සදාකාලිකව මතක තබා ගන්නේ නැහැ. ඉතින් මට කියන්නට උවමනා දේ කෙටියන් පවසන්නම්, නැවත පාසැලට එන්න.. ඔබේ යුතුකම ජීවිතෙන් හැංගී ගොස් මුල්ලකට වී හැඩීම නොවෙයි. දහඩිය වගුරමින් උදේ සිට හවස් වනතුරු රාජකාරි කොට ගෙදර ආ පියාට මූණ එල්ලගෙන සිටින එකම දියණිය දැකීමට සැලැස්වීම ඒ තරම් හොද දෙයක් නොවේ යයි මා සිතනවා. කවුරු අතිනුත් වැරදි වෙනවා. වඩා වැදගත් වන්නේ නැවත ඒ වැ‍රැද්ද නොකිරීමයි.

මා මේ ලියූවේ ගුරුවරයෙකු ලෙසින් මගේ සිතේ ඔබට කියන්නට යැයි බලකල සිතුවිලි ටික පමණයි. මගේ වයසේ පසුවන සාමන්ය තරුණයෙක් මෙන්ම මගේ සිරුර තුළ පාසලට පිටදී පමණක්ම සිටින දගකාර තරුණයාගේ සිතුවිලි ස්වල්පකුත් මේ සමගින්ම අමුණමි.


නූරි, දැන් හැමදේම හරි කියල හිතන්න, ඔයා ඉස්කෝලෙ එන්න, අම්ම අප්පච්චිගෙ බලාපොරොත්තු වලට පයින් ගහල ඉන්න බෑ ඔයාට. ඔයා මට ආදරේ කළාද කියන එක මම ඒ තරම් දුරට හිතන්නෙ නෑ, නමුත් එදා ඔයා ඉස්කෝලෙ ඉන්න දවස්වල මා නොදැන සිටි දෙයක් මං දැන් දන්නවා. ඒ මටත් හොරෙන් මං ඔයාට ආදරේ කරන්න පටංගෙන කිය එකයි. නූරිට මේ දේවල් හිත පාරයිද කියන්න මං දන්නේ නෑ, නමුත් මං බලාපොරොත්තු වෙනවා එදා ඔය හිතේ තිබුණු ආදරේ තාමත් නොවෙනස්ව ඇතැයි කියලා.

කොහොම උනත් ඒ සියල්ල වෙනුවෙන් මං තීරණයක් ගත්තා. අරමුණක් කරා යනවානම් කැපකිරීම්වල දිග පළල බලන්න හොද නෑ කියලයි මං හිතන්නෙ. ඉතිං මං ගමෙන්  පොඩ්ඩක් ඈතට වෙන්න තියෙන ....... ඉස්කෝලේට මාරු වීමක් හදා ගත්තා. ඒක ඔයාටත් මටත් හොදයි. විබාගෙට තියෙන්නෙ තව මාස කීපයක්නෙ, බය වෙන්න එපා, වෙච්චි පරක්කුව ගැන නොසිතා දැන්ම මේ දැන්ම ඉදැන් පාඩම් කරන්න පටන් ගන්න. ඔයා ඉස්කෝලෙ එන්න පටන් ගත්තම මට කියන්න, මං ගෙදරට හරි ඇවිල්ල පහුගිය පාඩම් ටික කවර් කරන්නම්... මගෙ ෆෝන් නම්බර් එකට පුලුවන් වෙලාවක කෝල් කරන්න.

වඩා වැදගත් වෙන්නේ විබාගය, දෙවනුවයි විවාහය. විබාගය ඉවර උනු ගමන් මං අප්පච්චිට කියන්නම්, ඔයා කිසිදෙයක් බරට ගන්න එපා.. ඒ අහිංසක දෙමාපියන්ට සතුට ගේන්න මහන්සි වෙන්න.. මං නවතිනවා....

තරින්ද ........
////

දැස් අගින් සෙමෙන් ගලන කදුලු වලට නූරි ඔහේ යන්නට ඉඩ හැරියාය. හිනා වෙන්නටද අඩන්නටද කියා තේරුම් ගන්නට ඈ අපොහොසත් වී සිටියා කිව්වොත් නිවැරදියි. ...

