Friday, December 30, 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

හිරු එනවාය පරවී යනවාය               කියා
නොදැනිම නමුත් තව වසරක් ගෙවී    ගියා
පැය යනවාය දින සති හා මාස       සොයා
සැනසෙමු මිතුර නව වසරට පැතුම්    තියා

බෝමයි පැතුම් නව වසරෙදි       කරගන්ට
ආසයි මගෙම ගේ පොඩ්ඩක්       අටවන්ට
සිටිනා පියවරින් අඩියක්            උඩඑන්ට
දෙවියනි පතමි මගෙ පැතුමන්   ඉ‍ටුවෙන්ට

වුනිනම් වැරදි එව්වා අමතක         කරමූ
අලුතින් දෙයක් දිවියට අපි එක්     කරමූ
සාමය සතුට පිරි නව වසරක්         පතමූ
සැම පැතුමක්ම ඉ‍ටුවන්නට සුබ     පතමූ 


ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

Wednesday, December 28, 2011

...පමා නොවී යන් රට...

හෙමිහිට කලුවර එනකොට
නුබත් එන්න රෑ වෙනකොට
පුත් කුමරුත් දොයියනකොට
මසිත දුවයි හතරවටට....

සරසවියෙදි මුන ගැහුනට
දෙසිත් ප්‍රේමයෙන් බැදුනට
අපිට අපිව ගැලපුනාට
විරොදේ ගෙයින්....

ඇයි මොකද්ද මගේ අඩුව
කියන් නගේ අඩු පාඩුව
ඉහට අරන් නුබත් කඩුව
ඇහුව සින්හලෙන්...

කාලය හෙමිහිට යනකොට
අපි එකහිත සුරකිනකොට
දෙයියො මූණ බලල යසට
මනාපෙ දුනි මව් ඔහු හට...

මංගල සීනුව හඩවා
ගමටම මගුලක් කියවා
පෝරු මස්තකේ හිදුවා
මා මනමාලිය වූවා...

කාසි පනම් හිග උනාට
අගහිගකම් බෝ උනාට
කල යුතු යුතුකම් ඕසෙට
තිබුනි අප වටේ ...

පඩිපත අත ගෑවෙනකොට
ඇමතුම එනවා ඔහුහට
අම්මට අක්කට නන්ගිට
ඊට ඉව තිබේ....

ඔහුගේ පඩිපත අම්මට
බෙහෙත් ගහන්නට කුබුරට
මගේ පඩිය නොතිබෙන්නට
වෙන්නෙ අපට ලෙවකන්නට

අක්ක නංගි මල්ලි අයිය
නැන්ද මාම පුන්චි සීය
මාසෙ අගදි කෝල් කරල
අහයි වගතුග...

මේ හැමදෙන හරි හරියට
කියන කතා හරි මනාය
ඔක්කොම ඉදලා තියෙන්නෙ
ඔහු පිහිටෙන්ය...

අක්කට මනමාලයා
සදුදා එනවා කියා
කපුවා ගියෙ දැන් කියා
පුතු ආවොත් වෙයි ශ්‍රියා..

පුංචි මල්ලි මේ අහපන්
පොඩි ලෝන් එකක් දීපන්
අපි ගැන පොඩ්ඩක් හිතපන්
මේ උදව්ව මට කරපන් ...

අය්යා මට අර කෝස් ය
උපාදියත් බාහිරින් ය
ඔක්කෝටම මෙච්චරයි ය
හෙට එව්වොත් මහ පිනක්ය...

පුතේ නුබට ලියා දෙන්න
අප්පච්චි හිතා උන්න
මහගෙදරට ඇවිත් යන්න
නිවාඩුව තියෙයි ?

ගේ දිරලා යන හින්දා
පොඩි අක්කා පැල් බැන්දා
මෙව්වා අහලා මන්දා
පුතාට වෙයිදෝ නින්දා...

