Showing posts with label නූරි. Show all posts
Showing posts with label නූරි. Show all posts

Thursday, April 5, 2012

නූරි --- 14

තමාව ගමේ මහගෙදර තනි කොට මල්ලි සමගින් අම්මාත් අප්පච්චීත් නැවත නුවර යාමට පිටත් වූ පසු නූරි ඔහේ ඇද මත හාන්සී වූවාය.

"මයෙ පුතේ, මං වත්තෙන් පොළොස් ගැටයක් කඩං එන්නම්, ඔයා ඩිංගක් ඇලවෙලා ඉන්ට.. දැන් නැන්දත් එයි .. "
අත්තම්මා කුස්සියේ සිටිමින්ම කිව්වාය.

හිටි හැටියේ විදුලියක් කෙ‍ටුවා මෙන් නූරිගෙ සිතට යමක් ඇතුල් විණි. ඈ වහා ඇදෙන් පැන බෑගයට අත දමා ගැහෙන දෑතින් තරින්ද ගුරුතුමන් ගේ ලියුම විවෘත කළාය.



////// 
දයාබර සෙනෙහෙබර දියණියේ,

මං ගුරුවරයෙක්, ඔයා වගේම ලෝකෙ හරියට අදුනා ගත්තෙ නැති, අතපත ගාල ලෝකෙ තේරුම් ගන්න උත්සාහ කරන, ඒ මගින් තේරුම් ගන්නා රාමුවකම ලෝකෙ ඇතියි කියා සිතන බොළද අහිංසක දරුවන්ට සැබෑ ලෝකය මෙයයි යන්න වටහා දෙන්න උත්සාහ කරන ගුරුවරයෙක්..  සැබැවින්ම ඔබත් මා දු‍ටු ආකාරයට ඉතා බොලද අහිංසක ඉගෙනීමට දක්ශ දැරියක්. අනෙක්  දරුවනුත් ඔබත් අතර මා විශේශ වෙනසක් දකින්නේ නැහැ, ඒබොලද බවත් අත්දැකීම් අඩු බවත් නිසාවෙන්ම අද ඔබට ඔබත් මාත් කිසිවෙකුත් නොසිතූ ආකාරයේ සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවී ඇතැයි යන්න මගේ හැගීම වනවා.  ///

නූරි ඇද මත පෙරළී සිටිනවා වෙනුවට කොට්ටයක් ඇද විට්ටමට තබා ඒ මතට හේත්තු වූවාය.

/// .. ඔබත් මාත් අතර වයසින් විශාල පරතරයක් නැතත්, අඩු වශයෙන් එය වසර හතක් වත් වනු ඇතැයි මා සිතනවා. මීට වසර හතකට පෙරාතුව මගේ චර්යාරටාව මට තවමත් හොදින්, ඉතාමත් හොදින් මතක ඇති බැවින් ඔබේ ක්‍රියාකාරකම් දඩබ්බර ලෙසට දැකීමට සිත් දෙන්නේ නැහැ. දරුවන් එසේයි, ඔවුන්ගේ ක්‍රියාකාරකම් කිසිම ගුරුවරයෙක් සදාකාලිකව මතක තබා ගන්නේ නැහැ. ඉතින් මට කියන්නට උවමනා දේ කෙටියන් පවසන්නම්, නැවත පාසැලට එන්න.. ඔබේ යුතුකම ජීවිතෙන් හැංගී ගොස් මුල්ලකට වී හැඩීම නොවෙයි. දහඩිය වගුරමින් උදේ සිට හවස් වනතුරු රාජකාරි කොට ගෙදර ආ පියාට මූණ එල්ලගෙන සිටින එකම දියණිය දැකීමට සැලැස්වීම ඒ තරම් හොද දෙයක් නොවේ යයි මා සිතනවා. කවුරු අතිනුත් වැරදි වෙනවා. වඩා වැදගත් වන්නේ නැවත ඒ වැ‍රැද්ද නොකිරීමයි.

මා මේ ලියූවේ ගුරුවරයෙකු ලෙසින් මගේ සිතේ ඔබට කියන්නට යැයි බලකල සිතුවිලි ටික පමණයි. මගේ වයසේ පසුවන සාමන්ය තරුණයෙක් මෙන්ම මගේ සිරුර තුළ පාසලට පිටදී පමණක්ම සිටින දගකාර තරුණයාගේ සිතුවිලි ස්වල්පකුත් මේ සමගින්ම අමුණමි.


නූරි, දැන් හැමදේම හරි කියල හිතන්න, ඔයා ඉස්කෝලෙ එන්න, අම්ම අප්පච්චිගෙ බලාපොරොත්තු වලට පයින් ගහල ඉන්න බෑ ඔයාට. ඔයා මට ආදරේ කළාද කියන එක මම ඒ තරම් දුරට හිතන්නෙ නෑ, නමුත් එදා ඔයා ඉස්කෝලෙ ඉන්න දවස්වල මා නොදැන සිටි දෙයක් මං දැන් දන්නවා. ඒ මටත් හොරෙන් මං ඔයාට ආදරේ කරන්න පටංගෙන කිය එකයි. නූරිට මේ දේවල් හිත පාරයිද කියන්න මං දන්නේ නෑ, නමුත් මං බලාපොරොත්තු වෙනවා එදා ඔය හිතේ තිබුණු ආදරේ තාමත් නොවෙනස්ව ඇතැයි කියලා.

කොහොම උනත් ඒ සියල්ල වෙනුවෙන් මං තීරණයක් ගත්තා. අරමුණක් කරා යනවානම් කැපකිරීම්වල දිග පළල බලන්න හොද නෑ කියලයි මං හිතන්නෙ. ඉතිං මං ගමෙන්  පොඩ්ඩක් ඈතට වෙන්න තියෙන ....... ඉස්කෝලේට මාරු වීමක් හදා ගත්තා. ඒක ඔයාටත් මටත් හොදයි. විබාගෙට තියෙන්නෙ තව මාස කීපයක්නෙ, බය වෙන්න එපා, වෙච්චි පරක්කුව ගැන නොසිතා දැන්ම මේ දැන්ම ඉදැන් පාඩම් කරන්න පටන් ගන්න. ඔයා ඉස්කෝලෙ එන්න පටන් ගත්තම මට කියන්න, මං ගෙදරට හරි ඇවිල්ල පහුගිය පාඩම් ටික කවර් කරන්නම්... මගෙ ෆෝන් නම්බර් එකට පුලුවන් වෙලාවක කෝල් කරන්න.

වඩා වැදගත් වෙන්නේ විබාගය, දෙවනුවයි විවාහය. විබාගය ඉවර උනු ගමන් මං අප්පච්චිට කියන්නම්, ඔයා කිසිදෙයක් බරට ගන්න එපා.. ඒ අහිංසක දෙමාපියන්ට සතුට ගේන්න මහන්සි වෙන්න.. මං නවතිනවා....

තරින්ද ........
////

දැස් අගින් සෙමෙන් ගලන කදුලු වලට නූරි ඔහේ යන්නට ඉඩ හැරියාය. හිනා වෙන්නටද අඩන්නටද කියා තේරුම් ගන්නට ඈ අපොහොසත් වී සිටියා කිව්වොත් නිවැරදියි. ...

ලිපිය නවා සගවා ඈ කාමරයෙන් එලියට පැමිණ අත්තම්මා එනතුරු මග බලන්නට වූවාය. 

"අනේ පුතේ කොයි වෙලාවෙද ආවෙ, ?" සුදු නැන්දා පැමිණ සිටියාය.

"දවල් ආවෙ නැන්දෙ... " කෙටි පිළිතුරකින් සුදු නැන්දාටද සෑහිමකට පත් වන්නට විය.

සිතුවම් පටයක් දිග හැරෙන්නා සේ නූරි ගේ සිතට එක් එක් සිද්දි මැවී පෙනුනාය. අම්මා අප්පච්චි හා තාමත් ලදරු වියේ සිටින සහෝදරයා වෙනුවෙන් හදවත බර වන්නට විය.

"මං මෙච්චර දවසක් මොනාද කලේ.. . පව් මගෙ අප්පච්චී, අම්ම පව් දෙය්යනේ... මල්ලිට මං නැතුව පාලුත් ඇති ...  "

කුරුල්ලන් එකින් එකා කූඩුවලට යනවිට, හාත්පස අදුර ඇයව වෙලගන්නට තනද්දී ඇය සෙමෙන් හිද උන් තැනින් නැගිටින්නට උත්සාහ කලාය...

"නූරි, මොකද ලමයා අද පහන පත්තුකරන්නෙ නැද්ද?" , නැන්දනියගෙ ප්‍රශ්නයට පිලිතුරක් වත් නොදී ඇය තම කාමරයට වැදී සෙමෙන් ඇදට වැ‍ටුනාය....

තවත් මොහොතකින් ඇය සෙමෙන් නැගිට්ටාය. දුරකථනය වෙතට ගමන් කළාය.

"හෙලෝ... "
එහා පසින් ඇසුණු ළපටි කටහඩ නූරිගේ හදවතේ ගැඹුරුම තැනකින් පටන් ගත් රිදුම මුලු සිරුර හරහාම ගමන් කරන්නට විය.




"මල්ලි, කෝ අම්ම , ?"

"අක්කි, මේන් ආයෙත් කටක් හැදිල. .. අම්මි මෙන්නෝ අක්කි. ... "

"පුතේ... "

"අම්ම පරිස්සමින් ගියාද ? "

"ඔව් මගෙ පුතේ ඇයි , හදිස්සියක් වත්ද ?"

ජයසේන මහතාද විස්මය ‍රැදි දෑසින් බිරිදගේ මුව දෙස බලා සිටියේය.

"නැ අම්මෙ, මං එන්නම් "

"ඇ ඇයි පැටියො,, අත්තම්මවත් මොනා හරි කිව්වද ?"

"අනේ නැ අම්මෙ, විබාගෙට තව මාස කීයද අම්මෙ, ඉස්කෝලෙ යන්නත් එපැයි ... "

"හොදයි පුතේ,.. අපි එහෙනම් හෙට එන්නම් මේන් අප්පච්චි කතා කරනවා... "

"මයෙ පුතේ... ඇයි මේ.. "

නූරිට එකදු වචනයක්වත් පිට කර ගන්නට නොහැකි විය. මොහොතකින් ඉකිබිදුමක් බවට පෙරලුණු හැඩුම නිසා නූරි දුරකථනය තබා නැවත කාමරයට ගියාය.

"කමක් නෑ මං හෙට ගෙදර යනවා,, ආයි කවදාවත් මේ දේවල් ගැන නොසිතා අම්ම අප්පච්චි මල්ලි ගැන හිතල වැඩ කරල විබාගෙ පාස් වෙනව මං දන්නව මට බැරි නෑ, මට හරි මාර්ගෙ පෙන්නල දුන්නට සර්ටත් පිං... "

ඈ කාලාන්තරයකට පසුව කදුලු අතරින්ම හිනැහුණාය. 




*********************** නිමි ******************************

Thursday, March 22, 2012

නූරි --- 13

සිතේ ඇතිවන වේදනාව නූරිව විඩාවට පත් කළේය. සියල්ල සිදුවූයේ තමාගේ වරදින් යැයි ඈ කල්පනා කළාය. යෞවන වියේ ඇතිවන ක්ශණික හැගීමකට මුල්තැන දෙමින්, හෙට සිට තරින්දට මුහුණදීමේ අපහසුතාවය නැවත මතකයට නගා ගනිමින් ඈ දුව ගොස් අල්මාරිය මත තිබූ කුඩා බෝතලය සිය සුරතට තද කර ගත්තාය.

***********
"නූරි, ළමයො ඇයි කලුවරේ, ලයිට් ගියා වද්ද ? " අම්මා කඩයට ගොස් නැවත එන අතරදී අඩ අදුරේ ගිලී ඇති නිවස දැක, දියණිය පෙනෙන්නට නැතත් විමසුවාය.

පිළිතුරක් නොලද තැන ඈ හඩ නගා "නූරි  ඊ ..." යැයි පැවසුවාය.

"පුතේ බලන්න අක්කි කොහෙද කියල... "

"අම්මි, අක්කි කාමරේ වැටිල ... එන්න....."
කුඩා ඔනෙල්ගේ කෑගැසීමෙන්. මව කාමරයට දුව ගියාය. එය වැටීමක් නම් නොවන බව අවබෝධ කරගත් ඇගේ මව, බොහෝ සේ අවුල් වූ සිතින්, අහළ පහළ පිරිසකගේ උදව්වෙන් නූරිව රෝහලට ‍රැගෙන යන ලදි.

"අහවල් එකක් උනාද මගෙ දරුවට , දෙය්යනේ... "
රෝහලට යන අතරදීත් නූරිගේ මවගේ වේදනාබර වචන ඈ සමග උන් අන් පිරිසවද අඩවන්නට සමත් විය. සැමදෙනාගේම සිත්වල තිබුනේ කුතුහලයකි.

"ඇයි අක්කෙ, දරුවට මොකකටවත් සැර වැර වත් කෙරුවද මේ දවස්වල ?"
පිරිස අතර සිටි කාන්තාවක් විමසුවාය..

"අනේ,, මයෙ කෙල්ලට අපි කවද්ද දෙය්යනේ නිය පිටින් පාරක් වත් ගැහුවෙ.. "
රෝහලට ඇතුලත් කල විගස ජයසේන මහතාද රෝහලට පැමිණියේය. වහ වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හදිසි ප්‍රතිකාර අංශය වෙත නූරි ව යොමු කළහ.





නූරි සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි. රෝහල් බංකුව මත ජයසේන මහතාද, ඔහුගේ සිරුරට හේත්තු වී කදුලු වගුරමින් සිටිනා බිරිදද දු‍ටු වෛද්යවරයා ඔවුන්ව පසෙකට කැදවා ප්‍රශ්න කරන්නට විය.

"බයවෙන්න දෙයක් නැ, ළමය බය කරන්න වෙන්නැති මෙහෙම දෙයක් කරන්න ඇත්තෙ... ඒත් මට මේකට හේතුව නම් දැනගන්න ඕනෙ.."

"ඩොක්ටර් මේ ඇත්තමයි, අපිට කිසිම දෙයක් හිතාගන්න බෑ.. අපෙ දරුවට එහෙම දෙයක් කරගන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ අපි දන්න විදියට.. "

"ඒක හරි පුදුමයක්නෙ.. මොකද අපි ළගට ඔහොම ළමයි ගොඩක් එනව, මං කියන්නෙ මේ වයස හොද නෑනෙ, එක එක දේවල්වලට පැටලිල ජීවිතෙ නැති කරගන්න උත්සහ කරන ලමයි සෑහෙන්න ඉන්නව... ඔය මොකක් හරි පොඩි හේතුවක් ඇති මේ වයසට... "

"අනේ මන්ද ඩොක්ටර්, අපි දැනුවත්ව නම් කිසි හේතුවක් නෑ, කෝකටත් මං දූගෙ ඉස්කෝලෙ යාලුවෙක්ගෙන් වත් ආරංචි කරල බලන්න්නම්කො.. "

නූරිගෙ පියා මේ පිළිබදව තරින්ද ගුරුන්ගෙන් විමසීමට සිතා ගත්තේය.

"දන්න අදුනන තරුණ සර් කෙනෙක් ඉන්නව ඩොක්ටර්, මං ඒ සර්ගෙන්වත් අහල බලන්නම්.. දරුවට මෙහෙම දෙයක් කරගන්න ඕනෙනම් ඒක කරගන්න ඕනතරම් හේතු තිබ්බ පහුගිය කාලෙනම් අපි පවුලම වැටිල හිටිය  නිසා.. "

පියා තවදුරටත් වෛද්යවරයාට ගෙවුණු කළ සිදුවූ සිදුවීම්ද සැකෙවින් විස්තර කළේය.

******************************

නූරි වස බී රෝහලේ යන පුවත විදුලි වේගයෙන් පාසැලේ ළමුන් අතර පැතිරෙන්නට විය. හේතුව සැම කෙනෙකුටම කුතුහලයක් බැවින්, හේතු නිර්මාණය කරන්නට ද බොහෝ අය පටං ගෙන තිබිණි.

තරින්ද විජේරත්න ගුරුන්ටනම් මෙය ප්‍රහේළිකාවක් නොවීය. නූරි දක්ශ දැරියක් හා යමක් කියූ විට අවබෝධ කර ගැනීමේ සමතියක් යැයි  සිතූ බැවින්ම මිසක ඔහු දුරකථනයෙන් ඈට කථා නොකරන්නට ඉඩ තිබිණි. ගුරු කාමරයෙ හිස් පු‍ටුවකට බරදී ඔහු අරමුණක් නොමැතිව හිස් බැල්මෙන් ඈත බලා සිටියේය.

"මගෙත් වැ‍රැද්ද, ඒ ළමයට ප්‍රශ්න මදිවට මේ වෙලාවෙ ඕක කිව්වෙ... "
සිතුවිලි සිතට එන්න පටන්ගත්විට ඔහුගේ සිත ඔහුට දොස් පවරන්නට විය. ඊයේ දිනදී නූරිගේ පියාද ඔහු හමු වී මේ පිළිබද දන්නා තොරතුරක් ඇතිදැයි විමසූ අවස්ථාවේදී ඔහු බොහෝ සේ අපහසුතාවයට පත්වුණු අයුරු සිහියට නැගිණි.

"පුතා, අපෙ ළමයගෙ මොනාහරි පටලැවිල්ලක් එහෙම තිබ්බ කියල ආරංචියක් වත් නැද්ද ?"

"අනේ , නෑ අන්කල්, මේ ළමයගෙ එහෙම කිසි හේතුවක් තිබ්බෙ නෑ, අපි ළමයි එක්කමනෙ ඉන්නෙ ... "

"දරුවගේ ජීවිතේටනම් අනතුරක් නෑ කියපු හින්ද හිතට බයක් නෑ.. ඒත් අපි හොයල බලන්න එපැයි දරුවො, කාගෙන්වත් බලපෑමකට බයේවත් ළමය මෙහෙම කරගන්න ගියාද කියල.. "

"ඔව්, ඒක නම් ඇත්ත තමයි.. අන්කල් බය වෙන්න එපා, ඉස්කෝලෙන් මම විස්තර හොයල බලන්නම්කො ... "

*******************

තෙසතියකට පසුව නූරි සුවය ලබා නිවෙසට ආවාය. පෙරදී කෙළිදෙලෙන් පසුවූ සිසුවිය වෙනුවට, බොහෝ සෙයින් නිහඩ දැරියක් වූ නූරි වැඩි කාලයක් තම කාමරයටම වී කාලය ගත කළාය. පාසැලට යාම බොහෝ සේ ප්‍රතික්ශේප කරන්නට වූවාය. සතියකට වතාවක් මිතිලා අවුත් දුක් සැප බලා යාම සිදු විය.

