Thursday, May 24, 2012

අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ ...

සෑහෙන කලක සිට කවියක් නොලිව්වෙමි
වෑහෙන රසය ඇති පදයක් අද ලියමී
පෑහෙන නොපෑහෙන බවනම් නොම දනිමී
සෑහෙන වෙලා ඇතිනම් කියවනු මැනවී ...

කාලේ මෙකල මං හිටියේ තුරුණු කලේ
ආලේ තමයි හැම සුසුමම සොදුරු කලේ
මාලේ බැන්ද අපි නැකතින් එකතු කලේ
කාලේ රුදුරු අපි දෙන්නා දෙමංසලේ

පස් වසරක්ම නුබ ඉගෙනුම කෙරුවාට
දොස් නැත නගේ නුබහට ජොබ් නැතුවාට
ඇස් දෙක වගේ නුබ ‍රැක ගමි හැමදාට
වස් නොවදීවි යන් මගෙ ක්වාටස් එකට ...

හිමි කිවු දෙයින් මා සිත සැනසීල ගියා
නිමි කර ‍රැකියාව මං ඉල්ලා අස්ව ගියා
පිමි පැන වගේ හිමිගේ උණුසුමට ගියා
වෙමි ප්‍රිය ගෘහණියක් අද සිට නුඹට කියා ...

අක්කර පහක් විතරක් වෙයි ඒ ඉඩම
අක්කර දෙකක් වත් ඇති ඒ මහ ගේම
දුක්බර දෙයකි ඒ මහ ගේ අතුගෑම
ඒ හින්දාම නොකළෙමි එය හැමදාම ...

මේ කිසිදෙයක් මගෙ සිත් ගත්තේ නැතිද
වේ එක් දෙයක් තවමත් මතකෙට සබැද
ගේ වට තිබිණි මහ අඹ ගස් නේක විද
මේ ගස් ටිකට මං ආදර කලා සොද ...

තනිකම වැඩියි බෑ පාලුව ඉවසන්ට
හනිකට අම්මෙ මලයා මෙහෙ ඇරලන්ට
කලකට පසුව බැරියැයි මට හුරුවෙන්ට
එතකොට එවන්නම් අම්මේ පිං නුබට ...

උදේ පටන් මං හා මගෙ පොඩි මලයා
ගල්ද පොලුද ගෙන අඹ ගස් රකිනු නියා
මදේ රසය වින්දෙමු නෑ වචන ලියා
අඹේ රසය සුර ලෝකෙට එහා ගියා ...

හවසක දිනෙක මලයා ගහ උඩට නැග
ආයාචනා කෙරුවයි මට ගහ උඩට
නැති වුව පුරුද්දක් මට ගස් වලට පැන
මොහොතක් පසුව මං සිටියෙමි අතු අතර

කෙලින් පාර ඈතට පෙනෙනවා සොද
පෙලින් පෙලට වාහන පැමිණෙනා සද
දු‍ටුව දෙයින් මං සිහි නැති නොඋනා වෙද
හිමි එන්නේය මිතුරන් සමගින්ම අද .....

හනිකට මල්ලි උඩ බිම බලමින් පැන්නා
වටකොට අතුරිකිලි මං ගහ උඩ තව ඉන්නා
අඩියට දෙකට හිමි මිතුරන් හා එන්නා
"කෝ බං උබේ බාරි" යැයි විමසන්නා ...

විස්මය හැගෙන දෑසින් මගෙ ස්වාමියා
වටපිට බලා මලයා වෙත අඩිය තියා
සැකහැර දැනුනු පසු මං ගස මතය කියා
"අනේ මචං නානවලුනෙ එයා" කියා ගියා

අඩ පැයක් ගෙවී ගොස් කලුවරත් වැ‍ටුනු විට
විදි දුකක් අනේ මං තනියෙන්ම ගහක් උඩ
දුරු කළා මදුරුවන් මැස්සන්ද මගේ තනිය
අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ  ...

තව මොහොතකින් ඒ නරි ‍රැළ පිටව ගියා
ආයිත් දිනෙක එන බව සැක හැරම කියා
දිග ඉනිමගක් ගෙනවිත් ගහ මුලට තියා
මං ගොඩ වුනෙමි නිවසට මලයාට රවා ....

Tuesday, May 22, 2012

අත්තම්මා හා මගේ සිතුවම

මේ ළගදි මට ආයෙත් පොඩි කාලෙ වෙච්චි සිද්දියක් මතකෙට ආවා.. ඒක මතක් වෙද්දිත් මට කට කොණට හිනාවක් ආව නිසා නිකමට වගේ බ්ලොග් එකටත් ලියලා දාන්නම් කො...