පරණ කාර් මොටද පුතුට
අලුත් කාර් එකක් ගන්ට
පුතු දුන් එක තාත්තාට
මල්ලි අරන් රවුන් යන්ට...

මයෙ පුතු හරි වාසනා
ලේලි පොඩ්ඩ හරි මනා
ඔබ සැම දෙන යන එනා
මග පිපේලු මල් හිනා...

එහා ගෙදර නැන්ද නන්ද
මාසයකුත් වැඩිද මන්ද
දබදිව ගොස් ආව හින්ද
මාත් ආස නැද්ද මන්ද....

හාමුදුරුවො පන්සලේ
අහනව නුබ සැම වෙලේ
චයිත්තියට පන්සලේ
දායක මම වෙමි මලේ....

යකඩ කටින් පෝයදාට
නම්ගම් හෙම කියවනකොට
ආඩම්බරකමට ඔන්න
පොරොන්දු උනි හදා දෙන්ට...

අතමිට සරුවෙන්නට
හැමටම සලකන්නට
හැකි වෙයි අපි දෙන්නට
පමා නොවී යන් රට...

ප: ලි: හුදෙක් ප්‍රබන්දයක් පමනි...

Wednesday, December 21, 2011

අබේරත්න සර් මගෙන් පලි ගත්තේය....

ඔන්න ඉතින් මම කලින් දවසක කිව්වනේ මගේ පලවෙනි ඉස්කොලේ ගැන.. ඒකේ මම හිටියෙ අවුරුදු දෙකකට කිට්‍ටු කාලයක්... මේ දැන් කියන්න හිතුවේ ඒ ඉස්කොලෙන් අයින් වෙලා මම නගරේ ලොකු ඉස්කොලෙට දාපු මුල් කාලේ සිදු උනු සිද්දියක්...

ඔය ඉස්කොලෙට යන්න කලින් මට ඇඩ්මිශන් ටෙස්ට් එකකටත් ලියන්න උනා... ඒකට මාව එක්කරගෙන ගියෙත් අපේ අත්තම්ම,,, මට මතකයි ඒකෙ එක ටීචර් කෙනෙක් කියපු සිංහල වචන මම ලිව්ව... තව මොනාද වගයකුත් තිබුනා ඉතින්... ඔව්ව ඔක්කොම මතක තියාගන්නෙ කොහොමද නේද? ටෙස්ට් එක ඉවර වෙලා ඒ ටීචර් ලොකු අකුරෙන් "ඉතාම හොදයි" කියලා ලිව්වා...

මට මගේ පුන්චි හිතට එදා ලොකු සතුටක් දැනුන..
මට මතක හැටියට ඉස්සෙල්ලම මාව කවුරුහරි අගය කලේ එදා... ඉතින් මම උඩ පැනගෙන ඇවිත් අත්තම්මට පෙන්නුවා පොත...
අත්තම්මත් ලේසි නෑ.. කියපි "ඉතාමත්ම හොදයි කියල තිබ්බනම් තමයි හොද..."
ඕන් උත්තරේ... පොත අත්තම්මගේ බෑග් එකට දාල ගෙදරට එන කිලෝමීටරයක් දුරම ගල්වලට පයින් ගහ ගහ ආවා මං....
මාව ලොකු ඉස්කෝලෙට දැම්ම.. ..  තාමත් මතකයි අක්කි එයාගෙ පන්තිය ඉස්සරහ දොර ලග එයාගෙ දකුනු අත කටේ දාගෙන අම්මයි මායි දිහා බලාන හිටියා.. අක්කිගෙ දත් දෙකක් තිබ්බෙ නැති එක මට මතකයි...