"මගෙ රත්තරන් පුතේ, ඔයා ඔහොම හැසිරුණොත් අපි කාටත් හිතට වේදනයි නේද ! අපිව දාල නුවරට එන්න පුලුවන්කම අප්පච්චිට තියෙද්දිත්නෙ අප්පච්චි අපි ඔක්කොම අරගෙන නුවර ආවෙ .. ඒ අපි හැමෝම සතුටින් එකට ඉන්න ඕනෙ හින්දනෙ දරුවො.. ඔයා ඔහොම කථා නොකර පැත්තකට වෙලා හිටියොත් අපෙ සතුට කෝ පුතේ.. ඇයි මගෙ පුතාට ඉස්කෝලෙ යන්න බැරි .. ? මොකක්ද ප්‍රශ්නෙ ...  "

නූරි කට පියාගෙන කාමරයට ගියාය. සිය හැගීම් වෙනුවෙන් පොර බැද, ඒ අසාර්ථක වූ කල්හි, ඈ පලිගන්නේ ඇගේ අහිංසක දෙමාපියන්ගෙන් බව බොහෝ තරුණ දුවනියන්ට මෙන්ම ඈටද අමතක වී තිබිණි.

තරින්ද ගුරුන්ගේද සිත බොහෝ ව්යාකූල වී තිබිණි. මේ සියල්ල සිදුවූයේ ඔහුගේ වරදින්ය යන හැගීමෙන් මිදෙන්නට ඔහුට නොහැකි වී තිබිණි. පන්තිය අතරතුරදී නූරිගේ දෑස් සොයා ඒ අකීකරු දෑස් සරන්නට පටන්ගෙන තිබිණි. නූරි සිටින දිනවල ඇගේ වගක්වත් සිතට නොදැනුන නමුත් ඈ නොසිටින මේ දිනවල ඈම සිහිවන්නේ ඇයිදැයි සිතට වදදෙන ප්‍රශ්නයක්ම විය. ඒ රවුන් මුහුණ නැතිව ඔහුටද පාලු දැන්නෙන්ට පටන් ගෙන තිබිණි. "මේ කෙල්ල මට වශියක් වත් කළාවද්ද" සමහර අවස්ථාවලදී ඔහු එහෙමද සිතුවේය.

නිතර හිනාවෙන් තිබූ නිවෙස කෙටි කලකින්ම අදුරු ගුප්ත ස්වරූපයක් ගන්නා ලදි. කළ හැකි දෙයක් නොවූයෙන් නූරිව තාවකාලිකව ගමේ මහගෙදර නැවැත්වීමට ඇගේ දෙමාපියන් විසින් තීරණය කරන ලදි.
වෛද්ය වරුන් පවසන ආකාරයට ඇයට රෝගයක් නොමැති බැවින්, ඇයට අවශ්ය දිනෙක නිහඩ බව බිදිනු ඇතැයි ජයසේන මහතාට වෛද්යවරුන් කියා තිබිණි.

"ඔන්නොහෙ එයාට තව ටිකක් කල් දෙමු.. ඊට පස්සෙ බලමු. .. අපි කෝකටත් දරුවව, ගමේ එක්කරන් යං.. අක්ක එක්ක ඉන්නකොට ඔය කට ඇරිල එයි .. "

මිතිලා පැමිණ මිතුරියට කතා කොට, සුපුරුදු ලෙසම පිළිතුරක් නොලැබුවාය. ඒත් අද ඈ වෙනදා මෙන් ඉක්මණින් නොගියාය. බලෙන්ම මෙන් ‍රැදී සිට, නූරිගේ මව නොමැති අවස්ථාවකදී හතරට පහට නැමූ කොලයක්, නූරිගෙ සුරතේ ගුලි කළාය.

"මොකක්ද ?" දුබල කටහඩින් නූරි විමසුවාය.

"සර් දුන්නෙ, ලියුමක් වෙන්නැති"

"මට, ඇයි ?"

"මං දන්නෙ නෑ, ඔයා පස්සෙ බලන්න.. " පහත් ස්වරයෙන් මිමිණූ මිතිලා යන්නට ගියාය.

නූරි ගැහෙන දෑතින් ලියුම අතට ගත්තාය.

"එක්කො හෙට ගමේ ගියාම බලනවා" ඈ එය පරෙස්සමින් ඇදුම් බෑගයේ යටටම දැම්මාය.





Monday, March 19, 2012

නූරි --- 12


සිත ඔහේ පාවී යද්දී රත් මල් වැට මැද්දෙන් වැලි පාර මතින් නූරි පන්තියට ආවාය.  අද ඇගේ පන්තිය අතුගාන දිනය නොවූවත් ඒ වනවිටත් පන්තිය අතුගාන යෙහෙළියන් නොපැමිණ සිටිය හෙයින් ඈ කොස්ස ගෙන අතුගාන්නට ගත්තාය. කුලුදුලේම පාසලට අද ගිය ඇගේ සොයුරු ඔනෙල්ව ඈට සිහියට නැගිණි. "මොන විකාරයක් කරලද දන්නෑ දැනටම ! " ඈ තමාටම කියාගත්තාය.


ටික වේලාවකින් පාසලේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් දේශාභිමාන ගී ප්‍රචාරය වන්නට විය. මෙය ඇගේ පාසලේ සෑම සදුදා දිනකම පාසල පටන් ගන්නාතුරු සිදුකෙරෙන දෙයකි. ඒ ශබ්දයට මුවාවී පන්තිවල කෙල්ලන්ද කොල්ලන්ද ශබ්ද නගා ගී වලට අත්වැල අල්ලති. කිසිවෙක් එයට එපා නොකීහ. නූරිද තනියෙන් වුවද ශබ්ද නගා අනිත් මිතුරින් එනතුරුම ගී ගායනයේ යෙදුනාය.

සාමාන්යයෙන් භෞතික විද්යාව කාලයේදී තරින්ද ගුරුතුමන් ඈ සමග විශේශයෙන් කතා නොකලද, අන් සියලු සිසුන් සිසුවියන්ට මෙන්ම ඈටද සලකුවේය. නමුත් අද ඔහු නූරි දෙස හිතාමතාම නොබැලුවේය. සියලුම ළමුන් දෙස එකවර බලමින්, කිසිම කෙනෙක්ගේ දෑස් වෙනම ග්‍රහණය කරනොගැනීමට ඔහු අද වගබලා ගත්තේය.

නූරිගේ මුහුණ හොද නැත. ඈ මිතිලාත් සමගින් පාසැල අවසන බසය කරා යමින් සිටියාය. ඈ කුමක්දෝ දෙයකට මුහුණ නරක් කරගෙන සිටියාය. උදේ බොහොම උද්යෝගයෙන් සිටි මිතුරියට කුමක් වූවාදැයි මිතිලාටද නොවැටහෙන බැවින් ඈ නිහඩ බව බින්දාය.

"මොකෝ, දැන් ඇතිනෙ මූණ කොරහක් වගේ කරගෙන හිටිය! කියපංකො, මොකක්ද අව්ල?"
නූරි රවා බැලුවාය.

"මට ඇති අව්ලක් නෑ, ඔයාට පේන හැටි.."

"මට විතරක් නෙවි නූරි, හැමෝටම පේනව ඔයාගෙ මූනෙ කැත, ඇයි කල්පවත් මොනාහරි කිව්වද?"

"අනේ පිස්සුද මිතිල. කල්ප හිතේ තියාගෙන ඉන්නව, අපි ඒව දන්නව කියලත් දන්නව, ඒත් ෆෝවඩ් නෑ, ඒක හොදයි ... කරදරයක් නෑනෙ එතකොට,"

"ඔව්, කෙලින් අහනකං නොදන්නව වගෙ ඉන්න පුලුවන්නෙ නේද? හරි දැන් ඌත් නෙවෙයි නම් කේස් එක මොකක්ද?"

"කේස් එකකුත් නෙවේ මිතිල, මට හරි දුකයි බං, සර් අද මගෙ මූණවත් බැලුවෙ නෑ, හරියට මං සර්ට වැ‍රැද්දක් කරල වගේ, "

මිතිලාට සිනා යන්නට පටන් ගත් විට නූරිට තවත් කේන්තිය වැඩි විණි.

"ඕකනෙ මං කිව්වෙ නැත්තෙ, ඔයාලට ඉතින් කවදත් විහිලුනෙ, කමක් නෑ මගෙ ප්‍රශ්නෙ මං විසදගන්නම්, ඔයා පැත්තකට වෙලා ඉන්න......."

"අපෝ නෑ නූරි මං හිනා වුනේ එහෙම ඔයාව පල් කරන්න නෙවෙයි.. ඔයාත් හරි පුදුමයි එක අතකින් බැලුවම.. "

"ඉතින් අනිත් අතින් බලපන්, එතකොට පුදුම නැති විදියට පෙනේවි... හිහ්"

"නෑ නූරි ඒ සැරේ ඔයා විහිලු කරනව, ඔයා තරින්ද සර්ට ඇත්තටම හිත යටින් ආදරේ කරනව නේ !"

නූරි ගැස්සී ගියාය. ලෝකෙටම ඇහෙන්නට "ඔව් මං සර්ට ආදරෙයි ඊ ඊ " කියන්නට උවමනා උවත් එයට සුදුසු වේලාවක් නොවේ මේ. එහෙයින් ඈ මෙලෙසින් පිළිවදන් දුන්නාය.

"එහෙම්මත් නෙවෙයි මිතිල, අනේ මන්ද !"

"ඔයා ඔය හිත රවට්ට ගන්න ඔහොම කිව්වට ඕකට ඔයා හැර හැමෝම කියන්නෙ ආදරේ තමයි .. කමක් නෑ නූරි , ඕක මොකක් වුනත් මමනම් ඕකට කැමති නෑ නූරි"

"ඒයි, ඒ ඇයි ඔයා එහෙම කියන්නේ ?"

"ඔයා මනෝලෝකෙක අතරමං වෙලා වගේ පිස්සුවෙන් සර් ගැන හිතුවට ඔයාවත් අපිවත් කවුරුවත් සර් ගැන හරියට දන්නෙත් නෑ. ඒක එකක්, අනික ඒ සර් කෙනෙක්, ඔයා සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක්, ඒක වෙනස් වෙන්නෙ නෑ කොහොමවත්.. ඔයා සර් එක්ක යාලුවුනොත් ඒක ඉස්කෝලෙටත් හරි නෑ ... "

"ඔයා කියන ඒව හරි මිතිල, ඒත් අපි ඒවට උත්තර හෙව්වොත් ඒ ප්‍රශ්න විසදගන්න පුලුවන් නේද ?"

"ඒවට උත්තර නෑ බං, මන් ඔයාට නොකිව්වට දිලිනි එක්කත් මේක කතා කළා.. "

"අනේ , දිලිනි මොනාද කිව්වෙ, පව් මිතිල ඔයා මං වෙනුවෙන් මහන්සි වෙලා... "

"ඇත්තම කියනවනම් දිලිනි උබත් එක්ක වැඩිය කථා කරන්නවත් එන්නෙ නැත්තෙ ඔය මගුල් සිතුවිලි හින්ද බං"

"ඒ පිස්සුනෙ බං දිලිනිට, මං එයාව ගිලිනවයැ !, සමයංද කොහෙද?"

"ඔයාට සමයං උනාට නූරි පොඩ්ඩක් හිතන්න, අපෙ ඉස්කෝලෙ නුවර තියෙන හොදම ඉස්කෝලයක් .. ඇයි ඔයා ඒ ගැන නොහිතන්නෙ... "

"හ්ම්ම්, හරි මම නරක දෙයක් කරන්නෙ නෑ මිතිල, අපි බලමුකො.. දැන් මට පොඩි උදව්වක් කරහං.. "

"ඒ පාර මොකක්ද?"

"අපි අර කමියුනිකේශන් එකට ගිහින් එමුද?"

"කාටද කෝල් ගන්නෙ,? සර්ටද?"

"හ්ම්, මට එදා ක්ලාස් ගියා කියල කියන්න බැරි උනා බං...  මං මේ කෝල් එකෙන් පස්සෙ ආයි සර් ගැන නොහිත ඉන්න බලන්නම්කො... "

නූරි සෙමෙන් තරින්ද ගුරුන්ගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කළාය.

"හෙලෝ...."
අනෙක් පසින් ඇසුණු ගැහැණු කටහඩ හමුවේ නූරි නිරුත්තර වූවාය.

තමා අතින් අංකය වරදින්නට ඇතැයි ඈ අනුමාන කළාය.

"හෙලෝ කවුද, තරින්ද සර්ට ද කථා කරන්න ඕනෙ, හෙලෝ... ".

"හෙලෝ ඔව්, සර් ඉන්නවද!"

"මල්ලි නම් දැනුයි ආවෙ, ලිදට ගියා තව ටිකකින් එයි, කවුද කතා කරන්නෙ මල්ලිගෙ පන්තියෙ ළමයෙක්ද , යාලුවෙක්ද කිව්වොත් එයාට කියන්න පුලුවන් ... "

"මං සර්ගෙ පන්තියෙ ළමයෙක්, නම නූරි... "

"ආහ් නූරි ද ? හරි නංගි මම කියන්නම් මල්ලි ඔයා ගැන කියල තියෙනව මට, ... "

"මං ගැන,,.. මො .. මොනාද සර් කියල තියෙන්නෙ"

"හරි නංගි, එහෙනම් මං කියන්නම්කො ඈ"... ඈ දුරකථනය විසන්දි කළාය.

දැන් තවත් ප්‍රශ්නයකි....  සියලු විස්තර අපේක්ශාවෙන් මිතිලා දුරකථන කුටියට පිටින් බලා සිටී. සියල්ල විස්තරාත්මකව පැවසූ නූරි අවසානයේ මෙසේද ඇසුවාය.

"මොකක්ද බං සර්ගෙ අක්ක මට එහෙම කිව්වෙකේ තේරුම..?"

"ම්හු, මොකක් උනත් ඒක උබ අද සර් කෝල් කරාම අහගනිං..."

"හ්ම්ම්... "

---------------------------------------

නිවෙසට පැමිණි වහාම ලහිලහියේ මුව සෝදාගත් නූරි දුරකථනය පේන මානයේ වාඩී වී ආහාර ගත්තාය. වෙනදා මෙන් නොව අද ඈට කාමරයට යාමේ කිසිම අවශ්යතාවයක් නැත්තා සේය. සාලයේ කෑම මේසය මතම පොත් පෙරලාගත් නූරි තමාට කරදර කරන්නට එන ඔනෙල්ට බැන වැදුණාය.

"පුතේ ඔයාට ඔතන වැඩ කරන්න බැරිනම් කාමරේට යන්නකො, මල්ලිට නිකම් බැන බැන ඉන්නැතුව,,, "

අම්මාගේ විධානයෙන් නූරි ඔනෙල් මොනවා කෙරුවත් ඉවසා සිටින්නට වූවාය. දුරකථනය නාද වන සෑම වේලාවකම නූරි වහා පැන එයට ප්‍රති උත්තර දෙයි.

"මොකද ළමයො... "

වරෙක දුරකථනය නාදවන විට එදෙස දුවන්නට ගොස් මේස කකුලක පය ගැටිණු මොහොතක අම්මා එසේ ඇසුවාය.

"අහ් නෑ අම්මෙ, මේ විකාරෙ රින්ග් වෙනව, පොතක් බලන්නවත් නෑනෙ නිදහසක්..."

"ඉතින් ඔයා ඉන්න මං ගන්නංකො... "

හවස කලුවර වැටෙනවිට නූරි සෙමෙන් කාමරයට ඇදුණාය. "මං නිකම් බලං හිටිය විතරයි ... මං මෝඩයෙක් වෙලා හවස් වරුවම කෑව, පාඩමවත් කරගත්තෙ නෑ.. අපරාදෙ! " ඇගේ සිත කියන්නට වූවාය.

නැවතත් දුරකථනය නාද වෙනු ඇසී ඈ සාලයට දිව්වාය.
 "අනේ සර්ම වෙන්න දෙය්යනේ... අම්මයි මල්ලියි කඩේ ගියා... සර්ම වෙන්න....... "

"හෙලෝ ... "

"හෙලෝ නූරි ........"

"සර්, නූරි තමා..."

"ඇයි නූරි කථාකළේ ?"

"අහ් සර්, මං මං මේ කථාකලේ අර සර් කිව්වෙ අර පන්තිවලට යන්න කියල.. "

"ඔව් .. නූරි යන්න හිතුවද?"

"ඔව් සර් මං ගිය සතියෙ ඉදන් යන්න පටන් ගත්ත... "

"ඉතින් හොදයිද පන්තිය.. ඉස්කෝලෙට වඩා තේරෙනව ඇති නේද?"

"තාම සර් එක දවසනෙ ගියෙ,,, "

"යන්න පටංගත්තු එක හොදයි. තව මාස කීයද විබාගෙට... දැන් ඉතින් හැම දෙයක්ම විබාගෙ වෙනුවෙන් තමයි වෙන්නෝ නෙ නේද නූරි ... "

"ඒ කිව්වෙ සර් ?"

"නෑ මේ මං කිව්වෙ නූරි, ඔය මේ වයසෙදි කොයි තරම් නම් දේවල් ළමයි කරනවද විබාගෙ අමතක කරල...  ඔය හැමදෙයක්ම අමතක කළොත් තමයි තමංගෙ ඉලක්කෙට යන්න පුලුවන් ... "

"ඔව් සර්, මට තේරුණා... මාත් එහෙම කරන්නම් සර් ... "

"හ්ම්, නූරි තනියමද ගෙදර ඉන්නෙ ?"

"නෑ සර්, දැන් අම්ම ඉන්නවනෙ, දැන්නම් පොඩ්ඩකට කඩේට ගිහින් මල්ලිත් එක්ක..."

"එහෙනම් නූරි පොඩ්ඩක් මං කියන එක හොදට අහගන්න... අපි ගුරුවරු.. අපි කවුරුත් ඔය වයස පහු කරල තියෙන්නෙ, ඔය වයසෙදි ඇතිවන හැම හැගීමක්ම වගේ අපිටත් එහෙම කාලයක් තිබුණු නිසා දැන් ළමයි හැරෙනකොට ගුරුවරුන්ට හිතාගන්න පුලුවනි.. නූරි ගොඩක් දක්ශ ළමයෙක්... නූරි අහගෙනද ඉන්නෙ?? හෙලෝ .."

"ඔව් සර් මං අහං ඉන්නෙ... "

"ඔයාගෙ යාලුව, මිතිලත් ගොඩක් හොදයි දක්ශයි ... ඉතින් දෙන්නම එකතු වෙලා වැඩ කරන්න... මේ කාලෙ පිස්සු නැ‍ටුවොත් ජීවිතෙ හැමදාම දුකින් තමයි ... මට නූරිගෙ හැගීම් තේරෙනව.. ඉස්සෙල්ල අපි විබාගෙ කරගනිමු... මොකද නූරි මම දන්නව මට ගුරුකමෙන් සැනසෙන්න වුනේ ඇයි කියල ... ඉතින් දැන දැන අපි ගින්දරට පනින්නෙ ඇයි ?? "

"මං තියන්නම් සර් එහෙනම්... "
නූරිට ඕනෑ කළේ කෑ ගසා හඩන්නටය. තව දුරටත් සර්ගේ මුහුණ බලන්නේ කෙසේදැයි ඈ සිතුවාය.