ලිපිය නවා සගවා ඈ කාමරයෙන් එලියට පැමිණ අත්තම්මා එනතුරු මග බලන්නට වූවාය. 

"අනේ පුතේ කොයි වෙලාවෙද ආවෙ, ?" සුදු නැන්දා පැමිණ සිටියාය.

"දවල් ආවෙ නැන්දෙ... " කෙටි පිළිතුරකින් සුදු නැන්දාටද සෑහිමකට පත් වන්නට විය.

සිතුවම් පටයක් දිග හැරෙන්නා සේ නූරි ගේ සිතට එක් එක් සිද්දි මැවී පෙනුනාය. අම්මා අප්පච්චි හා තාමත් ලදරු වියේ සිටින සහෝදරයා වෙනුවෙන් හදවත බර වන්නට විය.

"මං මෙච්චර දවසක් මොනාද කලේ.. . පව් මගෙ අප්පච්චී, අම්ම පව් දෙය්යනේ... මල්ලිට මං නැතුව පාලුත් ඇති ...  "

කුරුල්ලන් එකින් එකා කූඩුවලට යනවිට, හාත්පස අදුර ඇයව වෙලගන්නට තනද්දී ඇය සෙමෙන් හිද උන් තැනින් නැගිටින්නට උත්සාහ කලාය...

"නූරි, මොකද ලමයා අද පහන පත්තුකරන්නෙ නැද්ද?" , නැන්දනියගෙ ප්‍රශ්නයට පිලිතුරක් වත් නොදී ඇය තම කාමරයට වැදී සෙමෙන් ඇදට වැ‍ටුනාය....

තවත් මොහොතකින් ඇය සෙමෙන් නැගිට්ටාය. දුරකථනය වෙතට ගමන් කළාය.

"හෙලෝ... "
එහා පසින් ඇසුණු ළපටි කටහඩ නූරිගේ හදවතේ ගැඹුරුම තැනකින් පටන් ගත් රිදුම මුලු සිරුර හරහාම ගමන් කරන්නට විය.




"මල්ලි, කෝ අම්ම , ?"

"අක්කි, මේන් ආයෙත් කටක් හැදිල. .. අම්මි මෙන්නෝ අක්කි. ... "

"පුතේ... "

"අම්ම පරිස්සමින් ගියාද ? "

"ඔව් මගෙ පුතේ ඇයි , හදිස්සියක් වත්ද ?"

ජයසේන මහතාද විස්මය ‍රැදි දෑසින් බිරිදගේ මුව දෙස බලා සිටියේය.

"නැ අම්මෙ, මං එන්නම් "

"ඇ ඇයි පැටියො,, අත්තම්මවත් මොනා හරි කිව්වද ?"

"අනේ නැ අම්මෙ, විබාගෙට තව මාස කීයද අම්මෙ, ඉස්කෝලෙ යන්නත් එපැයි ... "

"හොදයි පුතේ,.. අපි එහෙනම් හෙට එන්නම් මේන් අප්පච්චි කතා කරනවා... "

"මයෙ පුතේ... ඇයි මේ.. "

නූරිට එකදු වචනයක්වත් පිට කර ගන්නට නොහැකි විය. මොහොතකින් ඉකිබිදුමක් බවට පෙරලුණු හැඩුම නිසා නූරි දුරකථනය තබා නැවත කාමරයට ගියාය.

"කමක් නෑ මං හෙට ගෙදර යනවා,, ආයි කවදාවත් මේ දේවල් ගැන නොසිතා අම්ම අප්පච්චි මල්ලි ගැන හිතල වැඩ කරල විබාගෙ පාස් වෙනව මං දන්නව මට බැරි නෑ, මට හරි මාර්ගෙ පෙන්නල දුන්නට සර්ටත් පිං... "

ඈ කාලාන්තරයකට පසුව කදුලු අතරින්ම හිනැහුණාය. 




*********************** නිමි ******************************