අහ් තව එකක් ... අම්ම සාරිය ඇදගෙන මාව එක්කන් යනකොට අක්කිගෙ පන්තියෙ ලමයෙක් දුවගෙන ඇවිත්

"මැඩම් අරකි මට බෝතලෙන් ගහුවා... "
අම්මි සාරිය අදල හින්ද ඒ ලමය හිත්ල අම්මි ටීචර් කෙනෙක් කියලා.... හික් හික්.....
ඔන්න දැන් තමයි මම කියන්න හිතපු කාරණාව එන්නේ... මම ටෙස්ට් එකෙන් ලකුනු ගත්තට මාව හොදම පන්තියට ඇතුලත් කරගත්තෙ නෑ. එහෙ පන්ති පහක් විතර තිබුනා.. A පන්තියෙ හිටියෙ හොදම අය කියල ඒකටනම් කොහොමටවත් දාන්න බැ කියල අබේරත්න සර් අම්මට කියනව මම අහගෙන හිටියේ. ඒ සර් තමා අංශ භාර සර්... අබේරත්න සර්ගෙ ලමයත් ඒ පන්තියෙ හිටිය.....  අපේ අම්මත් ඉතින් බොහොම අමාරුවෙන් තර්ක විතර්ක කරල බැරි තැන පසු බැස්ස... ඒත් මම එක දවසයි D පන්තියෙ හිටියෙ... අම්ම වෙන ටීචර් කෙනෙකුට කියල මාව A පන්තියට දැම්ම... ජයසේකර සර් තමයි ඒ පන්තියට ඉගන්නුවෙ... සාමාන්ය යෙන් නම් පොඩි පන්තිවලට උගන්නන්නෙ මිස්ලනේ.. ඒත් ඒකෙ ඉගන්නුවෙ වයස 50ක් විතර උනු ජයසේකර සර්....
මුල් දවස්වල්දිම මට තේරුන පන්තියෙ ඉන්න ගොඩක් ලමයි ගුරුවරුන්ගෙ ලමයි... මාව ඒ පන්තියේ ඉන්දුව උනාට නම තිබුනේ D පන්තියෙ... නම මාර්ක් කරන වෙලාවට අබේරත්න සර් නම් පොත උස්සගෙන එනවා.. හැමදාම අහනව

"මේ පන්තියෙ තාත්තල නැති ලමයි නැගිටින්න කියල..."

එකදවසක් නෙවේ දෙකක් නෙවෙයි හැමදාම... ඒක අහනවා... මම නැගිටින්න ඕනේ... තව එක ලමයෙක් නැගිට්ට එයාගෙ නම සිරියලතා ද කොහෙද..එතකොට සර් කියනවා එයාට

"ඔය ලමය වාඩිවෙන්ඩ..."

ඔන්න ඔහොමයි සර් මගෙ නම මාර්ක් කරගන්නේ ආව කියල.... සර්ට තරහ තිබුනේ අම්මි එක්ක මාව කොහොමහරි මේ පන්තියට දාපු එක ගැන... මම මේක ගෙදර ගිහින් කිව්වෙ නැ.. මොකද අපෙ තාත්ති අපි පුංචිම කාලෙදි තමයි නැතිවෙලා තියෙන්නේ .... අම්ම කවදවත් අපිට අම්ම දුකෙන් ඉන්න බවක් පෙන්නුවේ නැ.. එ වගේම තාත්ති ගැන අපි දෙන්න එක්ක කතා කලෙත් නැ තේරෙන වයස එනකම්ම්... අක්කියි මමයිත් කවදවත් තාත්ති ගැන කතා වෙලා නැ,,, ඉතින් මට තාත්ති කියන වචනෙවත් හුරු නැති නිසා ඒ ගැන කතාකරන්න ලැජ්ජ හිතුන..