"හරි තියන්න ඕනෙ නම් තියමු නූරි , හැබැයි හෙට ඉදල ඔයිට වඩා උවමනාවෙන් වැඩ ටික කරන්න ඕනෙ මනස්ගාත අතහැරල...  "

"හරි සර්... මං තියනව... "

යටිතොල විකාගෙන කදුලු නවත්වාගනිමින් නූරි දුරකථනය තැබුවාය. ඈ හැඩුවේ ආදරය වෙනුවෙන් තැබූ බලාපොරොත්තු කඩවීමටත් වඩා ඇතිවූ ලැජ්ජාවටය.



"අයියෝ මං කරගත්ත විනාශෙක තරම... දැන් ඉතින් හොදට පාඩම් කරගන්න එක කොහොම වෙතත් හෙට ඉදල සර්ගෙ මූණ බලන්නෙ කොහොමද ?.. ඔයහැටි ගුරුවරුන්ට සාත්තර කියන්න පුලුවන්නම් තව ගුරුවරු කී දෙනෙක් ඉන්නවාද දන්නෙ නෑ මගෙ හැටි දැනගෙන... හපොයි දෙයියනේ... මට මොලේ පෑදෙන්න කල් ගියේ ඇයි මෙච්චර ..." නූරි ඇගේ කාමරයට ගොස් තම සිත හා තර්ක කරමින් ඇදේ පෙරළී කදුලු වගුරන්නට වූවාය.

Thursday, March 15, 2012

නූරි --- 11

නූරි --- 11

දරා ගත නොහැකි වූ බොහෝ දුකකින් නූරි ඇගේ මව දෙස බලා සිටියාය. සති කීපයකට පෙරාතුව ලස්සනට තිබුණු වත කමල අපාටව, දුර්වර්ණව ගොස් වැන්න.

සෑහෙන කලකින් අම්මා දැකීමේ ප්‍රීතිය ඔනෙල්නම් හොදින් භුක්ති වින්දේය, මාරුවෙන් මාරුවට අම්මා ළගටත් තාත්තා ළගටත් ගොස් තුරුල් වන්නට විය.

"පුතේ අම්මට මහන්සි ඇති, තේ ටිකක් හදමු" සුදු නැන්දා ගේ විධානයෙන් නූරි මුලුතැන්ගෙයට ඇදුණාය.


*****************

යාන්තම් ඉර එළිය පොළොවට පතිත වන්නටත් මත්තෙන් නූරි බසයට දුව ආවාය. අද ඇයට බොහෝ සෙයින් සතු‍ටු දිනයකි. ගෙදර අසලින් බසයට නැගගත් ඈ තවත් මිනිත්තු කීපයකින් කලින් කතාකරගත් පරිද්දෙන් දළදා මාළිගාව අසලදී මිතිලාට එකතු වූවාය. නුවරදී ටියුශන් පන්තියකට යන ප්‍රථම වතාව බැවින් මිතිලාගේ අතකිනුත් අල්ලාගත් නූරි අප්‍රමාණ සතුටකින් වළාකුලු බැම්ම අසලින් පා නැගුවාය.



"මේ ඔහොම හෙමින් ගියොත් නම් අද ඉන්න වෙන්නේ අන්තිම පේළිවල තම්යි නූරි... යමංකො ඉක්මනට.. "

"ඇයි මිතිල,, මෙච්චර උදෙන් ඇවිල්ලත් අන්තිම පේලිවල ඉන්න වෙයිද ඈ? "

"ඔයා මේ ෆස්ට් ඩේ නිසා දන්නෑනෙ නූරි .. ගිහිං බලන්නකො තෙරපෙන විදිය එතන......"

"මිතිලා.... ඒක නෙවී ........පන්ති ඉවරවුණාම මං එක්කො සර්ට කෝල් කරල කියනව ... "

"මොකක්ද ? "

"මොකවත් නෙවෙයි.. සර් කියපු විදියට ක්ලාස් ආව කියල.. "

"ඕන් නෑ බං... දැන් සර්ද ක්ලාස් කාඩ් ගන්න සල්ලි දුන්නෙ? නෑනෙ... සර් ඉතින් යන්න කිව්ව විතරනෙ.. ඕක කිව්වම ඊට පස්සෙ වෙන එකක් කියන්නත් උබට හිතෙයි ...."

"සර් නං නෙවේ තමා සල්ලි දුන්නෙ... ඒත්...කිව්වොත් තමා හොද"

"අනේ නූරි ඔයාට ඔය හැදීගෙන එන ලෙඩේනම් එච්චර හොද එකක් නෙවෙයි... ඔච්චර කොල්ලො ඉන්නව බලපංකො ඒ එකෙක් දිහා.. අහවල් එක්කටද සර් ට ලයින් දාන්නෙ ? ..... "

"අනේ ඔය හැටි කොල්ලො ඉන්නවනම් පේන් නැතෑ ?"

"හා දැන් ගිහින් බලපන්කො ක්ලාස් එකේ කොච්චර හැඩ එවුන් ඉන්නවද කියල... අනික නූරි තරිදු සර් කැම්පස් එකේදී කවුරුහරි එක්ක යාලුවෙලත් ඉන්න ඇති බන් ..."

"අනේ මං හිතන්නෑ මිතිල එහෙම.. "

"ආං මං කිව්වෙ බොරුද බලපං කාඩ් පෝලිමේ දිග... අපි ඉතින් වැනි වැනි එනකොට පෙරහැර ගිහින්... "

සෑහෙන පරිශ්‍රයක් දරා පෝලිමේ තල්ලුවී ගොස් පන්තියට ඇතුලුවූ ඔවුන් දෙදෙනාට එක ළග හිස් අසුන් දෙකක් සොයා ගත හැකි විය.

--------------------------------------------

"කොහොමද පුතේ පන්තිය ?"
ගේට්‍ටුවෙන් ඇතුලුවන්විටම අම්මා නූරිගෙන් විමසුවාය.

"හප්පේ හොදයි අම්මෙ... ලමයි ගොඩායි මගෙ හිතෙ දෙදාහක් වත් ඉන්න ඇති ... සර් කතා කරන්නෙත් මයික් එකෙන් .......ඊලග දවසෙ තව උදෙන් යන්න ඕනෙ, අද පස්ස පේලියක හිටියෙ හරියට ඇහුණෙත් නෑ...."

"අප්පච්චියේ එච්චර ලමයි ඉන්නවද ? අනේ මන්ද ඉතින් පන්ති නොගිහිනුත් බෑ කිව්වනේ..... "

"හ්ම්ම් .. නොගිහින් කොහොමද අම්මෙ, අර තරින්ද සර්රුත් කිව්වනෙ යන්නම කියල... ඉස්කෝලෙ ගුරුවරු කොච්චර මහන්සි උනත් බැරිලු සිලබස් කවර් කරන්න.. "

"හ්ම්ම් .. පුතේ ගිහින් එහෙනම් වොශ් එකක් දාගන්නකො .. මං මේ අප්පච්චි එනකන් බලන් ඉන්නෙ , හංදියට ගියා මල්ලිගෙ කොන්ඩෙ කප්පවගෙන එන්න..  සදුද මල්ලි ඉස්කෝලෙ යනවනේ පුතේ..."

"ආයිශ් අම්මෙ, මට තව ඩිංගෙන් ඒක අමතකත් වෙනව ! ඒක තමයි මල්ලි පේන්න නැත්තෙ.. මං බැලුව"
නූරි නාන කාමරය වෙතට යමින් කිව්වාය.

හිතට අමුතු සනීපයක් දැනෙන්නේ ඇයිදැයි ඈ කල්පනා කළාය. දෙතුන් දාහක් ලමුන් ඉගෙනගන්නා පන්තියක ඇත්තෙන්ම ඉගෙන ගැනීමනම් දුශ්කර කාර්යයකි. විටෙක හිස් මුදුනින් කඩදාසි රොකට්‍ටු පාවෙයි. පන්තියට ගිය ප්‍රථම දිනයේදීම දගකාර කොල්ලෙකු විසින් එවන ලද රොකට්‍ටුවක් නූරිගෙ කොන්ඩයේ ඇමිණී තිබී, සුලුවෙලාවකට පසු පි‍ටුපස පේලියේ සිටි කෙල්ලක විසින් ගලවා ඉවත් කරන ලදි. ඒ මොහොතේදීනම් ඈට කදුලු පනින්නට මෙන් ලැජජාවක් උපන් නමුදු, "ඕව ඔහොම තමයි නූරි" කියා මිතිලා ඇයව අස්වැසුවාය.

තවද ඉඩක් ලද කොයි මොහොතක හෝ තරින්ද ගුරුන්ට කතා කල යුතු යැයි නූරි සිතුවාය. ඔහු නොකීවානම් ඇත්තටම අප්පච්චී වුවත් මෙසේ ඈව ටියුශන් පන්ති යැවීමක් ගැන සිතයිද යන්න ඇයට අවිශ්වාසය.

"කොච්චර ළමයි හිටියත්, ඔය ලමයින්ගෙන් කීයෙන් කී දෙනෙක්ද කැම්පස් යන්නෙ! ඒ පුන්චි ගොඩ ඇතුළට මාත් කොහොමහරි යනවා.. මගෙ ටාගට් එක ඒක .. " සිතමින් ඈ නාන්නට පටන් ගත්තාය.

***************************************"
සදුදා උදෑසන පාන්දරම නූරිගේ මුලු නිවසම එකම යුද්ධයක් වී තිබිණි. වෙනදාට කෙසේවත් උදෑසන අවදිකරවාගන්නට නොහැකි ඔනෙල් පාන්දරින්ම අවදිවී පාසල් යාමට සූදානම් වී සිටියි.

ඔනෙල් සෙමෙන් ඇවිදියි. සපත්තු කුට්ටම අලුත් බැවින් එය පා පොඩි රිදවනවා ඇතැයි ඈ සිතුවාය.

"හනේ, සුදූ පව් අප්පා දැන් ඔය අදින් පටන් ගන්න ගමන දෙය්යනේ තව අවුරුදු කීයක් ඉගෙනගන්නද මල්ලියේ.. හයියෝ මංනම් යාන්තම් ඉවර වෙන්න කිට්‍ටුයි... අයියෝ සංසාරේ මගේ මල්ලියා... අද හිනාවෙන්න නෙවෙ මල්ලි අඩන්න ඕනෙ.. "

"නූරි මෝඩ කතා නොකියා ඉන්නවා... එන්න මගෙ රත්තරන් අපි කිරිබත් චුට්ටක් කමු.. "
අම්මා ඔනෙල්ට පෙනෙන්න නූරිට පහරක් ගසා සෙමෙන් මෙසේ කිව්වාය.

"ඔය අද නැගිට්ටට හෙට මෙයා නැගිට්ටවන්න බෝර ගහන්නවත් වෙයි .."

"අම්මෙ මාවත් මෙහෙමද ඉස්කෝලෙ යැව්වෙ පළවෙනි දවසේ ?"

"අහ් නෑ .. ඔයා ඒ දවස්වල උදේම නැගිටල අපිට උයල තියල තනියම නෙ ලෑස්ති වෙලා ගියෙ මතක නැද්ද  ... මම මේ මල්ලියට විතරයි මෙහෙම මහන්සි වෙන්නෙ ...  දැන් මෙතන ගැලතෙන්නෙ නැතුව ඔයත් ලෑස්ති වෙන්න, අප්පච්චි එක්ක ඔයාටත් යන්න පුලුවන් අද !"

"අම්ම යන්නෙ නැහ් ?"

"යනව ළමයො ... කොල්ල ඇඩුවොත් හෙම අප්පච්චිට ඔය හැටි නිවාඩු තියෙනවද , පහුගිය දවස්වලම කොච්චර ගත්තද "

ඔනෙල් ව අම්මා සමගින් ඔහුගේ පාසල අසලින් කාරයෙන් බස්සවන ලදි.
"සුදු කොක්කු වගේ අම්මා... ! අනේ පොඩි කට්ටිය ගොඩායි .. මල්ලි පරිස්සමින් හොදේ, රංඩු වෙන්නෙ එහෙම නෑ ලමයි එක්ක... "

"ඔව් මගෙ පුතේ... අක්කි වගේ හොද ලමයෙක් වෙන්න ඕනෙ.. " පියාද ඇයට එකතුවූවේය. "
ඒ කොක්කු ‍රැළට තවත් පුංචි පැටියෙක් සේ ගේට්‍ටුව අසලදී ඔනෙල්ද එකතු වූ පසු නූරිත්, පියාත් ඇගේ පාසල වෙත රථය පදවන්නට විය.

"ඔන්න පුතේ මල්ලිත් ජීවිතේ පටංගත්ත එහෙනම් ... " නූරි දෙස බලමින් පියා පැවසුවේය.
"හ්ම්ම් අප්පච්චි, අද ඊයෙ වගේ මල්ලි හම්බුනේ මටනම් ..."
"මටත් ඒ වගේ තමයි පුතේ... "

හදිසියේම නූරි දු‍ටුවේ බස් නැවතුමකට වී බසයක් එනතුරු බලා සිටිනා තරින්ද ගුරුතුමන්ය.
 "අප්පච්චි, අර අර ඉන්නෙ අපෙ සර්, අප්පච්චි නවත්තමු නේද ? අර සර්, අප්පච්චි එදා අපෙ වාහනෙ හැප්පුනෙ !"

"අප්පේ මට අදුන ගන්ටත් බැරි වුනා.. පුතා පස්සට යන්න, සර්ට නගින්න කියන්න.."

"ගුඩ් මෝනින්ග් සර්,  නගින්න සර්"

"ගුඩ් මෝනින්ග් පුතා, නූරි දැක්ක නිසා අදුන ගත්තෙ, නැත්නම් මම යනව දකින්නෙත් නෑ. , යන් මං ගිහින් දාන්නම් .. "

නූරි වහා පි‍ටුපස අසුනට ගියාය. යටැසින් ඈ දෙසත් ඇගේ පියා දෙසත් බැලූ තරින්ද, සෙමෙන් අසුනේ හිද ගත්තේය.

"පුතාට දැන් හොදටම සනීපයි නේද ?"

"ඔව් අන්කල්, දැන් හොදයි .. අන්කල්ල හැමදාම මේ පාරෙද එන්නෙ? "

"අනේ නෑ පුතා, අද මෙයාගෙ මල්ලිව ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලෙට බාරදුන්නානේ, අර ප්‍රෛමරියට.. ඒ නිසා ආවෙ, කෝ පුතාගෙ බයිසිකලේ ?"

"ඒක වික්කා අන්කල්, ගිය සතියෙ,"

දෙබස් සියල්ල සාවධානව අසා සිටි නූරිට ඔහු හොරෙන් හොරෙන් වාහනයේ ඉදිරි කන්නාඩිය තුළින් පි‍ටුපස, එනම් තමා දෙස බලන්නේ ඇයිද යන්නනම් වටහාගැනීමට අසීරු විය.

"සර් මං දිහා බලනව පේන්නෙ මාත් බැලුවොත්නෙ, මං නොබලා ඉන්නවා... " , ඈ සිතුවත් එය ප්‍රායෝගික නොවීය. බැලෙන්නේම එදෙසය.

"අන්කල්, ඔය හන්දියෙ අර කඩේ ලගින් නවත්තන්න, මං බහිනව .. තැන්ක් යූ අන්කල්,"

"ඕකේ පුතා, "

පාසල එක් වංගුවක් තිබියදී ඔහු එසේ බැස ගියේ ලැජ්ජවට යැයි ඈ සිතුවාය. කෙසේ නමුත් එය වඩා හොදයැයි ඇයද සිතුවාය.

"අද හොද දවසක්, " සිතමින්, නූරිද අනන්ත ලමුන් අතරට වැටී පන්තිය කරා ගාටන්නට වූවාය.

Monday, February 13, 2012

නූරි --- 10

නූරි --- 10


සුදු නැන්දා කතන්දරයක් කියමින් මල්ලීට බත් කවන්නට පටන් ගත් විට නූරි හොර බැළලියක් මෙන් දුරකථනය වෙතට කිට්‍ටු කළාය. මිදුලේ රට ජම්බු ගහ උඩ ඉන්නා මල්ලීට සුදු නැන්දා බෙදා ගත් බත් පිගාන කවන්නට නම් තව පැයක්වත් යනු නො අනුමානය.

"මං මේ නරක වැඩක් ද කරන්නේ ? ඇයි සර් මට නම්බර් එක දුන්නෙ ?"
ඇගේ හිත ඇගෙන්ම ප්‍රශ්න කරන්නට ගද්දී ඈ සෙමින් ගැහෙන සුරතින් කුඩා කොල කැබැල්ලේ ලියූ අංක 10 පිළිවෙලට ඇතුල් කළාය.


"හෙලෝ ...... " අනෙක් පසින් ඇසුණු  ගොරෝසු කටහඩින් නූරි ගැසී ගියාය..

"සර්, ... සර්... මං අර සර්ගෙ පන්තියෙ............ "

"හ..... නූරි ඔයා කතා කරයි කියල මං බලාපොරොත්තුවෙන් හිටියෙ දැන් කොහොමත් ...... "

නූරිගෙ සිත සැනසී ගියේය. හිත යටින් මෙවැනි මොහොතක් බලාපොරොත්තුවෙන් සිටියා වුවත් ඒ අවස්ථාව ලද විට මෙසේ අපහසුතාවයකට පත්වේ යැයි ඈ සිහිනෙනුදු නොසිතුවාය.

"සර් මට කතා කරන්න කිව්වේ ?"

"ඒක තමයි .. නූරි කොහොමද පාඩම් කටයුතු ?"

"වරදක් නෑ සර්, කෙමිස්ට්‍රි ටිකක් අමාරුයි සර්"

"පළවෙනි පාරම ගොඩ ගියෙ නැත්නම් වැඩක් නෑ ලමයො, ඔය යාලුවො හොදට ‍තෝර බේරගෙන හොද ලම්යි එක්ක විබාගෙ කරගන්න මහන්සි වෙන්නෝනෙ, "

"ඔව් සර්..  මෙහෙ හැමෝම හොදයි .... "

"නූරි මොකද ක්ලාස් යන්නැත්තෙ ?, මං දන්න තරමට හැම ළමයම වගේ ටියුශන් යනව ... "

"මං ටියුශන් යන්න ඕනෙ හින්දත් තමයි සර් අප්පච්චි මෙහෙට අපි ඔක්කොමලම අරන් ආවෙ..... ඒත් මේ
ප්‍රශ්නෙ හින්ද ඒක අමතකම උණා සර්... "

"මොන ප්‍රශ්නෙ ආවත් ඉගෙනුමට ගාව ගන්න එපා දරුවො, මං කියන්නද, මං ඇත්තටම නූරිට කතා කරන්න කිව්වෙත් මේක කියන්න, නූරි ක්ලාස්ස් යන්න, මොනාහරි ප්‍රශ්නයක් තියේනම් මට කියන්න, ඕනම ප්‍රශ්නයක්, මුදල්හරි , ලමයින්ගෙන් හරි ඕනෙම එකක්.... "

"අහ් සර්, නැහ් මුදල් ප්‍රශ්න තාම නැතුව ඇති සර්, මං අප්පච්චිට කියන්නම් කො ... "

"අප්පච්චිට කියල ක්ලාස් යන්න පටන් ගන්න . .. ඔයා දක්ශ ලමයෙක් ...... කොහොමහරි මහන්සි වෙලා වැඩ කරන්න බලන්න අනං මනං වලට පැටලෙන්නෙ නැතුව....... "


"හාං සර්........ "


"හරි එහෙනම්, දැන් මං කතා කළා කියල පන්තිය වටේට කිය කියා ඇවිදින් නැතුව පාඩම් කරන්න .... "

"තියන්නද සර්, "

"ඕනෙ වෙලාවක කතා කරන්න නූරි .."