තවත් එකක්... මම පුංචි කාලෙ ගොඩක් පොඩි ලමයෙක් කියල මගෙ කලින් පෝස්ට් එකේ මම ලිව්වෙ... මේ ඉස්කොලෙදිත් මට ලමයි නමක් දම්ම මගෙ මිටි බව කියලා.. ඒ ලමයි මට කතා කලෙත් නංගි කියලා... .... ගුරුවරුන්ගේ ලමයි තමයි එහෙම කලේ.. උන් එහෙ මෙහෙ යනකොට මට ටොකු අනින්න ගත්තා,,... මේකනම් මට ඉවසන්න බැරි උනා.. මේක ගෙදර ගිහින් අම්මිට කිව්වම ඊලග දවසෙ අම්මි ජයසේකර සර්ට කියලා තිබුනා .. ඒ ප්‍රශ්නේනම් නැතිඋන... ලමයිනේ උන් බයට ඒක නැවැත්තුවා.. ඒත් අර අබේරත්න සර්ගෙ ප්‍රශ්නෙ ඇහිල්ල නම් මාස දෙකක් විතර තිබුනා... මම තුන වසරට යනකන්ම...

මගේ නම නිල වශයෙන් A පන්තියෙ නම් පොතට ඇතුලත් උනේ දෙක වසරෙ අන්තිම ටෙස්ට් එකෙදි මම A පන්තියෙ පලවෙනිය උනාට පස්සේ,,, එදානම් අම්මි එපා කියද්දිම අපේ අත්තම්ම අබේරත්න සර් හම්බ වෙන්න ඉස්කෝලෙට ඇවිත් "අබේරත්න සර්ට  කිව්වෙ ඒකනෙ  දරුව A පන්තියට ගන්න කියල...." කියල ගියා.
අත්තම්ම හරිද වරදිද කියල මම හිතුවෙත් නැ, හිතන්නෙත් නෑ... ඒත් සර් පුන්චි ලමයෙක්ගෙන් පලි ගත්ත එකනම් වැරදි විදියට තමයි මට දැනෙන්නේ...

අහ් ... දාන්වද නොදානවද කියල හිතල හිතලා  මේ ටිකත් දාන්නම හිතුව... අබේරත්න සර් ගෙ පුතා දැන් ත්‍රීවිල් එලවනවලු....

Monday, December 19, 2011

මම ගෙදර යතුර වුනෙමි...

සෑහෙන දවසකින් බ්ලොග් එක ලියන්න බැරි උනානේ.. හරිම බිසි උනා. දැන් පොඩ්ඩක් විතර විවේකයක් අරගෙන ලියන්න හිතුව පොඩි කාලේ මට සිද්ද වෙච්චි දෙයක්...

මම පුන්චි කාලේ හරිම මිටියි.. කෙට්‍ටුයි...ඉතින් මේ වාසනාවට හෝ අවාසනාවට මට ලැබිචිචි පුංචි ශරීරෙ නිසා මට බොහොම අමතක නොවෙන සිදුවීම් තියෙනවා. මේ එවගෙන් ඒකක්...