"හාං සර්..."

+++++++++++

පාන්දරින් නුවර සීතල සමගින් දලදා මාලිගාව ඉදිරිපසින් සෙනසුරාදට ඉරිදාට පන්ති යන්නට නූරි ආසාවෙන් උන්නාය. නුවරට පැමිණ මාස දෙකක්ම ගෙවී ගොස් ඇත.

"සර් කියනව වගේ ක්ලාස් නොගියොත් සිලබස් කවර් කරගන්න බැරිවෙයි,,, අප්පච්චිට කියල කොහොමහරි ක්ලාස් යන්නෝනෙ." ඈ සිතුවාය.

"දෝණි කවුද ?"
තවමත් රිසීවරය අල්ලාගෙන සිටින නූරිගෙන් නැන්දා විමසුවාය.

"යාලුවෙක් සුදු නැන්දෙ, "

"හ්ම්.. අනේ පුතේ අත්තම්මට කෝල් එකක් ගමුද ? හෙට විතර එනව කිව්වනෙ,, "


නූරි ගමේ අත්තම්මාගෙ නිවසෙ දුරකථන අංකය ඇතුළත් කළාය.

++++++++++++


සැන්දෑ හිරු රශ්මිය නූරිගේ කාමරයට එබිකම් කරන්නට පටන් ගත් විට නැවත දුරකථනය නාදවන්නට පටන් ගත්විට දුවගොස් ඈ එයට ප්‍රති උත්තර බැන්දාය.

"අප්පච්චී...."

"ඇත්තද !අනේ හොදයි ... හා මං නැන්දට කියන්නම් . "
නූරිගෙ කතා විලාශය ඇසූ සුදු නැන්දාද එතැනට පැමිණ කාරණය වෙත කන් යොමා සිටියාය. 

"අම්ම හෙට එක්කං එනවලු නැන්දෙ! "
සෙල්ලම් කරමින් සිටි ඔනෙල්ගේ මුහුණ මලක් මෙන් විකසිත විය.


"අම්ම ආපු ගමන් කරදර කරන්නෙ එහෙම නෑ හරිද මල්ලි, "


"ආහ් හරි ඒව බැරියැ ආවට පස්සෙ ." සුදු නැන්දා ඔනෙල් වෙනුවෙන් උත්තර බැන්දාය.
ලහි ලහියේ හැමෝම තම තමනට හැකි පරිද්දෙන් ගෙවල් දොරවල් අස් පස් කරන්නට පටන් ගත්හ.


"අක්කි මං මොනාද කරන්න ඕනෙ ?"

"අනෙ මේ ඔයාට දුන්නොත් කරයි ....... හා ඔයාට පුලුවන්ද මේ පු‍ටු මේස පිහදාන්න? බෑනෙ"

"මොකද බැරි ඔය රෙදි කෑල්ල දෙනව මට.. "

"හපෝ කරයි පු‍ටු කකුලක් තරන්වත් උස නැහ්..  පිහදාන්න පටං ගන්නකොටම හචිස් පචිස් ගායි.. අන්තිමට අම්ම ඉස්පිරිතාලෙන් එනකොට ඔයාව ඉස්පිර්තාලෙ එක්කන් යන්න වෙයි ... "

නූරි ගොස් ඔනෙල්ගෙ කිහිලි අස්සෙන් අත්දමා උස්සාගෙන ඇවිත් මේසය මත ඉන්දුවා නළල සිම්බාය.


"ඔන්න ඔතන ඉදගෙන සින්දුවක් කියන්න මල්ලි අපි දෙන්න සමරමු අම්ම ගෙදර එන එක ..... "

*************************

නින්දට ගොස් නූරි අද දිනයේ සිදුවූ සතු‍ටුදායක සිදුවීම් ස්මරණය කරන්නට වූවාය. නැවතත් ජීවිතේ සතුට කරා ගමන් කරනු ඇතැයි නූරි සිතුවාය.

"දැන් අම්ම සනීප වෙලා ආවම මං සෙනසුරාද ඉදල ක්ලාස් යනව.. දිලිනිල එක්ක.. කලින් ඉදන් යන්න තිබ්බෙ .කම්ක් නැහ් මාස දෙකයිනෙ බැරි උනෙ.. සර් කියනව වගෙ මං කොහොමහරි මහන්සි වෙනව විබාගෙට..... සර් මොකටද මට වියදම් කරන්නෙ ? ඒ කතාව මට ඇල්ලුවෙත් නැහ්.. අප්පච්චිට ඒ කෑල්ල නොකිය ඉන්න ඕනෙ.. මොනාහරි හිතුවොත් එහෙම..... සර් කිව්වට සර්ට කතා කරපු බව කාටවත් කියන්න එපා කියල මං මිතිලට විතරක් කියනව.. එයා මගෙ හොදම යාලුවනෙ..... "

Friday, February 3, 2012

නූරි --- 9

නූරි --- 9

පන්තියේ කොට බිත්තිය මතින් ඈතින් පෙනෙන රොබරෝසියා ගස දිහා නූරි බලා සිටියේ හරියට ඇය එම ගස දු‍ටුවේ ප්‍රථම වරට මෙන්ය ... 

"එක මලක් බිමට වැටෙනකොට තව මලක් න‍ටුවෙන් ගිලිහෙනව .. ඔය හැටි කොහෙන්ද මල් පිපෙන්නෙ ? ඔය මල් පිපෙන හැටියට මගෙ හිතෙත් මල් පිපෙනවනම් ......  " ඈ සිතුවාය..

"නූරි ! ඇයි ? "
කල්ප, පන්තියේ මිතුරෙක් ඇය ළගටම ඇවිත් කතා කරනතුරු නූරි දු‍ටුවේ නැත. ගුරුවරයෙක් පන්තියේ නොමැති බොහෝ අවස්ථාවලදී කල්ප නූරි වෙතට කිට්‍ටු වීමට දරණ උත්සාහය ඇයට කරදරයක් විය.

"නැහ් කල්ප, මං හිත හිත හිටිය... "

"ඒක තමයි මාත් අහන්නෙ, මොනාද හිතන්නෙ ? "

"හපෝ එහෙම මහා විශාල ප්‍රශ්නයක් නෙවෙයි ... යං වාඩිවෙමු, මොකක්හරි පොතක් බලාගමු... "

"ඔය හැටි ප්‍රශ්න ගැන හිතන්න එපා නූරි, ඔය ඔක්කොටම කාලය විසදුමක් දෙයි ... "

"හ්ම්ම්ම්ම්ම්ම් ම්ම් දෙයි ... දුන්නොත් හොදයි ... "

++++++++++++++++

අම්මා රෝහලට ඇතුළත් කර දින දෙකකි. ඒ නිසාවෙන්ම නූරිටද දැන් වැඩ ගොඩක් වෙන්වී ඇත. සුදු නැන්දා අම්මා මෙන්ම උදෑසනින් නැගිට ආහාර පිළියෙල කළද, නූරිද උදව්වට මොනවා හෝ කළාය. අප්පච්චී අම්මාව රෝහලට ඇතුල් කොට යාලුවෙකුගේ නිවසක තාවකාලිකව නතර වූයේය.

වේදනා පිරි දෑසින් අම්මා රෝහලට යාමට අවශ්ය කළමනා ලෑස්ති කරනු නූරි බලා සිටියේ හොරෙන්ය. ඒ දෑස ලෙස කෙසේ කෙළින් බලන්නට නූරි අපොහොසත් වූවාය. දින කිහිපයක සිට අම්මාගෙත් අන් සැමගේත් අමුතු වෙනස්වීම කුඩා ඔනෙල්ට වටහාගත නොහැකි වූ නමුදු, වෙනදාට වඩා සැමගේ ආදරයට තමා ලක්වීම පිළිබද සතුටින් පසුවුණි. නමුත් අම්මා රෝහලට යාමට අප්පච්චී සමගින් පිටත් වන මොහොතේදීනම් ඔහුත් හැඩුවේය.

"කතරගම් දෙයි හාමුදුරුවන් පිහිටෙන් අම්ම ඉක්මණටම සනීප වෙලා ඒවි... " සෑම මොහොතකම ඇගේ මුවින් නිරායාසයෙන් මිමිණෙන්නට විය.

+++++++++++++++++++

"නූරි, ඔයාට තරිදු සර් ස්ටාෆ් රූම් එකට එන්න කිව්ව... සයන්ස් සෙක්ශන් එකේ ස්ටාෆ් රූම් එකට හොදේ .... "
නවාංජනා පණිවිඩය කියා යන්නට ගියාය.

"දැන් ... ? "

"ඔව් බන් .. අපි ලයිබ්‍රරි ගිහින් එනකොට සර් මගදි හම්බ උනා... දැන්ම එන්න කිව්වා.... "

නූරිගේ හදවතද ගැහෙන්නට විය.. ඇගේ හිතේ තරින්ද ගුරුතුමන් ගැන ඇත්තේ එළිපිට නොකී යොවුන් ආදරයකි. ඒත් ඔහු ඒ පිළිබද කිසිත් නොදන්නවා ඇතැයි ඈ සිතුවාය.

"මගෙ හිතේ තියෙන දේවල් සර්ට දැනෙන්න ක්‍රමයක් නෑනෙ.. ගිහින් බලනවා " සිතමින් දිලිනිවද බලෙන් මෙන් ඇදගෙන නූරි ගුරුවරුන්ගේ විවේක කාමරය සොයා ගියාය.

යාන්තමින් අඩවල් කර තිබූ දොර අතරින් නූරිට කිසිම ගුරුවරයෙකු නොපෙනේ.

"කවුරුත් නෑනෙ බන් .. "

"ඒකනම් දිලිනියො, නවාංජනා බොරුවක්ද කොහෙද කියල තියෙන්නෙ ! "

"ඒ නෑ බන් සර් ඉන්නව .. අර කබඩ් දෙක අස්සෙන් බලපන් ... "

"ඔව්මයි .. තට්‍ටු කරමු . "

"සර් විතරයි ඉන්නෙ, උබට විතරක්ද දන්නෑ නූරි එන්න කිව්වෙ ? "

"අනෙ මේ කට වහගං, ඕක ඇහුණොත් ඉවරයි ... "

"ආහ් නූරි වලිගෙකුත් අරගෙනම ඇවිත් තියෙන්නෙ ........  කෝ අනිත් වලිගෙ..  ?"
ඔහු අසන්නේ මිථිලා ගැනය. අද මිථිලා පාසල් නොපැමිණි නිසා මිස නොයේසේනම් ඇයද අනිවාර්යයෙන්ම මෙතැනය.

ගුරුතුම්න්ගේ සිනහව පරාද කරන්නට මෙන් කෙල්ලන් දෙදෙනාද සිනහාවන්නට විය ..

"හා දැන් මෙතන  කැකිරි පළන් නැතුව මට උත්තර දෙන්න ළමයො, .. "

"උත්තර දෙන්නම් සර්, හැමදාම උත්තර දෙන්නම් ... මම කැමති ප්‍රශ්න විතරක් අහනවනම් ... " සිනහව අතරින්ම ඈ සිතුවාය.

"දැන් ගෙදර ප්‍රශ්න ඉවරද ?"

හදිසියේ පැමිණි අදුරු වලාවකින් පෝදා සද වැසී ගියා මෙන් ඇගේ මුහුණ වෙනස් විණි.

"අම්මව ඉස්පිරිතාලෙ එක්ක ගියා සර්, තාම ටෙස්ට් කරනවලු ...... "

"අම්ම ලග ඉන්නෙ කවුද ලමයො ?"

"අප්පච්චි, තුන් වේලෙම ගිහින් බලනවලු සර්, තව අපෙ අම්මගෙ නංගි කෙනෙක් ඉන්නව කිරිබත්ගොඩ දිහාවෙ... ඒ පුංචිත් ඉඩ තියෙන වෙලාවට ගිහින් බලනවලු ........ "

"ගෙදර  ..... එතකොට දැන් කවුද ගෙදර ඉන්නෙ ?"

"අපෙ නැන්ද කෙනෙක් ඉන්න්ව සර්, අප්පච්චිගෙ අම්මත් ලගදි එයි...  "

"නූරිට තව සහෝදරයෙක් ඉන්නව නේද ?"

"ඔව් සර්, එයා පොඩි තාම එයාට තේරෙන්නෙ නෑ මේව .. "

උගුරේ මොකක්දෝ ගුලියක් හිරවෙනවා සේ ඇයට දැනිණි. කතාකරගන්නට අමාරු වනවිට දෙනෙතේ ‍රැදි ලොකු කදුලු බෝල අතරින් ගුරුතුමන් දෙස බැලුවාය. මේ ගෙවීයන්නෙ තම ජීවිතයේ අමාරුම කොටස යැයි ඈ සිතුවාය. තම යෙහෙළියගේ අපහසුතාවය තේරුම් ගත් දිලිනි නූරිගේ දෑත් අල්ලාගෙන ඈ වෙනුවෙන් කටහඩ අවදි කළාය.

"අපි යන්නද සර් ... ?"

"හා... හොදයි ඒක හොදයි දිලිනි ... යාලුවව එක්ක යන්න... "
දිලිනිගේ සුරත අල්ලාගෙනම ගුරු කාමරයෙන් එලියට පැමිණියද හදිසියේ යමක් මතක් වූවාසේ නූරි නැවත ඇතුළට දිව ගියාය.. 

තමා හිතුවාට වඩා තත්ත්වය බරපතල බව තේරුම් ගත් තරින්ද ගුරුන්ටද මෙය බොහෝ වේදනාත් මක සිද්දියක්  විය. ඔහු නළල පිරිමදිමින් සිටි තැනම ඔහේ බලා සිටියේය.

"ස්ටාෆ් එකේ කවුරුවත් ආපු නැති එක හොදා ... මේ ළමයා මෙහෙම අඩනවා දැක්කනම් මොකක්හරි කතාවකුත් හැදෙයි ... " ඔහුගේ සිත කියන්නට විය ...

"සර්... "

"ඇයි දරුවො ?"

"අපිට මෙහෙම උනේ අපි අතින් සර්ට උන කරදරේ හින්දද සර් ? ... එහෙම නම් අපිට සමාවෙන්න සර් ... "

"නූරි , පොඩ්ඩක් ඉන්න ළමයො ... දැන් මම ඔයාට එන්න කියල කිව්වෙ ඇයි කියල ඔයා දන්නෙ නෑනෙ !"

ගුරුතුමන් නැවතත්  කථාවට සූදානම් වනු දු‍ටු නූරි දිලිනිටද ඇතුළට එන්න කියන්නට දොර දෙස බැලුවාය..

"නෑ එයා පොඩ්ඩක් හිටපුවාවෙ ... මට ඔයාව තනියෙන් තමා හම්බවෙන්න ඕනෙ වුනෙ ..."
"සර් .. ඇ ඇයි සර්"
"නූරිට පුලුවන්ද මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ... " ඔහු කුඩා කොලකැබැල්ලක් නූරි වෙත පාමින් ඇසුවේය. 

"හා සර් ... ..." විස්මය ‍රැදි දෑසින් තවත් මොහොතක් ඔහු දෙස බලා සිටි ඈ කාමරයෙන් එලියට දුව ආවාය.

***************************

Monday, January 30, 2012

නූරි --- 8

නූරි --- 8


"පුතේ අපි යනවා... මල්ලිත් එක්ක පරිස්සමින් ඉන්න... දවල් වෙනකොට සුදු නැන්ද එයි, "
 අම්මා පැමිණ නූරිව ඇහැරවා කිව්වාය.

"උදේම ඇහැරල අම්ම"  නූරි ඇදෙන් බිමට පැන වහා අම්මාටත් අප්පච්චීටත් දණගසා වැන්දාය.

"ඕන කරන බඩු ගත්තද අම්මෙ ?"
"ඒ හැටි දෙයක් නැහැනෙ පුතේ .. ඩොක්ටර් දුන්නු ලියුම ගත්තා... "

"අප්පච්චි පරිස්සමිං, නවත්තල දොරවල් අරිනකොට එහෙම වටපිට බලන්ඩ .. "

"හෙහ් බලන්ඩකො චන්දි අපෙ කෙල්ලගෙ අවවාද ... හෙහෙහ් "

"අම්මෙ මල්ලි දැන් නැගිට්ටම මාත් එක්ක රංඩු වෙයි අම්මල යනකොට කිව්වෙ නෑ කියල.."

එවේලෙ උත්තර දුන්නේ නූරිගේ පියාය.

"අපෝ දැන් නම් පුතංඩිය ඇහැරුණොත් එයාවත් එක්ක මිස මේ ගමන යනව බොරු ... පුතේ ඔයා නැන්ද එනකම් ශේප් කරන් ඉන්න.. අක්ක ආවම එයත් එක්ක නට නට ඉදී... "

"හ්ම්ම් .. පරිස්සමින් අප්පච්චී, පරිස්සමින් අම්මා. .. බුදු සරණයි ."

"හරි මගෙ මැණික, බය වෙන්න එපා .. අපි ගිහින් එන්නම්... "
 අම්මා එසේ කිව්වද ඇගේ හිත තුළ අප්‍රමාණ බියක් ඇතැයි නූරි සිතුවාය.

------------------------------------------

ඉර නැගෙන්නට තවත් හෝරාවක් පමණ ඇත. නූරි කුස්සිය පැත්තෙ දොරෙන් එලියට බැස පඩිපෙළේ උඩම පඩියේ වාඩිවූවාය. පාන්දර සීතල ඇගේ සියොලග වෙලාගද්දී නපුරු සිතුවිලි ඇගේ ළමා සිත විඩාවට පත්කරන්නට විය. ගමේ පාසලේදි ඇගේ මිතුරියකගේ මව පිළිකාවකින් මියගිය අයුරු මතකයට නැගිණි. එකල 9 ශේණියේ උන් නූරිගේ යෙහෙළිය මළගෙදරදි හැඩූ අයුරු, පාංශු කූලය දෙන අවස්ථාවේ යෙහෙළියගේත් ඇගේ එකම සොයුරියගේත් ගුණ වැයූ අයුරුත් නූරිගේ මනසේ සිත්තම් පටියක් ලෙසින් මැවෙන්නට විය.