මට අවුරුදු පහේදි විතර අපේ ගෙදර හැදුවෙ... ඒක අපේ අත්තම්මලගේ ගෙදරට පහලින් තමයි තිබුනේ...
.. අපේ තාත්තා මම පුන්චි කාලෙ නැති උනේ.. මට ඒ හැටි මතකයක් නැ ඒ ගැන.. ඒ නිසාමයි අපේ අම්ම වැඩිය ඈතට නොයා මහගේ කිට්‍ටුවෙන්ම ගෙයක් හැදුවෙ... ගේ හැදුව උනත් අපි රෑට ඒ ගෙදර හිටියෙ නෑ. උදේට ගිහින් අම්ම ලේස්ති වෙනවා ඔ‍ෆිස් යන්න.. අපි යන්නේ පුන්චිලත් එක්ක.. එයාලත් ඉස්කොලේ යන්න ලැස්ති වෙන්නෙ අපේ ගෙදරදි.. මොකද ඒ ගෙදර ලයිට් තිබුනා.. මහ ගෙට ලයිට් තිබුනෙ නැ,, හවසට
නිදාගන්න අපි අත්තම්මලගේ ගෙදර එනවා.. සමහර දවස්වලට රැට අත්තම්මලගේ ගෙදරම ඉන්නවා කම්මැලි හිතුනම ... ගේ හදල මුල් දවස්වලනම් අපි ආසාවෙන් උදේට ගියා.. ... ඒත් ඉතින් පහුවෙනකොට උදේම
නැගිටින්න ඕනෙ කියල මතක් වෙනකොට එපාම  උනා.. අපි එතකොට නිදි වගේ ඉන්නවා හොරට.. දවසක් දා තමයි හොදම හරිය උනෙ... කවුරුහරි අතින් ගෙදර යතුර නැති වෙලා..
උදේ පාන්දර එක යුද්දයයි.. කට්ටිය යතුර හොයනවා...
හොයල හොයල බැරි තැන කට්ටියම ගියා මොනා හරි කරලා දොර ඇර ගන්න..
ඔය ගෙදර තිබුන දොර අර යතුර නොදාම ඇද්දම ලොක් වෙන එකක්... යතුර නැති උනාට ඇතුලින් දොර අරින්න පුලුවන්.. අය්යෝ දැන් අපේ පුන්චිල
ටික විසදුම් කල්පනා කරනවා.. හීල් පාන්දරක.. ..   මට පුංචිලා හතර දෙනයි... දැන් හතර දෙනාම ඇවිල්ලා.. ඒ වෙද්දි එයාලත් ඉස්කොලේ යනවනේ.. ඉක්මනට දොර ඇර ගත්තෙ නැත්නම් එයාලටත් පරක්කු
වෙනවනෙ.. එක්කෙනෙක් කියනවා...

 "හරි හරි ලොකු අක්කෙ එන්න, මේ ජනෙලේ අර ගන්න පුලුවන් වගේ... ඒක අර ගත්තොත් කොස්ස දාල
දොරේ ලොක් එක පන්නන්න පුලුවන්... "

අපේ අම්ම;
"අහ් ඔව්මයි බලන්න, වෙලාවට ඊයේ ජනෙලේ හරියට වහලා නැ... " 

තව පුන්චි කෙනෙක් වහලේ හිස්තැනක් හෙව්ව රින්ගන්න... අය්යෝ වෙලාවට එහෙම තැනක් තිබ්බේ නැ... දැන් අම්මා බනින්න පටන්ගත්තා..
"අය්යෝ මේ ලමයි දෙන්නා මොන ලෝකෙක යතුර දාලද, මේගොල්ලන්ගේ වැඩ නිසා මට ඔ‍ෆිස් යන්නත් පරක්කු වෙනවා.. හොදට මතක් කරනවා ලමයො කොහෙද දැම්මේ ?? අක්කි කියනවා බලන්න කවුද යතුර ගත්තේ??"

අම්මා ගියා යතුර හොයන්න ආපහු සැරයක්...
.. යතුරක් මටනම් මතකයක් නෑ. අඩුම තරමින් දොරක් අරින්න යතුරක් ඕනෙද කියලවත් අපි දෙන්නට ගානක් නෑ.. අපි කෝකටත් ගලක් උඩට වෙලා පුන්චිලාගෙ මහා මිශන් එක දිහා බලාගෙන හිටියා.. ඔන්න බොලේ මගේ පොඩිම පුන්චා හොයගත්තනෙ ක්‍රමයක්.. ඇරියනෙ ජනේලේ... දැන් තමයි වැඩේ.. එක්කෙනෙක් දුවගෙන ගිහින් ගෙනාව කොස්ස. ම්ම්හ් කොස්ස දැම්ම

" ... දිග මදි... අය්යෝ.. ඉවරයි දන් මොකක්ද කරන්නෙ ? ඉස්කොලේ යන්න පරක්කු වෙනවා.. "

ඒ ජනේලෙට දැන් වගේ ග්‍රිල් තිබ්බේ නෑ. හරහට යකඩ බට ගහලා තිබුනේ. කට වහගෙන ඉදලා ඉදලා මගේ දෙවනි පුන්චි දුන්නා නෙවි යස උත්තරයක්..