"කෙල්ලො දෙන්න හිටියෙ නැත්නම් නෝනා ඔයිට කලින් ඔය ගමන යන්නෙ ! මයෙ කෙල්ලො දෙන්න ඉස්කෝලෙ වැඩත් පාඩු කරගෙන නෝන බලාගත්ත දෙය්යනේ ...... "

යෙහෙළියගේ පියා පපුවට ගසාගනිමින් කියූ අයුරු නූරිගේ සිත පාරවමින් මතක් කරන්නට විය.

"අක්කි අම්මි කෝ ?"

"හා නැගිට්ටද ! ඒක හොදයි ... යං මං තේ හදන්නම් ... "
ඈනුම් හරිමින් ඔනෙල් ඇගේ පස්සෙන් වැ‍ටුණාය..

"මේ මල්ලි කුං කුං ගාන් නැතුව අද තේක බොමු ඈ.. අම්ම ගියා කොලඹ අප්පච්චි එක්ක යාලුවෙක්ගෙ ගෙදර, ඒ නිසා අද කුස්සිය භාර මං ,...  "

"හ්ම්ම් ,,, මං එක්කන් ගියෙ නැතුවට ඉන්න්කෝ... එනකං... "

"ඔයා මොනාද උදේට කන්නෙ, ? ඉදි ආප්ප කමු ? , මල්ලි අපි දෙන්නම් කඩේ යං ඈ"

"බෑ.. මං එන්නෙම නෑ, මාව දාල ගියාට මං කන්නෙත් නෑ ... "

"ඒක අප්පච්චි එක්ක බලාගන්නව, දැන් අපි කාල බීල ඉමු, කඩේ යං ඈ ?"

"බෑ, බෑ , බෑ කිව්වොත් බෑමයි "

"ඕශා භූශා,,,, ඕශා භූශා මැජික් එකකින් අපේ මල්ලිට කැමතිම දෙයක් මං ගෙනත් දෙනව දෙනවා... ආ... මා සමග ආවෝ....ඕ ඕ... ත් .............. එනවද ? "

"හා මොනාද ?"

"ඕශා භූශා ඕශා භූශා,,,,  මල්ලීට සුදු නැන්දා ගෙනත් දෙමි... ඊ...ඊ ............. එනවද ? ආවෙ නැත්නම් ඉතිං අද අපි දෙන්න විතරයි ... පව් ඔයාට පාලුවෙ ඉන්න වෙයි.. මාත් ඉස්කෝලෙ යනවනෙ... "

"හාක්"

********************************

වේලාව දහය පමණ වනවිට සුදු නැන්දාගේ පැමිණීම නූරිට සහනයක් විය. මල්ලී ඈත් සමග ‍රැදීම නිසා ඇයට පාඩමකට යොමු වීම සදහා කාලය තිබිණි. සියල්ල සතුවුවද අවශ්යම දෙය නැත්තේය. ඒ සිතේ සහනයයි.

"දැන් මේ වෙලාවට අපෙ පන්තියෙ මොනා වෙනව ඇතිද/ මැත්ස් ඉවර ඇති, ‍ෆිසික්ස් වෙන්න ඇති, සර් මං නෑ කියල දැනගෙන මොකද කියලත් බලන්න ඇති.... ඔක්කොටම වඩා මිථිල බයවෙලා ඇති, එකපාරම මං නැතිකොට... කමක් නැහ් හෙට යනානෙ... "


සිතුවිලි ගොන්න විසිර ගියේ දුරකථනය හඩදුන් බැවිණි.

"හෙල්ලෝ ......... "

"හෙලෝ නූරි ඉන්නවද ?"

"අනේ හලෝ මං ඔයාල ගැන හිත හිත හිටියේ , කොහොමද ?"

"අපි ඉස්කෝලෙ මොනා වෙන්නද බං, මොකෝ අද නිවාඩු දැම්මේ? "
නූරි නිහඩය.

"ඒ නූරි ඇයි බං , කියපං ඉක්මණට, මේ ෆෝන් එක පාවිච්චි කරන්න ඉන්ටවල් එකට කලින් බෑ කියල උබ දන්නවනෙ.. කියහංකො ඇයි මොකෝ  ?"

"අපෙ අම්ම ලෙඩ වෙලා අද චෙකප් එක්කට කොලඹ ගියා මිථිලා .... "
සියල්ල සැකෙවින් පැවසූ නුරි සුසුමක් හෙළනු මිථිලා වේදනාවෙන් අසා සිටියාය.
කුමක් නමුත් බැරෑරුම් දෙයක් වියයුතුයි සිතූ මිථිලා අසල ඔත්තු බලමින් සිටි දිලිනිද දුරකථනය තුලට තම කන ඇතුල්කළාය.


****************************


සුදු නැන්දා මල්ලිට බත්කවා නිදි කරවා බත් පිගානක් ‍රැගෙන නූරි අසලට පැමිණෙන විට ඈ මේසය මතම පොතකට බරදී නිදා සිටියාය.

"දෝණී, නැගිටල කමු.. "

"වෙලාව කීයද නැන්දෙ ? මල්ලි නිදි ? අම්මල කෝල් කළාද ? "
 නූරිගෙන් ප්‍රශ්න වැලකි.

"ඔය දැන් නිදා ගත්තෙ... දරුවට අම්ම නැතුව නින්ද යන්නෙත් නෑ, අමාරුවෙන් නිදි කෙරෙව්වෙ...  පුතේ අම්මල දැන් ළගම, පිළිමතලාවෙ කිව්ව...  "

"එහෙනම් ළගමනෙ, තව..... මිනිත්තු 20 ක් යනකොට එයි ... මොනාවත් කිව්වෙ නැහ් අම්ම වෙන? මොනා කිව්වද දැන්නෙ නැ අසනීපෙ ගැන... "

"විශේශෙන් දෙයක් කිව්වෙ නැහ්... බෙහෙත් දුන්න කිව්ව...  හා ඉතිං දැන් කමුකො... "

--------------------------

අප්පච්චිගේ මුහුණ වෙන කිසිම දවසක නොවූ පරිද්දෙන් අදුරු වී ඇතැයිද, අම්මා මවාගත් සිනහවකින් ගෙට ඇතුල්වූවයිද නූරි සිතුවාය.

"මොනාද නංගියෙ ඩොක්ටර් කිව්වෙ?"

"කිව්වෙ අක්කෙ අනෙ මන්දා... මගෙ අවාසනාවද කොහෙද ! ඉහිහ්... "

"අනේ අම්මා,,,, ඇයි ..."

"ටිකක් කල් ගිය හින්ද ඉක්මණට බේත් කරන්න ඕනෙලු... පුලුවන් ඉක්මණට ඇවිත් නතර වෙන්නය කිව්ව, ඉස්පිරිතාලෙ... මං මැරුණොත් මයෙ දරු පැටව් දෙන්න කව්ද බලන්නෙ අක්කේ ......... "
මෙලොව ඕනෑම දරුවෙකුට කවුරු හඩනවා බලා සිටිය හැකි වුවද තමන්ගේ අම්මා හඩනු බලාසිටීමට නොහැකිය.

"අනේ අම්ම අඩන්න එපා .... "

අප්පච්චි සාලයේ පු‍ටුවක වාඩිවී රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය වැඩිකලේය.

"අනේ අප්පච්චී ......... "

නූරි පියාණන් ලගට ගොස් වාඩිවනවිටම ඔහුද එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් සිය දියණියව තුරුල් කර ගත්තේය. ඒ ශක්තිමත් බාහු අතරේ හිරවී ඈ හඩද්දී ඔහුගේ දෑසින්ද ලොකු කදුලු බෝලයක් කාගේවත් ඇසට හසුනොවී නූරිගේ හිස මතට වැ‍ටුණි.

Wednesday, January 25, 2012

නූරි --- 7

"ඇයි අප්පච්චී ඇයි ? කියන්නකො අප්පච්චි මොකක්ද ප්‍රශ්නෙ ?  ,,,, "


 අම්මාගේ තත්ත්වය ඒතරම් සුබ නැතැයි වෛද්යවරයාගේ කාමරයෙන් එලියට එන මාපිය දෙපළගේම මුහුණු දෙස බැලූ නූරිට දැනිණි.

"අම්මෙ කියන්නකො මොකෝ ඩොක්ටර් කිව්වෙ ?"

"ආහ් ඒ හැටි එකක් නැහ් පුතේ මේ අප්පච්චි බොරුවට කලබල වෙලා .... "

"හරි ඉතිං ඩොක්ටර් මොකක්ද කිව්වෙ ?"


"ඩිංගිත්තක් විතර පිළිකාවක් වෙන්න පුලුවන් අවදානමක් තියෙනව කියල තව ඩොක්ටර් කෙනෙක්ගෙ නමක් ලියා දුන්න මහරගම ගිහින් හම්බ වෙන්න කියල  "

"අනෙ අම්මෙ !"

"මේ නූරි හැමේක්කටම ඔය ඇඩිල්ල නවත්තගන්නව ,,, පටන් ගත්ත විලාපෙ ... " අප්පච්චිගේ තරව‍ටුව හමුවේ නූරිගේ ඇඩිල්ල නැවතුණි.
 ඔහු ඔනෙල්ව වඩා ගත්තේය.

"නූරි, පුතේ ඔයා අම්මත් එක්ක කාර් එකට වෙලා ඉන්න.. මං ෆාමසියට ගිහින් එන්නම් .. "

"ජයේ , රෑට කන්න පාන් හරි මොනාහරි ගෙනාවොත්  හොදයි නේද ? දැන් ගිහ්න් උයනකොට මේ දෙන්නට නින්ද යයි .. "

"හ්ම්ම් .. "
සෑම මවක්ම මෙන්ම නූරිගේ මවද කියන්නේ "මං අද රෑ එහෙමත් නැත්නම් මේ දැන් මැරෙනව කිව්වත් උයල මැරෙන්න ඕනෙ.. නැත්නම් අනිත් අය මැරෙන්නෙ බඩගින්නෙ  "

"වෙන වෙලාවක නම් අම්ම ඕක කියනකොට අපි බඩවල් අල්ලං හිනාවෙනව , ඇත්ත තමයි කියල .. ඒත් අද ? " නූරි සිතුවාය.


......................................................................................................................................................
ගෙදරට එනවිට ඔනෙල්ට නින්ද ගොස් තිබිණි. අප්පච්චි ඔහුව ඇද මත තබා එනු දු‍ටු නූරි බලා සිටියාය. අම්මා ආපු සැණින් මුලුතැන්ගෙයට ගොස් හොද්දක් පිළියෙල කරන්නට වූවාය.

"අප්පච්චි .. "

"ඇයි පුතේ ?"

"ඇයි අප්පච්චි අම්මට අමාරුලුද ?"

"පුතේ එන්නකො ... "


ඔහු රවුම් කෑම මේසය වටා තිබූ පු‍ටුවක වාඩිවී ඒ ළගම තිබූ තවත් පු‍ටුවක් ඇයට පෙන්වූවාය. මොහොතකින් නූරි ඒ මතය.

"අපි අම්මව හෙටම මහරගම අරං යමු. කෝකටත් බලාගන්න එපැයි මොකක්ද තත්ත්වය කියල . " 


මවට ඇසෙයිදෝ කියා රහසින් මෙන් ඔහු සිය දියණියට කිව්වේය.

"මං සුදු නැන්දට කියන්නම් මෙහෙ එන්න කියල හෙටම ඔයයි මල්ලිවයි බලාගන්න... "


සුදු  නැන්දා නූරිගේ පියාගේ ලොකු අක්කාය. ඇය විවාහ නොවූ තැනැත්තියකි. අත්තම්මාත් සීයාත් සමගින් මහගෙදර කල් ගෙවන ඈ නූරිලා ගමේ සිටින කාලයේදී නූරිගේ නිවසත් මහගෙදරත් අතර එතරම් දුරක් නොවුණු නිසා නිතරම පාහේ සිටියේ නූරිලාගේ නිවසේය. මොන දේ වුණත් සුදු නැන්දාගේ ඒම නම් නූරිට සතුට ගේන දෙයකි. මෙය දන්නේනම් ඔනෙල් උඩ පනිනවා ඇතැයි නූරි සිතුවාය.


"අපි හෙට රෑ එන්න බැරි වුනොත් මගෙ යාලුවෙක් ඉන්නව නුගේගොඩ එහෙ යනව .. එන්න බැරි වෙන එකක් නැහ් කොහොමහරි එන්න බලනව ... බැරිම උනොත් විතරයි නවතින්නෙ ...  ඔයාට හෙට ඉස්කෝලෙ පාඩු වුනොත් අපරාදෙද ? "


"අනෙ නැහ් අප්පච්චි ප්‍රශ්නයක් නැහ් ... මන් මල්ලිත් එක්ක ඉන්නම් ... අප්පච්චි පාන්දරින් යන්නකො අම්මත් එක්ක..."


"කල් දාන එක හොද නෑ පුතේ.. මේ අම්ම කලින් කිව්වනම් අද මෙහෙම ගින්දරක් නැහ් ... "

"හ්ම්ම්"

..........................................................................................................................................
"අම්මෙ මං උදව් කරන්න එන්නද ? "

කුස්සියේ උලුවස්සට හේත්තු වී නූරි මවගෙන් විමසුවාය. ඇගේ මව කල්පනාකාරීව ලූනු සුද්දකරමින් සිටියාය.


"හානේ මොකො අම්ම ලෙඩ වෙලා කියලා දුක හිතිල වද්ද ?"


කොයිතරම් බැරෑරුම් අවස්ථාවකදී වුව කිසිම වෙනසක් නොපෙන්වා පුරුදු සිනහවෙන්ම ප්‍රථි උත්තර බැදීමට මව්වරුන්ට ඇති හැකියාව විශ්මිතය.


"අම්මෙ ... අම්ම බයද ?"

එවේලේ නම් ඇගේ මවගේ සියොලගම සැලී ගියාය. නමුත් දරුවන් ඉදිරියේ එය පෙන්විය නොහැකිය.

"අපි පුතේ කාටවත් වැ‍රැද්දක් කරල තියෙනවද ... නෑනෙ.. ඉතිං අපිට වරදක් වෙන එකකුත් නැහ් .. අනේ රත්තරන් මේසෙ අස්කරල ගන්නකො .. මේ පාන් ටිකත් ගිහින් තියන්න ...   "

"මල්ලිව නැගිට්ටවන්නද අම්මෙ?"

"අනේ දැන් නැගිට්ටත් කන එකක් නැ පුතේ.. ඔහෙ නිදාගත්තාවෙ.. කොල්ලට මහන්සි එහාට මෙහාට දුවල ...  ඔයා වොශ් එකක් දාන් එන්න ... "

...........................................................................................................................................................
වෙනදාට වඩා කලියෙන් නින්දට ගියද, අම්මාත් අප්පච්චීත් බොහෝ වේලාවක් කතා කර කර සිටිනු නූරිට ඇසිණි.

"ඔය ඩොක්ටර්ස් ලා කියන ඒවා ගැන අපි බයවෙන්න ඕනෙ නෑ.. එයාල කියන විදියට වැඩ කළාම හරි.. දැන් අප්පච්චි හෙට අම්මත් එක්ක ඉස්පිරිතාලෙ ගිහින් ආවම ඔක්කොම හරි යනව.... එතකොට අපි ආයෙත් ජොලියෙන් ඉන්නවා... "

හිතට බයක් ගෙනෙන සිතුවිලි සිතට පැන නැගෙණු වැළැක්වීමට නූරි අසාර්ථක උත්සාහයක් දරමින් සිටියාය...  අඩ නින්දෙන් සිටින අතරතුර ඇයට අම්මා ලෙඩ ඇදක් මත සිටිනයුරුද, අඩන ඔනෙල් ද ඈත බලාසිටින අප්පච්චීද , නූරිව දෝතට ගන්න මෙන් ඈ දෙස බලා සිටින තරින්ද විජේරත්න ගුරුතුමන්ද පේන්නට විය.

Monday, January 23, 2012

නූරි --- 6

නූරි --- 6



"පුතේ.. ඔයා පාඩම් කරනවද ?"

රාත්‍රියේ කෑමෙන් පසුව අම්මා පැමිණ කාමරයේ දොර රෙද්ද ස්වල්පයක් මෑත් කර නූරිගෙන් විමසුවාය. ඇගේ මුහුණ කුමක් හෝ හේතුවකට කලබල සෙයක් පෙන්නුම් කලේය. මේ රාත්‍රියේ සීතල පැවතුණද ඇගේ කම්මුල් මත පිපී තිබුණු දහඩිය බිංදු නූරි භීතියට පත් කලේය. 

"ඇයි අම්මේ .. "
හෙට දිනයේ පාසලට අවශ්ය ගැටලුවක් විසදමින් සිටි ඈ හිද උන් පු‍ටුවෙන් නැගිටමින් ඇසුවාය.

"නැහ් පුතේ මං මේ ඔයාගෙන් පොඩ්ඩක් අහන්නමයි හිටියෙ දවස් කීපෙක ඉදල ...කොහෙද වෙලාවක් .. "

අම්මට කවුරුහරි මොනාවත් කියලවද්ද ? ඒත් ඉතින් මොනා කියන්නද ? මොකෝ මං සර් ගැන හිතනව කියල දන්නෙ මං විතරනෙ.. දෙය්යනෙ මං හීනෙන් වත් මොනාහරි කියෙව්වවද්ද !

"ඇ ඇයි අම්මෙ කියන්නකො මොකද මේ බයවෙලත් වගේ.. "

"පුතේ ඔයාට හෙට ආෆ්ටර් ස්කූල් ක්ලාස් ඉවර උනාම අපි පොඩ්ඩක් ඩොක්ටර් හම්බ වෙන්න යන්ද ... මගෙ මෙතන දැන් ටිකක් කාලෙක ඉන්දල හරියට රිදෙනව පුතේ... "

අම්මා ඇගේ ලැම පෙදෙස පෙන්වා නූරිට කිව්වාය. ඇගේ සියොලගම හිරිවැටිණි.

"අනේ අම්මෙ ඔච්චර කල් රිදුනනම් කලින් කියන්න එපැයි අම්මෙ .. මොකද දන්නෑනෙ .. අප්පච්චිට කිව්වෙ නැහ් ? "

"අප්පච්චි තමයි කිව්වෙ බෙහෙත් ගනිමු කියල පුතේ .. මන් ඉතින් එච්චර ගණන් ගත්තෙ නෑ ඕක.. "

"අනේ මන්ද අම්මෙ.. "

තමාට, ඔනෙල්ට පුන්චි හෝ හෙම්බිරිස්සාවක් හැදිනි නම් අම්මා කොයිතරම් අපහසුතාවයට පත්වන්නේද යන්න ඈට සිහියට නැගිණි. ඒත් ඈයට අසනීපයක්නම් කිසිම දිනේ එය පවසන්නේ නම් නැත. අනිත් අයට අසනීපය දැනී බලෙන්ම බෙහෙත් ගැනීමට අම්මාව එක්කරගෙන යෑමට සිදුවෙයි. සාමන්යයැන් සිදුවන්නේ එයයි. නමුත් අද අම්මාම පැමිණ මෙසේ පැවසීම තුලින් කියවෙනුයේ පෙනුමට වඩා අමාරුවකින් ඇය පෙලෙණ බවයැයි ඈ අනුමාන කලාය.