 "පොඩ්ඩිව දාමු මේ ජනෙලෙන්"

බුදු හාමුදුරුවනේ  මුන්දල ටික එකතු වෙලා මාව මේක අස්සට දාන්න ප්ලෑන. ලයි‍ටුත් නෑ ඇතුලේ..

"අනේ මගේ සුදු නෝනා ගිහින් දොර අරින්න හොන්දද !"

දැන් මාව උස්සලා ගත්ත හරහට මගෙ පුන්චිලා සෙට් එක ...  ඔන්න ඉස්සල්ලා කකුල් දෙක ඇතුලට දාල කට්ටිය ටික ටික මාව තල්ලු කලා.. ජනෙලෙන් එහා පත්තේ තිබ්බේ ඇදක්... ඒ නිසා මම ටික ටික එලියේ ඉදන් ඇදට වැටෙනවා.. අමාරුම හරිය තම්යි ඔලුව දාපු එක... එක පුන්චි කෙනෙක් මාව අල්ලගෙන ඉදිද්දි මගෙ ඔලුව තව එක්කෙනෙක් හරවල ඇතුලට තල්ලු කලා... හපොයි මම සම්පූර්නයන්ම ඇදට ව‍ටුනා.. වීරය වගේ මම ගිහින් දොර ඇරිය... ඒ ඩින්ගට පුන්චිලා සෙට් එක ඉස්සරහ දොර ලග...

කොහොමහරි එදා දවස ගෙවුනා... ඊට පස්සේ මේ කට්ටිය හැමදාම මාව අර ජනේලෙන් තල්ලු කරන්න පටන්ගත්තා .. යතුර හොයගන්න කාටවත් උවමනාවක් නෑ. වෙනදට සමහර දවස්වලට මම උදේට ගෙදර යන්නෙත් නෑ. අත්තම්ම ලගට වෙලා ගුලිවෙල නිදියනව.. ගෙදර යතුර මම උනාට පස්සේ මම හැමදාම යන්න ඕනේ..  අක්කි සැපට නිදි ... ඔන්න මම යතුරේ රාජකාරිය කරන දවස් තුනක් හතරක් ගෙවුනා.. දෙන්නම් වැඩක් කිය කියා ඉදලා මම එදා මාව ඇතුලට දැම්මට පස්සේ දොර අරින්නේ නැතුව ඇදේ නිදාගත්තා. නින්දනම් ගියෙ නැ.. බොරුවට පොඩි වෙලාවක් හිටියා.. එදා මගේ ලොකු පුන්චි විතරයි හිටියේ..  මට බනිනවා බනිනවා දොර අරින්න කියලා... මම හෙමිහිට හෙමිහිට ගිහින් දොර අරිනකොටම උදේ පාන්දරින් වැදුනා ගුටියක්..

ඊට පස්සේ නම් ආය මට ගෙදර යතුර වෙන්න උනේ නෑ.. අම්ම ඒකට ඉබ්බෙක් කාටද කියලා දාල තිබුනා...

Friday, December 9, 2011

පළමු පාසැල ...

මම අද ලියන්නේ මගේ පුන්චි කාලේ මතකයක් ගැන.

මම ඉපදුනේ බොහොම දුශ්කර දුප්පත් ගමක යමක් කමක් යාන්තමින් තියෙන පවුලක. අම්මා රස්සාවක් කරන නිසා මම හැදුනෙ වැඩුනේ අත්තම්මාත් එක්කමයි.. මම නැගිටිනකොට අම්මා ඔ‍ෆිස් ගිහිල්ලා. එකම සිසී ඉස්කෝලේ ගිහිල්ලා. ඉතින් හැමදේටම හිටියේ අත්තම්මා තමයි...

අත්තම්ම එක්ක ඉන්නකොට මටත් හරි වැඩ තමයි තියෙන්නේ... අපි දෙන්නගේ වැඩේම හේනට කුබුරට යන එක තමයි...   ඔන්න කොහොමහරි දවසක් මම මෙහෙම යනකොට දැක්කා ලොකු පිට්ටනියක් .. එක ම එක පොඩි මඩුවක් වගේ එකක් තිබුණා. පොඩි ලමයි පිට්ටනියේ සෙල්ලම් කරනවා.. දැන්නම් හිතෙනවා දුයිශෙන්ගේ ඉස්කොලේ වගේද කියලත්....අත්තම්මා කිව්වේ ඒක ඉස්කෝලයක් කියලා. මම කිව්වා මටත් යන්න ඔනේ කියලා... වයස හරි ගියාම දාන්න බැරියයි කිව්ව නිසා මට වයස හරියනකන් බලන් ඉන්න උනා... මගෙ වයස හරි ගියා ඉතින් ඔහොම ඔහොම යනකොට....

අම්මාගෙ ප්ලෑන තිබුනේ නගරේ තිබුනු අක්කිගේ ලොකු ඉස්කෝලෙට දාන්න උනත් එක්කන් එන්න කරදරයි කියා ගමේ පොඩි ඉස්කෝලෙට මාව දානව කියලා අත්තම්මා කිව්වා... මට ලොකු පොඩි වෙනසක් තෙරෙන වයසක් නෙවෙයිනෙ .. මාත් එක පයින්..  ඔන්න පලවෙනි දවස ඉස්කෝලෙ... අත්තම්මයි මායි ගියා.. එක එක ලමයි එක එක ඇදුම්... ඇත්තමයි මේක බලන ඔයාලත් කවදහරි පාට ඇදුම් වලින් ඉස්කෝලෙ ගිහින් තියෙනවද ඈ ? මම ඇදගෙන ගියේ කලිසමකුයි ඒ රෙද්දෙන්ම මහපු බ්ලවුස් එකක් වගේ එකක් .. දැන්නම් මට හිතෙනවා මම එදා ඇදන් ගිහින් තියෙන්නේ පිජාමා එකක්වද්ද කියලත්... කොහොම හරි මම ඒ පිජාම එක ඇදගෙන අවුරුදු දෙකක්ම ගියා ඒ ඉස්කෝලෙට...... ....

ඊට පස්සේ නගරේ ලොකු ඉස්කෝලෙට මාව දාපු දවසේ තමයි මම සුදු ගවුමක් ඇන්දෙ...

දැන් නම් ගමේ යන්න වෙන්නේ කලාතුරකින් .. ඒත් ගියාම තාමත් නිකමට වගේ ඉස්කෝලේ බලන්න යනවා....  විශ්වාස කරන්නත් බැරි එදා තිබුනු විදියටමයි තාමත් ඉස්කෝලෙ තියෙන්නේ. කිසිම වෙනසක් නෑ. ...

Thursday, December 8, 2011

ඩේ කෙයාර්

මේ කතාව මගේ අත්දැකීමක් ..
මේ කියන කාලෙ වෙනකොට අපිට හිටියේ අපිම විතරක් කිව්වොත් තමා හරියටම හරි. එහෙම වුණු හැටි පස්සෙ කියමුකො .. 