"එහෙනම් ඔයා ඉස්කෝලෙ ඇරිල එන වෙලාවට මන් ලෑස්තිවෙලා ඉන්නද ?"

"නැහ් එක්කො අම්මෙ අපි හෙට උදේටම යන්ද .. හෙට ඉස්කෝලෙ ඒ හැටි වැඩක් නැහ්... මැත්ස් මිස් එන්නෙත් නැහ් කියල අද කිව්ව අම්මෙ... "

"පිස්සුද ලමයො ... මට ඒ හැටි අමාරුවක් නැහ්.. අපි හවස යමු.. මං මේ යන්නෙ කෝකටත් ඉතිං හොදයිනෙ බලාගත්තම... නැත්නම් යන්න තරම් අසනීපෙකුත් නෙවෙයි මගෙ හිතෙ.. "

"අනෙ අම්මෙ නිකා ඉන්න.. අම්ම කලින් කියන්නෙ නැතුව හිටි එකනම් හොදම නෑ.... "

"බලමුකො ... "

"හ්ම්ම්ම් ... අම්ම බය වෙන්නෙපා...  "

"මං මොකට බය වෙන්නද දරුවො.... අර පොඩි එකා ඩිංගක් ලොකු වුනානම් ඕනෙ එකක්.... "

නූරිට මතක ඇති කාලෙක ඉදන්ම අම්මා කියන්නේ "අර පොඩි එකා ලොකු උනානම් මට මලත් කමක් නෑහ් " කියාය.

"ඇයි මං ??  ... මං දැන් ලොකු ඇති ... ඒක වෙන්නැති .... "


****************************************************

වයසක ආත්තම්ම කෙනෙක් ඇගේ සමීපතමයෙක් සමගින් වෛද්යවරයා මුණගැසීමට පැමිනෙයි. සිගිත්තෙකු වඩාගත් තරුණ මවක් වෛද්යවරයා සිටින කාමරයට එලියෙන් රෝගීන්ට අසුන් ගැනීමට තබා ඇති පු‍ටු පේලිවල කෙලවරම පු‍ටුවක හිදගෙන සිටී. ඒ අසල සිටින්නේ ඇගේ සහෝදරිය විය හැකි යැයි නූරි කල්පනා කලාය. ඈ අත සුරතල් සතෙකු හැඩයට මැසූ බෑගයකි. ඒ තුළ ඇත්තේ සිගිත්තාගේ කළමණා වෙන්නැයි නූරි සැක කළාය.

"නොම්මර 12...... ! කෝ ඉන්නවද ?"

"ඉන්නව මිස් ... අපි " මවගේ අතකින් අල්ලාගත් නූරි වෛද්යවරයා ‍රැදී උන් කාමරය ඇතුලට ගියාය. ඔනෙල්ද පසුපසින්ය.

"ඇයි මේ අම්ම ?"

"ඩොක්ටර් මේ කාලයක් තිස්සෙ .............."

අම්මා වෛද්යවරයාට රෝග විස්තරය පවසන විට නූරිද නොදැන සිටි කාරණා දැන ගන්නට හැකිවිය. ඇය පවසන විදියට මෙම අමාරුවෙන් ඇය වසර එක හමාරක් පමණ කලක් පෙළී ඇත. නූරිට අම්මා කෙරෙහි කේන්තියක්ද උපනි. "ඔච්චර කලක් මොකද නොකිය හිටියෙ ?"

නළල අතගාමින් කල්පනා කරමින් වෛද්යවරයා තවත් වෛද්යවරයකුගේ නම කියා ඔහුව මුණගැසීම වඩා හොද බැව් පැවසීය. කල් යාම නම් එච්චර සුබ නැතැයිද පැවසීය. ඉනික්බිති නූරි දෙසට හැරී

"අම්ම මෙච්චර අමාරුවෙන් හිටිය ඔය ලමය දන්නෙම නැද්දැයි " ඇසුවේය.. 

දත කටා පූට්ටූ වූවෙකු ලෙස නූරි බලා සිටින කල්හි ඊට උත්තර බැන්දේද අම්මාය.

වෛද්යවරයාගේ මේසය මතවූ ටෝර්ච් එකක් ඔනෙල්ට හසුවී ඇත. ඔහු එය අතපත ගාන්නට පටන් ගති. අම්මා ඔනෙල්ගේ අතට පහරක් ගසා ඔහුව නැවැත්වූවාය.

"අද මේ දොස්තර මහත්තයා ... ..... මෙතෙන්ට එන්නෙ නැහ් ... අර පේරාදෙණිය පාරේ . **** ට එනව... කෝකටත් අදම යන්න"

"නොම්මර ඉවර වෙලා තියෙයිද මන්ද ඩොක්ටර් ?"

"ඒකත් කියන්න බැහ් .. කමක් නැහ් මං කෝල් එකක් දීල කියන්නම් කො ඔය අම්ම යන්නකො ..."

වෛද්ය මද්යස්ථානයෙන් එලියට ආ විගස නූරි කලේ අප්පච්චීට දුරකථන ඇමතුමක් දී තොරතුරු පවසා පේරාදෙණිය පාරේ කියූ වෛද්ය මද්යස්ථානයට පැමිණෙන ලෙස පැවසීවමයි.

"හරි හරි ඔයාල යන්නකෝ එහෙනම් ... මං පුලුවන් තරම් ඉක්මණට එන්නම් පුතේ..  අම්මගෙන් අහන්න පුතේ අතේ සල්ලි තියෙනවද කියල "

"ඔව් අප්පච්චි අම්ම ලග තියෙනව  ... "

නුවරට ආදා සිටම නූරි නුවරට ඇලුම් කලාය. උදේට පාසල් එනවිට දකින බහිරව කන්ද බුදුපිලිමය දිහා කල්පයක් උනත් බලාසිටිය හැකියි ඇය සිතුවාය. වැව රවුමේ අසිරිය කියා නිම කල නොහැකිය. අද ඇයට ඒ කිසිත් නොපෙනුනාය.

"අනේ දෙය්යනේ අපෙ අම්මට අමාරුවක් නම් වෙන්න එපා " ඈ යැද්දාය.

හාත්පස කලුවර වැටෙද්දී අදාළ වෛද්ය මද්යස්ථානයට ලගා වූ ඔවුනට කලින් ජයසේන මහතා පැමිණ සිටීම නූරිටත් මවටත් හිතට සහනයක් වූයේය.

"ඕගොල්ලො පරක්කු වෙනකොට මං නොම්මරයක් ගත්ත"

"ඒක හොදයි අප්පච්චි ... "

අදාල නොම්මරය කතාකළවිට අම්මා සම්ගින් අප්පච්චි ඇතුළට ගිය හෙයින් නූරි මල්ලිත් සම්ගින් මද්යස්ථානය ඉදිරිපස වූ මාලු ටැංකියේ විසිතුරු බැලුවාය.

"අක්කි මේ මොන මාලුවාද ? "

"ඌ කැට් ‍ෆිශ්"

"එතකොට අරකා ?"

"ඌත් ඒවයෙන් එකෙක් තමයි ... "

"එතකොට මූ ?" ඔනෙල් ඇසුවේ ටැංකියේ බිත්තියටම ඇලී බිත්තිය ලෙවකමින් සිටි ක්ලීනර් මාලුවෙක් මත ටැංකිය පිටපැත්තෙන් ඔහුගේ මුව තබමින්ය.

 "චික් මල්ලි ගන්නව කට අහකට... මොන ජරාවද මන්ද ?"

"අපිත් මාලු ටැංකියක් ගෙදර හදමුද අක්කි ... අප්පච්චිට කියමුද ? "

"ඔව් ඔව් ඒක විතරනෙ මල්ලි අපිට අඩු ... මේ වෙලාවෙ අනික ඉක්මනටම "

නූරිට මල්ලි ගැන දුක සිතිණි. අම්ම ලෙඩ වෙන්නනම් එපා දෙය්යනේ ... අම්මට විතරක් නෙවෙයි "මේ පොඩි එකා ඩිංගක් ලොකු වුනාම මටත් මැරෙන්න බය නෑ "
ඈ ජීවිතේ ප්‍රථම වතාවට ඔනෙල් දෙස බලමින් සිතුවාය.

Friday, January 20, 2012

නූරි --- 5

නූරි --- 5


ගුරු සිත නොරිදවා.
අකුරු උගනී කුමරු සොදවා........

පන්තියේ බිත්තියකින් බාගයක්ම පාහේ වසා උන් කලු ලෑල්ලත් ඊලග බිත්තියත් අතර වූ පුන්චි ඉඩේ එලෙස ලියූ පුවරුවක් නූරිගේ දෑසට හසුවිය.
..........................................

"මොනවා කලාද නූරි සර් ඉන්න අතරේ ? අනේ මන්දා මම ඔයා ගැන හිතං හිටපු විදියත් වැරදිද කියල !"

කාලඡේදය අවසන් වී ගුරුතුමන් පිටවුනු විගස දිලිනි විමසූවාය.

"හප්පේ කවුද දන්නෙ සර් ඒ හැටි සැරයි කියල.. මට බයට පාඩම එක අකුරක්ව්ත් තේරුන් නැහ් -- මොකක්ද දැන් මන් ගැන හිතං හිටපු විදිය කිව්වෙ ?"

"නැහ් ඔයා මේ සර්ගෙ හැඩ බැලුව කිව්වම මට පුදුමත් හිතුන. මොකක්ද ඒකෙ තේරුම ? නේද නවාංජනා ... "

"හරි හරි ඕක අඩබෙර ගහන්න ඕනෙ නැහ් නවාංජනාටත්.. එයා ඕක පත්තරෙත් දායි.. හිහි ,,,,,,,, මං ඉතිං වරදක් කිව්වැයැ දිලිනියෝ සර් හරිම හැඩයිනෙ බාආ.....න්න්න්"

"අනෙ මේ මගෙන් මොකුත් නාහ හිටපන් .. ඔහොම ගියොත් අපිටත් ඉස්කොලෙ ඉන්න වෙන එකක් නැහ් සර්ලට ලයින් දාන්න ගිහින් ... ආන් මිල්ටන් සර් එනව... ලෑස්තිවෙයං පාඩමට ... මේ උබට ඕනනම් මිල්ටන් සර්ගෙත් හැඩ බලපන් .. හැබැයි මං නම් මනෝ ලොකවලින් බස්සන්න එන්නැහ් ... "

"අප්පච්චියේ මිල්ටන් සර් දිහා...හිහි "

"දහඩිය පිරුණු මුහුණට වැටෙන අව් ‍රැල්ල මගහැරීමට අත‍රැදි පොත් ස්වල්පය නළලට තබාගෙන වැලි පාරේ රත්මල් වලින් පිරුනු වැට අද්දරින් එන මිල්ටන් ගුරුතුමන් දු‍ටු නූරිට ඔහු පිලිබද දුකක් දැනුණි.

"සර්රුත් හරියට අපෙ අප්පච්චි වගේ බන් .. අප්පච්චිත් ඉස්සර ලන්ච් අවර් එකට ගෙදර එනව ඔහොම දාඩිය දමාගෙන...  "

"හ්ම්ම් සර් පව් තම්යි .. ගුරුවරු කවුරුත් එහෙම තමයි .. පෙනුනනෙ ලගදි ආව කියල වෙනසක් නැහ් ‍ෆිසික්ස් සර්ගෙ කැපවීම"

"ඇත්තට සර්ගෙ නම මොකක්ද?"

"‍ෆිසික්ස් සර්ගෙද ?"

"හ්ම්"

"තරින්ද විජේරත්න.... ඒත් ප්‍රින්සිපල් සර්රුත් කතා කරන්නෙ තරිදු කියල .. කවුරුත් කියන්නෙ තරිදු කියල .. ලේසි හින්ද වෙන්නැති ... "

"හ්ම් වෙන්නැති.. ඒත් මංනම් තරින්ද සර් කියලම කියනව .. "

"මොකක් ! අනේ මන්ද උබට හැදිච්චි පිස්සුව ......."

---------------------

නූරිට මතක පරිදි කිසිම දිනෙක කිසිම කොල්ලෙකු පිලිබද මෙවන් හැගීමක් සිතට නො ආ බව ස්ථිරය. කලින් පාසලේදීත් කොල්ලන් මහ හුගක් ඈ පිලිබද බලාපොරොත්තුවෙන් උන් සිටි බව ඇත්ත නමුදු ඔවුනගෙන් එකෙකුටවත් මේ සිත පැහැරගත් නොහැකි වීම පිලිබද ඇගෙ සිත ආඩම්බරයෙන් පිරිණි. අලුත් පාසලේදී ද එකම පන්තියේ උගෙනගන්නා කල්ප ඉඩ ලද ඇසිල්ලේ නූරි අසල ගැවසෙන්නට උත්සාහ කලත් සහජයෙන්ම ලැබුණු ගැහැණු නුවණ පාවිච්චි කොට ඒවායින් මගහැරීමට ඈ දක්ශ වූවාය. 

"ඔක්කොම හරි .. මං වැරදි තමයි .. නැත්නම් සර් අච්චර ගණන් ගන්නැතිව ඉදිද්දි ඇයි මගෙ හිත මෙච්චර චංචල ?"
ඈම ඇගෙ සිතෙන් අසන්නට විය.

"ඔය විදියට ගියොත් උබට විබාගෙ ෆේල් වෙන්න තමයි වෙන්නෙ ආයෙ දෙකක් නෑ ලයිට් කණු තුනක් එයි රිසල්ට්ස් වලට. මොකුත් ඕනෙ නැහ් දැන් බලපං අරහෙ මිල්ටන් සර් උගන්නනව ,, තමුසෙ මෙහෙ විකාර හිතනව .. සර් පව් පව් ගෑවට වැඩක් නැහ් ඉගෙනගත්තෙ නැත්නම් ....  "

නූරිගේ සිත කෑ ගසා කියන්නට විය... ඈ වහා පාඩමට සිත යොමු කලාය.

*****************************************************************

පාසලේදී දෙන සටහන් ඒවෙලාවට ඔහේ ලියාගත් නමුත් හවස් වරුවේදී ගෙදරදී නැවත බලන්නට නූරි පටන් ගත්තේ සාමාන්ය පෙළ කරන කාලයේදීය. පාසලේදී සිත කෙසේවත් එකතැන් කරගත නොහැකි වූ මේ දිනවල නූරිට එම පුරුද්ද පාඩම් කටයුතු කරගෙන යාමට උදව් විණි. පුංචි කාලයේදීනම් අම්මා ඇගේ පාසල් වැඩ සදහා හවස් වරුවම ගත් කලාය. දැන්නම් සිදුවන්නෙ ඇගේ සොයුරා, ඔනෙල් නිසා පාඩම අතරමග කැඩී යාමයි .

"අක්කි, අප්පච්චි දැන් එයිද ? "

"ඇයි මල්ලි අප්පච්චි කලින් කර කර හිටපු රස්සාව නෙවෙයිද දැන් කරන්නෙ... කලින් එන්න ... "

...  ඇයගේ කුඩා සොයුරු ඔනෙල් කඩදාසි වලින් කමිසයක් තනා ඇත. එය කුඩා අත්කමකි . පාසල් ඇරී ආ විගස නූරිට එය පෙන්වූ ඔනෙල් ගේ ඊලග ආසාව අප්පච්චීට එය පෙන්වීමය.

"මොකද පුතේ අක්කිට පාඩම් කරන්න දීල ඔයා එන්න එලියට... එන්න මගෙ පුතේ අපි යන් ... ".

"අනෙ අම්මි .. අප්පච්චි දැන් එයිද ?"

"අනේ පැටියො දැන්ම නෙවෙයි අප්පච්චි තව චුට්ටකින් එයි හොන්දෙ... "
ඔනෙල්ගේ මුහුණ මැලවිණි. අම්මාට තුරුලුව කාමරෙන් එලියට යන ඔනෙල් දෙස බැලූ නූරි දිව දික් කොට කොලොප්පම් කලාය. ඒ මදිද සිතුණෙන් දුව ගොස් පොඩ්ඩාව කුචු කවා නැවත් පැන්නාය.

"අම්මි ...  අක්කි මට ඉන්න දෙන්නෙ නෑ.. ඉහි හ්හ්"

"මොකද නූරි යනව ගිහින් පාඩම් කරනව... මල්ලිට කරදර නොකර...  "

"අනේ මගේ චූටි මල්ලිය.. මං ඔයාට ආදරෙයි හොන්දේ... උම්මා.. . ආන් මල්ලි අප්පච්චි එනව .. "

නූරි ඔලුව උස්සා ජනෙලෙන් එලිය බලා බොරුවට කිව්වාය.  ඔනෙල් දුවන සද්දය ඇසිණි, තව ටිකකින් අම්මා බැනගෙන එන අයුරු සිහියට නැගී ඇයට සිනානැගුණි.

"අපේ ගෙදර කොච්චර හොන්දද !"
ඈට සිතිණ.

Wednesday, January 18, 2012

නූරි --- 4

නූරි -- 1
නූරි -- 2
නූරි -- 3

වෙනදාට වඩා ඉක්මණින් පාසැලට යන්නට නූරිට උවමනා වී තිබිණි. ඊයේ පාසලේ මිතුරු මිතුරියන් රෝහලට ගිය විට ගුරුතුමන් මොනවා කිව්වාදැයි දැනගන්නාතුරු ඈට ඉවසිල්ලක් නොවීය.

" ගුඩ් මෝනින් ... "
තාම නම වත් හරි හැටි මතක නොමැති උවත් පන්තියේ මිතුරියක් දු‍ටුව විගස ඈ කිව්වාය..

"හායි ගුඩ් මෝනින් නූරි ...  ඊයෙට හරි යන්න අද කලින් ද ?"

"හිහිහ් ,, ඊයෙනම් ලේට් තමයි .. දන්නැද්ද බස් .. ඊටත් තාම පුරුදු නෑ හරියට ... "

"අපෝ ඔව් අප්ප.. උදේට බස් නම් එපා වෙනව ... මං ස්කූල් බස් එක අල්ල ගන්න බැරි වුනොත් එදාට ගෙදර නවතිනව .. ඒක සැපයි .. "

මිතුරිය මොනවා පැවසුවද නූරිට ගාණක් නොවුනි.. ඈට අවශ්ය දේට මාතෘකාව හරවා ගන්න බැරුව නූරි වේදනා වින්දාය ..

"ඒක නෙවෙයි ... " 
"ඇයි නූරි ... "
"නැහ්.. මේ ඕගොල්ලො ඊයෙ අර සර්ව බලන්න ගියානේද ? "
"අනේ ඔව් නූරි අපි ගොඩ දෙනෙක් ගියා . සර්ට දැන් හොදයි හෙට විතර ටිකට් කපයි  කිව්ව .. "
"අහ් එහෙනම් හොදයි නේද ?"
"ඔව් අනේ වෙන කවුරු ‍ෆිසික්ස් කලත් ගොඩ දෙනෙකුට සර් වගේ අල්ලන් නෑ... "

...නූරි ඈත ඈත බලාගෙන සිටියාය. මලින් මල නොකඩවා බිම දමන රොබරෝසියා ගස්වල ලස්සන බලන්නට ඇයට හැකි වූයේ අදයි .. කොච්චර අතුගෑවත් වැඩක් නැති නිසා රොබරෝසියා ගස් යට අතු ගාන්නේ නැතුව ඇතැයි ඈ සිතුවාය .

"ඈතින් ඈතින් පාවී එන්නේ ............. කවුද ? නූරි  ......... පුහ්හ්හ්". .. මිතිලා ලගටම ඇවිත් නූරිගෙ කනට පිම්බාය...

"පිස්සුද ? මගෙ කන .. ගුඩ් මෝනින් මිතිල."

"ගුඩ් මෝනින් ............ මොකෝ කලින් ඇවිල්ල ? "

"එහෙම තමයි හොද ලමයි ...... "

"ඊයේ මොකෝ උනේ ... ඉස්පිරිතාලෙ ගියාද ?"

"අනේ ඔව් .. පේන්නෙනම් හොදයි වගේ .. ඒත් මොනාදො තව රිපෝට් වගයක් එනකන් ඉන්න වෙනවලු ... ඉස්කෝලෙ එනකොට ලබන සතියවත් වෙයි කිව්ව ............ පව් බන් සර්ගෙ මුලු අතම වෙලල .... ."

"අනේ ඇත්තට ... මාර පව් තමයි .. "

"අපි යනකොට සර්ගෙ අම්මල එහෙමත් ඇවිත් හිටිය ... ඒක නෙවෙයි නූරි ... "

"ඇ ඇයි මොකෝ ?"

"සර් ඔයාව ඔ‍ෆිස් එකේදි දැකල තියෙනව ... සර් ඇහුව අලුත් ලමයෙක් පන්තියට ආව නේද කියල "

"නැහ් ... ?? ඉතින්  වෙන මොනාද කිව්වෙ ?? "
සර් ඇයව දැක්කේ පන්තියේදීවත් ඔ‍ෆිස් එකේදීවත් නොව කමිසයම ලෙයින් තෙත්ව සිටියදී හදිසි අනතුරු අංශයේදීය .... ඈ සිතුවා නිවැරදිය.. ඔහුට හොදට මතක තිබී ඇත.

"වෙන මොකුත් කිව්වෙ නෑ.. ඇයි වෙන මොනාහරි සර් උබට කියන්න ඕනෙද ඈ ??"
"හිකිස් ..."

**********************************
නව පාසැල පිලිබද ලමෝ විවිද අර්ථ කථන දුන්නෝය. "අර සර් මෙහෙමයි මේ මැඩම් මෙහෙමයි ... අපෝ එයාද ? එයානම් එපා කෙමිස්ට්‍රි කනව ඒ සර්නම් ... " ලමෝ ගෙනා විවිද නිර්වචන සමගින් දින කිහිපයක් ඔහේ ගෙමින් යමින් තිබිණි. උග්‍ර ගුරු හිගය නිසා කලින් පාසලේදී ආවරණය කර ගැනීමට නොහැකිව තිබුනු විශය කොටස් සම්පූර්ණ කරගැනීමට අලුත් මිතුරියන්ද , මිතුරන්ද නූරිට සහය දුන්හ. හදිසි අනතුර නිසා නිවාඩු ගොස් සිටි භෞතික විද්යා ගුරුතුමාගේ කාල පරිච්චේදය වෙනත් ගුරුතුමෙක්ගේ යටතට පත්විණි.  භාග්යා, යොහාන්, නවාංජනා, පියුමි, කල්ප, දිලිනි සමගින් මිතිලා නූරිට වඩාත් සමීප යහලු යෙහෙලියන් බවට පත්විණි.

පාසැල පිලිබද තතු මෙසේ වෙද්දී නූරිගේ නිවහනේද විවිද වෙනස්කම්වලට භාජනය වෙමින් තිබිණි. ගමේදීනම් ලග කඩයට, තැපැල් කාර්යාලයට ගිය අම්මා මෙහිදී එය සම්පූර්ණයැන්ම වර්ජනය කරන්නට වූවාය. වර්ජිත සියලු වැඩ ස්ව කැමත්තෙන්ම අප්පච්චී භාරගත් හෙයින් ප්‍රශ්නයක්ද නොවීය, එන වසරේ පාසැලට ඇතුල් කිරීමට නියමිත නූරිගේ එකම කුඩා සහෝදරයාගේ මගහැරුනු මොන්ටිසෝරිය කිරීම උදෙසා අම්මාට උදේ වරුවම ගතවිය, නූරිට නව පාසැල හොද වූවාසේම අප්පච්චීටද නව රාජකාරි ස්ථානය යහපත් වීම පවුලේ කාටත් සතුටක් ගෙන දුනි.

සියල්ල මෙසේ සිදු වෙද්දී සති දෙකක නිවාඩුව අහවර කරමින් භෞතික විද්යා ගුරුතුමා නැවත පන්තියට පැමිණියේය.

**************************

"ආහ් මං නැති අතරේ තමුසෙලාට හොද නිවාඩුව නේද ?
කවුද ආවෙ පහුගිය දවස්වල ? කෝ ගන්නව පොත ... මොකක්ද ? දෝලන හා තරංග ?? ඉවර කලා ? තාපය ? අපි කර කර හිටියෙ තාපයනෙ ලමයි ... අනේ අනේ ... හා කමක් නෑ ගැටලුවක් තිබුනොත් ආයි බලමු ,,.

එහෙනම් පටන් ගමු ලමා.....යි ලියාගන්න ලොකු අකුරින්  .... මාත්....රුකාව .... විද්යුතය ... ... අන්තිම පාඩම් කලින් කරල හිටියම ලේසි පස්සට .... "


පන්තියම මීක් ශබ්දයක් නැතිව වැඩය.. පහලට ඉරි වැ‍ටුනු ලා දුබුරු පැහැ කමිසය සර්ට හොදින් ගැලපෙන්නේ යැයි නූරි සිතුවාය. මොකට ‍රැව්ල වැව්වද මන්ද ... 

"උහ්"

"මනෝ ලෝකෙන් බැහැපං" දිලිනි රහිසින් මෙන් කෙදිරුවාය.

"සර්ගෙ හැඩ බැලුව ... "

"පොත බලපන් ...සර් සැරයි ඕවට "

ලමයින් කොයිතරම් සිතුවත් ගුරුවරුන්ගෙ කනින් රින්ගීම එතරම් පහසු නැත, මිතුරියන් දෙදෙනාගෙ කෙදිරිල්ල ගුරුතුමන් දු‍ටුවේය.

"දිලිනි මොකද කු‍ටු කු‍ටු ගාන්නේ ... ? මොකද අලුත් ලමය දිලිනිට අහගෙන ඉන්න බාධා කරනවද ?  "

පොලව පලාගෙන යා ඇත්නම් හොදය යැයි නූරි සිතුවාය. ලද ඇසිල්ලේ මේ පහර ගැසුවේ අනතුර වෙනුවෙන් පලිය යැයි ඈට සිතිනි..

"නැහ් සර් නැහ් ... මේ ... නැහ් "

"මේ ලමයො... පාඩමක් කරනකොට ඒකට කරන ලොකුම උදව්ව තමයි නිස්සද්දව අහගෙන ඉන්න එක.. අනිත් ලමයින්ට භාදා නොකර... දැන්වත් හරියට අහගෙන ඉන්නව.. ඔය අලුතින් ආපු ලමයට මන් කියන්නේ ... ඉස්සර මොන ඉස්කෝලෙ ගියත් ඒ ඉස්කෝලෙ මොන විදියට හිටියත් ... මේ ඉස්කෝලෙ මගෙ පන්තියෙදි මීක් බැහැ, ප්‍රශ්නයක් ඇතෙයිනම් මගෙන් අහන්න පුලුවන්.. මං මෙච්චර අමාරුවෙන් ඇවිත් උගන්නනව.. මුන්ට ගානක්වත් නෑ..."

තමන් කල වරද නූරිට අවබෝධ විණි. තවත් මොහොතක්වත් පමානොවී ඇය පාඩමට කන් දුන්නාය. .............

Monday, January 9, 2012

නූරි --- 3

නූරි --- 1
නූරි --- 2

නූරි --- 3

ඊයේ සිදුවීම අප්පච්චීගේ හිතට මහා වේදනාවක් එකතු කල බව නූරි ට හොදින් දැණින. වෙනදා නිදන්නට යන වේලාව පසු වීත් අනතුර  පිලිබද අම්මාගේත් අප්පච්චීගේත් කතාබහ ඈට ඇසිණි.

"වුණ දේ වුණා... දැන් කොච්චර කතා කලත් පලක් නෑ... වෙලාවට ඒ මනුස්සයා හෙල්මට් එක දාල හිටියා.." අම්මා කියනු ඈ අසා සිටියාය....

රෝහල් භූමිය පුරා මහා හිස් බවක් තිබිණි. අප්පච්චී ඔය හැටි වෙලා ගන්නවා කියා කලින් කිව්වා නම් ඈ මේ ගමන එන්නේ නැත.  පාසලට අලුතින් පැමිණි සිසුවිය පරක්කු වී පැමිණීම ගුරුවරුන් වුවද අනුමත නොකරනු ඇතැයි ඇය සිතුවාය.


"ආ හරි යන් යන් පුතේ .. තව ඩිංගෙන් පුතාට පරක්කු වෙනව .."

"අප්පච්චි දැන් කොහොමද ලෙඩාට ?"

"ඒ හැටි අමාරුවක් නැ දරුවො ... මේ ඒ ලමයගෙ ගෙදර උදවිය ඇවිල්ල ටිකක් සද්දෙන් සද්දෙන් කතා කෙරුව... ඒකයි ටිකක් පරක්කු වුනෙ .. "

__________________________________________________________________

පලමු කාල පරිච්චේදය පටන් ගෙන තිබුනද ලමුන් තැන් තැන්වල පොදි ගැසී කතා කර කර සිටීම නූරිට සතුටක් ගෙන දුන්නෙය ..
 "ගුරුවරයෙක් නැතුව ඇති "

"ඔව් දැන් පිලිගන්න... අපේ අලුත් න්නූරි ශිශ්යාව ..... කීකරු, අප්‍රමාද, වෙලාවට වැඩ කරන ...... "

පන්තියේ කොල්ලන්ගේ කටකාර කියමන් මද්දේ තම පු‍ටුව සොයා ගත් ඈ මිතිලා ව දිලිනි ව සෙව්වාය...  

"ඇයි දැන් මොනාද තියෙන්නෙ ? තාම ‍ෆ්‍රී මොකද ? "

මිතිලා සොයා ගත් විගසම ඈ ඇසුවාය ...

"දැන් ‍ෆිසික්ස් තියෙන්නෙ.... මාර වැඩේනෙ නූරි වෙල තියෙන්නෙ... ‍ෆිසික්ස් සර්ව ඇක්සිඩන්ට් වෙලාලු ... ඉස්පිරිතාලෙලු ... පව් බන් මාර හැන්ඩියා සර්...  "

" මොනවා ... ?? "
නූරිගේ කටේ කෙල පවා සිදී ගියේය ..  මිතිලා තවත් කතා කරයි ...


"පව් බන් කවදාවත් සර් නිවාඩු ගත්තෙ නෑ ... ෆස්ට් ඇපොයිමන්ට් එක අපෙ ඉස්කෝලෙට .. ඒ හැටි කලකුත් නෑ ඇවිල්ල  ... සර් බයික් එකේ යනකොට වෙන වෙහිකල් එකක හැප්පිලාලු ... . "

"සර් කොයි වගේද මිතිලා ... ? "
"උසයි .... කලුයි ... කෙට්‍ටුයි ...... ඇයි නූරි ඔයා එහෙම ඇහුවෙ... ? "
"නිකම් .... නිකම් .... නිකමට ... මම ඊයෙ සර්ව දැක්කද කියල මතක් කරගන්න ,,, "

"නෑ ඔයා සර්ව දකින්න විදියක් නෑ... ඔයා එනකොට අපිට ‍ෆිසික්ස් ඉවර වෙලා ... හැබැයි සමහරවිට ඔයා දකින්න ඇති ඔ‍ෆිස් එකේදි ... සර් ඔ‍ෆිස් එකට ගියානම්  ........... මොනා උනාද දන් නෑ බන් .. කවුරුවත් කිසිම හරි විස්තරයක් දන් නෑනෙ  ... "

සිදු වූ දේ නූරිට නම් හරියටම, සියයට සියයක්ම හරියට කියන්නට පුලුවන... නමුත් මේ එයට සුදුසු වෙලාවක් නොවේ... නූරි කට පියා ගත්තාය... 

"මේ මොකද උබ කියන්නෙ... අපි හවස සර්ව බලන්න යනව හොස්පිටල් එකට  ... එනවනම් අපිත් එක්ක යන්න පුලුවන් ... සර්ව දැකල නැත්නම් බලාගෙන එන්නත් පුලුවන් ... "

පන්තියේ කෙල්ලක් ඇගෙ අතට ගසමින් පැවසුවාය....

"අනේ මම .... මම ...  අද ...  බෑනෙ අපේ අප්පච්චී අද පොරොන්දු උනානෙ නැන්දලාගෙ ගෙදර යනව කියල... අම්ම කිව්ව ඉක්මනට ගෙදර එනව කියල... අය්යෝ අපරාදේ ශික් ... "
බොරුවක් කියා ඈ මිතුරියන් මග හැරියාය..


**********************************************

හැමදාම ඇයව පාසලින් ගන්නට අප්පච්චීට නොහැකි හෙයින් ඇයට බසයේ ගෙදර යන්නට සිදුව තිබිනි. පාසල් ගේට්‍ටුවෙන් පිටවූ මොහොතේ සිට ගෙදරට එනතුරුම මාර්ග විස්තරය අප්පච්චී කියාදී තිබීම නිසා බසයක් සොයා ගැනීම දුශ්කර නොවීය. නිවෙසට එනවිට අම්මා මල්ලීත් සමගින් ඈ එන පෙර මග බලා සිටියාය..

"අක්කි එනව අම්මී ... "

"ඔව් මේ අක්කි එනව ,.. එනව ... අපෝ බුදු අම්මෙ ඇති ගෙදර ආව අදනම් ...." නූරි දාඩිය පිසදමමින් කිව්වාය.

"මොකෝ පුතේ ?? " අම්ම සිනා සිසී ඇසුවාය ...

"නෑ අම්ම දාඩියනම් මේ බස් එකේ ඇවිල්ලා... මට හිනා ගියෙ අම්මෙ මාර වැඩෙ වෙලා තියෙන්නෙ .... මටමනෙ අම්මෙ මේ හැම එකක්ම වෙන්නෙ .. "

"කිය්නවකො ලමයො, අපබ්‍රංශ නොකියා කියන දෙයක් තේරෙන්න ...  "

"අප්පච්චී ඉදල ඉදල හප්පල තියෙන්නෙ අම්මෙ අපෙ පන්තියට උගන්නන සර් කෙනෙක්වනෙ අම්මෙ  .... "

"නැහ් ... "

"නැත්නම් හොන්දයිනෙ අම්මෙ ... වැඩෙ තියෙන්නෙ එහෙම වෙලා තියෙන එකනෙ .. " නූරි මවට පන්තියේ ලමුන් ඇයට කිවූ කාරණා පැවසුවාය.

"දැන් හෙට තමයි වැඩේ... ඉස්පිරිතාලෙදි සර් ලමයින්ට කියයි මට මෙහෙම උනේ මේ නිසාය... අන්න තමුසෙලාගෙ පන්තියෙ අලුතෙන් ආපු ලමයගෙ හපන්කම .... හපොයි හෙට ඉස්කෝලෙ යන්ටත් මට බයයි අම්මෙ... "

"යස වැඩක්නෙ පුතේ  ....... සර්ට ඒ හැටි අමාරුවකුත් නැත්නම් අහවල් එක්කට ඕ ගැන ඕ හැටි හිතනවද?  මොකෝ මේ ලෝකෙ ඔහොම සිද්දි වෙන් නැතුවයැ ,,,, අනේ ඔන්න ඕක අමතක කරලා අර බත් ටික කනව දැන් ..........."


"අනේ දෙයියනේ... සියල්ල හොන්දින්ම සිදුවේවා ... " නූරි සිහිනයෙන්ද පැතුවාය ..............

****************************

Thursday, January 5, 2012

නූරි - 2

ගිනි අව්වේ සෝමරත්න ගුරුතුමා සමගින් නූරි සෙමෙන් පන්තියකට ඇතුලු වූවාය.

කෙටි විස්තරයක් එවෙලෙහි උගන්වමින් සිටි ගුරුතුමියට පැවසූ සෝමරත්න ගුරුතුමා නැවතත් ඔවුන් ආ මග යන්නට විය...

"අප්පච්චියේ මේ ඉස්කෝලෙ පන්තියට එනකන් මෙච්චර දුර ආවනම් මුලු ඉස්කෝලෙම කොච්චර ලොකු ඇතිද"

 ... ඈ අලුතින් පැමිනි සිසුවියක් බවත් ඇයට උදව් කිරීමටත් ලමයින්ට ගුරුතුමිය පවසන අතරේ ඇයට සිතිණ." අවසන ඇය ව පන්තිය අතරේ හිස් පු‍ටුවකට තල්ලු කෙරිණ.

ලහි ලහියේ සංයුක්ත ගණිතය පොත ගත් ඈ පාඩමට කන්දීමට උත්සාහ ගත්තද, ලැජ්ජාව මුසු බිය නූරිගේ පාඩම කෙරෙහි තිබූ සිත වෙනතක යැව්වේය.

කාල පරිච්චේදය අහවරව ගුරුතුමිය පිට වූ සැනින් කොල්ලන්ද කෙල්ලන්ද එක පොදියට ඇගේ පු‍ටුව දෙසට හැරිනි. විවේක කාලය ලබා තිබුනද කිසිවකුට කන්නට වත් අවැසි නොවන ලෙසය ඈට හැගුනේ. දග කොල්ලෙක් නිහඩතාවය බින්දේය ..

"හරි ...දැන් ඔය ලමය කියනව බලන්න තමුසෙගේ නේම් එක ?"

"මම නුන් ... නු න් නූර්රී ඊ..."

"මොකක් බා..න් ... නුන්නූරි .. එහෙම එකක් නම් ඇහුවමයි .. "

"උබ කොහොමද බන් ඇත්තට මේ අවේලාවෙ ඉස්කෝලෙට ඇතුලු උනේ.. අප්පච්චි ඇමතියෙක් වත්ද ? "

"ඒකනම් ඇත්ත තමයි බන්.. උබට ඕලෙවල් පාස් වෙන්ට බැරිඋනාවත්ද .. 13 ට එනකන් එන්ට බැරිවුනේ ආ ?"