ඉතින් මමත් මගේ කාර්යබහුල සැමියත් කතා වුණා අපේ පුංචි පැටියව ඩේ කෙයාර් එකකට දාන්න. මොකද දෙන්නම රස්සාවට ගියේ නැත්නම් ඉතින් වෙන සන්තෑසිය අපි කවුරුත් දන්නවා නෙව .. මේ ඩේ කෙයාර් එක අපේ ගෙදර ළගමයි .. ඉතින් හරි ලේසියි. උදේට ගිහින් බබාව දාලා අපි වැඩට ගියා. මුලදි ගානක් නෑ බබා හොදින් හිටියා. ඒත් පහු වෙනකොට දරුවා  ඩේ කෙයාර් එක දැක්ක ගමන් බෙල්ල බදාගන්නවා. අපිට හරිම දුකයි. කොහොමත් මේ විදියට පැටියව ඩේ කෙයාර් දාන්න බෑ කියල අපි තේරුම් ගත්තා. මම හිත හදාගෙන රස්සාවෙන් අස්වෙන්න තීරණය කළා. හැම දේම කරන්නේ දරුවා ගැන හිතලනම්  රස්සාව නැතිවුණා කියල අපි වැටෙන්නෙ නෑ කියල හිත හදාගෙන අස්වීමේ ලිපිය අරන් ගියා. එදාම බබාට උණ කියලා ඩේ කෙයාර් එකෙන් කතා කරල කිව්ව ටික වෙලාවකින්. හදිසියෙන්නේ මම ඉක්මණට ආවා. බබා අරගෙන ඉස්සෙල්ලා ගෙදර ආවා. බබා නිදි. මම එයාගෙ පැම්පර්ස් එක අයින් කරන්න ගියේ. එතකොටයි දැක්කෙ ඩේ කෙයාර් එකෙ කට්ටිය පැම්පර්ස් එක අන්දලා තිබිච්චි අපූරුව. මම හිතන්නෙ පැම්පර්ස් එක අන්දන්න යනකොට එක පැත්තක ඇලවෙන කොටස කැඩිලා තියෙනවා. ඒ නිසා මෙයාලා පුලුවන් තරමින් ඇදල අරගෙන නැපි කට්ටක් ගහල තිබුණා. නැපි කටුව ඉණට තද වෙලා එතන පාර හිටලා කලු වෙලා. මගෙ දරු පැටියට හොදටම රිදෙන්න ඇති. නිදි දරුව තුරුලු කරගෙන මම හොදටම ඇඩුව. ආයෙ කවදාවත් ඩේ කෙයාර් එකකට දාන්නෙ නෑ කියල හිතුව. මම රස්සාවෙන් අස්වුණා.

Tuesday, December 6, 2011

නිදහස් සිතින් සයිබරයේ දුවනකොට
බ්ලොගයක් හදන්නට මතුවුනි සිතක් මට
දන්නා ජාති ඔක්කොම දාලා යසට
හැදුවෙමි එකක් හැදුනද නොදනිමි රුවට...

ආගන්තුකයි පිටුවට මම නම් බෝසා
සිහියට නැගෙනවා එය මොහොතක් පාසා
එනමුත් මගේ සිත තුල පොපියයි ආසා
කස්ටිය ඇවිත් ගියොතින් අනෙ මට ආසා...

නුඹ සැම දෙනාගෙම පිටු සැම විට බලමී
එලෙසින් මෙයත් වඩවන්නට දිරි ගනිමී
හැකි හැකි සැමවිටම සිවුපදයක් ලියමී
ගුණදොස් විවේචන නම් නුඹගෙන් යදිමී

Monday, December 5, 2011

මල් මිටියාවත

එන්න මල් මිටියාවත ට ...

අද ඉදන් හැමදාම
මල් පොට්ටු පීදේවී
මල් මිටියාවතින්
මල් සුවද විහිදේවි..

නුඹ ඇවිත් ගියපුවම
මට දිරිය වැඩි වේව්
ඒ තුලින් තව තවත්
මේ පිටුව හැඩවේවි..

ඉතින් මේ ඇරඹුමේ
මුල්ම පියවර ලෙසින්
තබන්නම් ඇරයුමක්
ඒ ඉමෙන් මේ ඉමට
මා සමග ඇවිදින්න
මලින් මල පූදන්න
මට සෙමෙන් දිරි දෙන්න ...

මම
සම්මානි ...