"එව්වයෙන් වැඩක් නෑ .. කෙල්ලෙ උබ ඕනෙවට වඩා නිකන් පත්තිනි අම්ම වගේ ඉන්ට හදන්ට එපා.. මොකෝ අපේ ඉස්කෝලෙ ‍රැග් කියල එකක් තියෙනවද ,.. නෑනෙ .. "

නූරි හිස ඔසවා බැලුවාය.. එහෙම එකක් නැත්නම් කොච්චර හොන්ද ද කියන්නා සේ ඈ කොලු රෑන දෙස ප්‍රතම වරට සිනා මුසු මූනෙන් බැලුවාය..

"අන්න එහෙම හිටපන්කො බන් .. "

"හරි දැන් නුන්නූරි ,,, කියමු බලන්ඩ හැඩවැඩ ඇති බයිලාවක් ... අපිට නටන්ඩ .."

" මොකක් ..  ?? "

නූරිගේ දෑස් නලලට ගොස්ය... පෙර පාසලේදි කොන්සට් එකට මිතුරන් සමග ගැයු සමූහ ගායනයක් ඇරෙන්නට ඇය ගැයු දිනයක් ඇයට මතකයක් වත් නැතිය.. කරුනු කෙසේ වුවත් මෙලෙස හොන්දින් සලකන අලුත් පාසලේ මිතුරන්ගේ ඉල්ලීම අහක දාන්නට බැරිය...

"නූරි අපෙ ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො ‍රැග් කරන් නෑ.. ඔයා ඔය පොඩි සින්දු කෑල්ලක් කියන්න... එතකොට ඔක්කොම හරි යයි ... "
ලග වාඩි වී සිටි යෙහෙලියක් ඇයට සෙමෙන් කිව්වාය...

"සූරිය සුනෙර සත්වට කැර ...........  "

"මොකක් .... අය්යෝ උබ මගෙ නැ‍ටුමත් කන්නයි යන්නේ... "

කොල්ලන්ගේ ගෝරනාඩුව ආයෙත් පටන් ගති...
"ඇයි බන් උබ සින්දුවක් වත් දන්නැද්ද ?? අය්යො ගෙදර ටීවී බලන්නෙ නැද්ද බන් ..... "

"නෙත් කෙවෙනි තුල හිරවී තිබී එලියට ආ ලොකු කදුලු බෝලයක් ඇසේ සුදු කලු ඉන්ගිරියා දෙකම සෙමෙන් වසා ගත්තේය...  ඈ බිම බලා ගත්තාය. ...

"චික් බන් උබල මහ බබාලනෙ බන් ... මේන් මේකි අඩනව .. මොකක්ද බන් ...... "

"අහ් කමක් නෑ කියහන් කියහන් ... .උබේ අර කවි විලාපෙ ... මන් අමාරුවෙන් හරි නටන්නම්කො ............ "
කෙල්ලන්ද කොල්ලන්ද සිනා වෙති.. 

"සූරිය සුනෙර සත්වට කැර කුනා   දෝ ................
සූරිය යනෙන ගැල සක ගැල උනාදෝ ..............
වීරිය කරන රාහුට අහු උනාදෝ ..............
සූරිය තවම පායන්නට පමාදෝ ..................."

---------------------------------------------------------------------------------------------------

වෙලාව එක හමාර වනවිට ජයසේන මහතා සිය දියනිය එනතුරු පාසල් ගේට්‍ටුව අසල ‍රැදී සිටියේය.. සුදු ඇන්දුමින් සැරසුනු ලමෝ ගේට්‍ටුව අතරින් එකිනෙකා මතුවන්නේ හරියට බොහෝ වෙහෙසකර රාජකාරියක් නිමා කර එන පරිද්දෙනි... ලමෝ පිලිගන්නට මෙන් පාසල් බස් රත ගේට්‍ටුව පෙනෙන මානයේ නවත්වා ඇත. පුංචි දරුවො දන්නෙ නෑ මේ තමා ඒගොල්ලො ජීවිතෙ ගෙවන ලස්සනම කාලෙ කියල ... ඔහු සිතින් කියාගත්තේය.  මුලින්ම 6 වසර, ඊලගට 7 වසර... එලෙසින් 13 වසර ලමයින්ගේ පිටවීමේ කාලය එනවිට නූරිද අලුත් යෙහෙලියන් දෙදෙනෙක් සමගින් අවුත් පියාට එකතු වූවාය...

"කොහොමද පුතේ අලුත් ඉස්කෝලෙ ?"
"ආහ් නියමයි අප්පච්චී .... හිතුවට වඩා හොන්දයි .... "
"ඇයි පුතා හිතං හිටියෙ කොහොම කියලද ? " ඔහු සිනාසෙමින් ඇසුවේය..
"නෑ අප්පච්චි, මං බයේ හිටියෙ ‍රැග් කරයි කියල... අපො මේ ඉස්කෝලෙනම් එහෙම එකක් ගෑවිලවත් නෑ අප්පච්චි .. පිරිමි ලමයිවත් එහෙම නෑ ... හොන්දයි .. ඔය දැන් මං එක්ක ආවෙ මිතිලා, උස සුදු එක්කෙනා, අනික් එක්කෙනා දිලිනි... එයාල තමයි මට කතා කරල යාලු කරගත්තෙත් ....  "

ජයසේන මහතා රිය පණ ගන්වා මාර්ගයට ගත්තේය...

"පුතේ .... ‍රැග් එක කියන්නෙ ලමයිගෙ මානසිකත්වය දුර්වල කිරීමට පාවිච්චි කරන එකක්... වෙලාවට මෙහෙ ඒක නැත්තෙ... මිස්ටර් සෙනෙවිරත්න තද පාලනයක් ගෙනියනව ඇති මගෙ හිතෙ... නැත්නම් ඉතින් මේ වයසෙ ලමයි කරන වැඩ කොහොම නවත්තන්නද ? සෙනෙවියා ඒ දවස්වලත් කැම්පස් එකේ චන්ඩියෙක් වගේ හිටියෙ... හිහ් හිහ් ..."

"අප්පච්චි... අම්ම කියපු බඩු ටික ගත්තද ?"

"ඕන් දැන්නෙ මතක් උනෙ... පුතා කාරෙකෙ ඉන්ට ... මන් ඉස්සරහ කඩෙන් අරන් එන්නම් ..."

ජයසේන මහතා වාහනය පාරේ වම්පසට කොට ඔහු උන් පස දොර හැරියා පමණි.

ක්‍රී................... ස්ස්ස්ස්ස්ස්ස්ස්Z.. දඩා......න් .... 

කොහෙදෝ සිට පැමිණි බයිසිකල් කරුවෙකු දොරේ වැදී විසිවී ගියේය...
"අප්පච්චී .......... "
වහ වහා සෙනග ‍රැස් විණි. ..

"මොකක්ද අයිසෙ... පාරට දොරවල් අරිනකොට ඔයිට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනෙ නේද ?"
"අම්මප මුන්ට මදන විසේ හැදිලද ? ඔහොම අරිනවද දොරවල් ."
"අර පොඩි කෙල්ල හින්ද ඉවසනව ,.. නැත්නම් දෙන්න හිතෙනව මට තමුසෙගෙ මූනට ........."

වයස විසි පහක් පමණ වූ තරුණයෙක් අතේද පයේද ලේ ගලන තුවාල සහිතව නූරිලාගේම කාරයට නංවාගන්නා ලදි ... දොර වැදීම නිසා හැඩයද වෙනස් වී තිබූ නමුදු ඒ ගැන සිතා බලන්නට වෙලාවක් නොවූයෙන් ජයසේන මහතා ‍රැස් වූ සෙනග අතරින් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වූ දෙදෙනෙක් සමගින් ඉස්පිරිතාලයට ඉගිලුනේය.

නූරි තවමත් හඩයි... 

"නූරි කට වහගෙන ඉන්නව ... මගෙ ඔලුව අවුල් වෙලා තියෙන වෙලාවෙ..........."

රෝගියා හදිසි අනතුරු අංශයට ඇතුල් කොට, බාරකරු ලෙස ජයසේන මහතා එතැන ‍රැදී සිටියේය ...

"බාහිර තුවාල ඇරෙන්න ලොකු ඩැමේජ් එකක් නම් වෙලා නෑ වගෙ තමයි පේන්නෙ ... කෝක උනත් පැය කීපයක් ඉන්න වෙනව ...  ලෙඩා ට කතාකරන්න පුලුවන් මිස්ටර් ගිහින් කතා කරල බලන්න ... "
හදිසි අනතුරු අංශය භාර වෛද්යවරයාගේ වචන ජයසේන මහතා වෙලාගෙන තිබූ බය ස්වල්පයකින් අඩුකරන්නට සමත් විය...
"මේ දරුව ඉන්න තැනක් හොයාගත්තොත් ගෙදෙට්ට කියන්න තිබුන...  "

පෙරදී , ලේ වලින් පෙගී තිබූ කමිසය ඉවත් කොට හොන්දින් බෙහෙත් දමා වෙලා තිබිණි ..

"අනේ දරුවො .... මං දොර අරිනකොට දැක්කෙ නෑ . ............... "
"අප්පච්චිගෙ තමයි වැ‍රැද්ද ... " පසෙකට වී සිටි නූරි සිතුවාය.. 
"ආහ් හරි අන්කල් කමක් නෑ අන්කල් මගෙ වැ‍රැද්ද ... ඔච්චර ඉඩ තියාගෙන ... මං ටිකක් වැඩිපුර වේගෙන් ආවෙ ඒකයි මට කොන්ට්‍රෝල් නැතිඋනා....  "
තුවාල ලැබූ රොගියා කීවෙ නූරි දෙස බලාය..

"මෙයාව මන් දැක්කෙ කොහෙදිදෝ.... " මේ මූණ නූරිට මතකය. ... හොදටම මතකය ..........

ටික වේලාවකින් පොලිසියද පැමිණ කට උත්තර ‍රැගෙන ගියෝය,.  ...රෝගී තරුණයා ඔහුගේ ගෙදරට පණිවිඩයක් රෝහල් භූමියේම දුරකතන කුටියකින් දුන් හෙයින් නූරි පියා සමගින් කලුවර වැටෙද්දී ගෙදර පැමිනියාය.

***************************************************************************************

Tuesday, January 3, 2012

නූරි --- 1

කුරුල්ලන් එකින් එකා කූඩුවලට යනවිට, හාත්පස අදුර ඇයව වෙලගන්නට තනද්දී ඇය සෙමෙන් හිද උන් තැනින් නැගිටින්නට උත්සාහ කලාය...

"නූරි, මොකද ලමයා අද පහන පත්තුකරන්නෙ නැද්ද?" , නැන්දනියගෙ ප්‍රශ්නයට පිලිතුරක් වත් නොදී ඇය තම කාමරයට වැදී සෙමෙන් ඇදට වැ‍ටුනාය.

"මට බෑ, මට බෑ..... මං එයාට එහෙම කියනව.. ඈ මිමිනුවාය.." ...


නූරි.... මේ ඇගේ කතාවයි !

 -------------------------------------------------------------------------------------
කොණ්ඩ කරල් දෙක දෑතින් දෙපසට ඇද නූරි කන්නාඩියට විරිත්තුවාය...  අද හෝ හෙට කම්මුලෙන් එලියට පනින්න මෙන් තියෙන කුරුලෑව දු‍ටු නූරිට මහා කෙන්තියක් උපනි...

"මගෙ මූනෙමයි කුරුලැ එන්නෙ.. වරෙන්කො අපෙ පන්තියෙ අනිත් එවුන්ගෙ මූනුවලත්..." 

බොහෝ කාලයක් ගමේ පාසලක උගෙන, අද ඇය නගරයේ අලුත් පාසලකට පිය නගන්න ලැස්ති වෙමින් උන්නාය...  ඇගේ පියාගෙ ‍රැකියාවේ ස්තාන මාරුව නිසාය එලෙසින් ඇයද, පියාද, මවද එකම කුඩා සොයුරාද මෙසේ නගරයට සංක්‍රමණය වූයේ.... 

"තේක බීල යන්න පුතේ.."

ඇගේ මව තේ කෝප්පයත් ‍රැගෙන දොරකඩ බලා සිටියාය.. වසර 17 ක් සපිරි දූ සිගිත්තිය දෙස මව ඉතා ඕනැකමින් බලා සිටියාය. රවුන් මුහුණ, හැඩැති නාසය පියකරු පෙනුම නව යොවුන් වියැති දියනිකට සුන්දරත්වයක් උවත් සෑම මවකටම මෙන් ඇගේ සිතටත් මහා බයක් එකතු කලාය...

"ඔය පිරිමි ලමයි එහෙම ආස්‍රය පරිස්සමින් හොදේ... ගමේ ලමයි වගේ නෙවෙයි පුතේ මේ නුවර හරිද දරුවො.. මං කෝකටත් අප්පච්චිට ඔයාව අද ගන්න එන්න කිව්ව කොච්චර වැඩ තිබුනත්.. ඉස්කෝලෙ ඉවරෙට එලියට වෙලා ඉන්න අප්පච්චි එනකන්.. ගෑණු ලමයෙක් පරිස්සම් වෙන්න ඕනෙ කියන එක මගෙ පුතෙ මතකයිනෙ නේද !. "

"ඔව් අම්ම හරි හරි.... මතකයි .........  මල්ලි තව නිදිද ?"

නූරිගේ සහෝදරයා ඇයට වඩා වසර 12ක් වයසින් බාලය ... එබැවින් තවම ඔහු පාසල් යන්නේ නැත.. පස්ස පැත්තට එලිය වැටෙනතුරු නිදන්නට ඕනැම කුඩා දරුවෙකු සේ ඔහුත් ආසාය.

"අප්පච්චී.... මං රෙඩී .............."

 ඇය කෑගසුවාය ...

"නූරි .. මගෙ කන ... මොකද ලමය බෙරිහන් දෙන්නෙ .. ඔය ඝාන්ටරෙ ගහන කොට අර කොල්ලත් ඇහරෙයි ලමයො .... යන් ඉතින් දැන් පරක්කුත් වෙනව මෙතන කන්නාඩිය ඉස්සරහ ඇබරෙනෙකොට.... අප්පච්චි ලෑස්ති වෙලා දැන් ගොඩක් වෙලා... "

"ජයේ එනකොට නූරිත් අරන්නෙ එන්නෙ... මේ ලිස්ට් එකත් ගේන්න හොදේ... පොඩ්ඩක් හරි පලාත පුරුදුයිනම් ලග කඩයක් හොයාගෙන යන්න තිබ්බ... අදට ඔයා ගේන්නකො.. "

"චන්දි.. ඔයා අද ලමයත් අරන් කොහෙවත් යන්න එපා...  ගෙදර තියාගෙන ඉන්න.. කල් යනකොට අපි පුරුදු වෙයි මෙහෙටත් ... "

හ්ම්ම්ම්......

මවටත් පියාටත් දණ ගසා වැන්ද නූරි සුදු ගවුම පොඩි නොවෙන්නට රිය ඉදිරිපස අසුනේ වාඩි වුනාය...

"හරි අප්පච්චී යං"

-------
නූරිගේ පියා.. ජයසේන මහතා සරල බොහෝ සෙයින් සැහැල්ලු මිනිසෙකි ... සිය දියනියට පනමෙන් ආදරය කරන්නේය ...  වසර ගණනාවක් ගමට නුදුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කල ඔහුට හදිසියේ ලැබුනු ස්තාන මාරුව අවලන්ගු කරගැනීමට ඔහු මහන්සි නොවූයේය.

"කොහොමත් ලමයි දිගටම ගමේ ඉන්න එකක් නැතිවෙයි... දැන්මම ටිකක්හරි නගරෙට හුරු කරල තියන්න ඕනෙනෙ .... අපි ඔක්කොම යනව කොහොමහරි .."

ජයසෙන මහතාට පමනක් බෝඩිමක් සොයාගැනීමට අයෙක් උපදෙස් දෙද්දී ඔහු කීවේය..

රට තොට තොරතුරු පවසමින් ජයසේන මහතා නූරිව පාසල අසලට ‍රැගෙන එද්දී පාසල පටන්ගෙන මිනිත්තු විස්සක් ඉක්ම ගොස් තිබිනි .. ගේට්‍ටුව අසලදී ආරක්ශක අංශයට කරුනු පවසා ඔවුන් කාර්යාලය වෙත පැමිනිනෝය..

"අප්පච්චී මටනම් දැන් බයෙත් බෑ වගේ.... පපුවත් ඩිග් ඩිග් ගානව වගේ.... " 

අස්වීමේ සහතිකයත්, චරිත සහතිකයත්, අවශ්යයි හැගුනු සහතික ටික ෆයිල් කවරෙන් පිටතට ගත් නූරි ඉතිරිය බෑගය තුලට දැම්මාය.
"බයවෙන්නෙ මොටද ... තමුන් වැ‍රැදිනම් විතරනෙ බයවෙන්නොන... ඉන්න පුතේ, මිස්ටර් සෙනෙවිරත්න තාම ඇවිල්ල නැද්ද මන්ද මන් බලල එන්නම්කො ...  "

පාසලෙ විදුහල්පති සෙනෙවිරත්න මහතා ජයසේන මහතාගෙ සරසවි මිතුරෙක් නොවුනානම් නූරි 13 වසරට පාසලට ඇතුල් කිරීම සිහිනයක්වන්නට ඉඩ තිබිනි ...

විවේක කාලයට පැයකට මත්තෙන් නූරිව අදාල පන්තියට යොමු කිරීමට විදුහල්පති තුමා කටයුතු කලේය.
"ඔයා ඉස්සරහ ගේට්‍ටුව ලග ඉන්න පුතේ.. මං හරියට එකයි හතලිස්පහ වෙනකොට එන්නම්"
"හාං.."

සෑහෙන කලකට පෙර ලස්සන කහපාටක්ව තිබෙන්නට ඇතිවූ, දැනට නම් බොහෝ සෙයින් දුර්වර්ණ වූ කොරිඩෝවක් දිගේ ඈ විදුහල්පති තුමා විසින් හදුන්වා දෙනූ ලැබූ සෝමරත්න ගුරුතුමා සමගින් යමින් සිටියාය.

කොරිඩෝව එක් පසෙක් වූ, නූරිගෙ උසට පොඩ්ඩක් වැඩිවූ කොට බිත්තිය උඩින් ලමෝ ඔවුනගේ හිස් දමමින් අලුත් ලමයා දෙස බැලීමට උත්සාහ කලෝය. අමාරුවෙන් මැඩගත් ලජ්ජාවත් සමගින් ඈ ගුරුතුමා සමගින් පඩිපේලි නගිමින් විද්යා අංශය වෙත ලගා වෙමින් සිටියාය.
 -------------------------------------------------------------------------------------------------------
යලිත් හමුවෙමු !