මේ කාලෙ මම එක වසරෙ විතර... ගමේ ඉස්කෝලෙ ගිය මම පොඩ්ඩක් විතර කලින් ගෙදර එනවා.. ඊට ටික වෙලාවකට පස්සෙ නගරේ ලොකු ඉස්කෝලෙ ගිය අක්කි ගෙදර එන්නෙ... ඉතින් එයා එනකම් සෙල්ලමක් වත් කරන්න විදියක් නැතුව ඉන්න මම තනියම කරන්න පුලුවන් සෙල්ලම් සොයාගැනීමේ මෙහෙයුම් දියත් කරනවා.. ඔය අතරින් ගොඩක් සෙල්ලම් අවසානයේ මුල්ලක මට නින්ද යෑම තමා සිද්ද වෙන්නෙ...

අපෙ අත්තම්ම තමා හැම එකටම ඉන්නෙ ඉතින්... මොකක් හරි වැඩක් කරගන්න බලන්නෙ අත්තම්මා... මං අහුවෙයි ඔව්වට... 

අක්කි එනකන් ගේ ඉස්සරහ සිමෙන්ති පඩිය උඩ බලාගෙන හිටපු මට අපූරු සිතුවිල්ලක් ආවා.. මට අක්කි ඉස්කෝලෙ සිට එන හැටි චිත්‍රයක් අදින්න හිතුනා.. දුවගෙන කාමරේට ගිහින් මං ප්ලැටිග්නම් පෙට්ටියක් අරන් ආවා... දැන් මං මගේ හැකි උපරිමය චිත්‍රයට නගනවා.. අත්තම්මගෙනුත් කිසිම සද්දයක් නෑ.. පොඩ්ඩකට එහා ගෙදරවත් යන්න ඇති.. ඉතින් මං නිදහසේ සිමෙන්ති පඩිය උඩ දිගාවෙලා කඩදාසි කොලේක අක්කිව සිත්තම් කරනවා... ඔන්න එතකොට මට ආයිත් එනවා අපූරුම අයිඩියා එකක් .. "මොකටද කොලේ අදින්නෙ? සිමෙන්ති පොළවෙම අදිනවා... සිනිදුම සිනිදු රතුම රතු පාට සිමෙන්තියෙ ලස්සනට ඇදෙනවනෙ.. "
පොඩි වෙලාවයි ගියෙ, මං කොළ පාටින්ම අක්කිව ඇන්දා, ටිකක් පොඩියට ..... පොඩි කාලෙත් ඉතින් මං ගත්තු දෙයක් ආපහු එතැනින්ම තියන නිසා ප්ලටිග්නම් පෙට්ටියත් කාමරෙන් තියල අත්තම්ම හොයන්න ගියා... 

දැන් හවස... අක්කියි මායි සෙල්ලම් කරනවා.. මිදුලෙ සෙල්ලම් ගෙයක් දානවා.. මට චිත්‍රෙ ගැනත් අක්කිට කියන්න අමතක උනා... ඔන්න ඔය වෙලාවෙ තමයි අර අසහාය සිත්තම අත්තම්මට දර්ශනය වුණේ... ගෙදර ප්‍රධාන දොර ඉස්සරහම ඇදපු බලිය දැක්ක අත්තම්ම හොදටම කේන්ති අරගෙන ..

"කවුද මේ විනාශෙ කළේ?"

"අත්තම්ම මං නෙවෙයි... "
අක්කි කෙළින්ම කිව්වා... එතකොට ඉතින් මංනෙ.. මාත් වීරය වගේ බොරු කියන්න පටන් ගත්තා..
"අත්තම්ම මාත් නෙවෙයි.. "

"ඔය දෙන්න නෙවෙයි නම් මමද මේක ඇන්දෙ ?"

"දන්නෑ අත්තම්මෙ, අපි නෙවෙයි"
අක්කි ඒ පාර මං වෙනුවෙනුත් පෙනී සිටිනවා..

එක පාරටම අපේ අත්තම්ම වෙනස් වුණා.. හරිම ලස්සනට හිනා වෙලා මෙහෙම කිව්වා...

"කවුරු උනත් හරිම ලස්සනයිනෙ.. කමක් නෑ පුතේ, ඔයාල දෙන්නටත් බැරිද මේ වගේ ලස්සනට චිත්‍ර අදින්න... මේ විදියටම ඇන්දොත් මං එයාට දෙනව තෑග්ගක්..."

"මට පුලුවන් අත්තම්ම, මං අදින්නද?"
මං පටස් ගාල ගෙට දිව්වා ප්ලැටිග්නම් ගේන්න... (හනේ මෝඩ මං...) අක්කිත් දුවගෙන ආවා ...

දැන් අපි දෙන්න අදිනවා චිත්‍ර... මටනම් වැඩි වෙලාවක් ගියෙත් නෑ.. ඉකමණටම ඉවර කරපු චිත්‍රෙ දිහා බලපු අක්කිගෙ ඇස් දෙකත් ලොකු උනා..


"ඔයාද මේකත් ඇන්දේ?"

"ඔව්... " මං ආඩම්බරෙන් කිව්ව...  අත්තම්මත් කිව්වනෙ ලස්සන චිත්‍රෙ කියල..

"ඕක ටිකක් වෙනස් කරල අදිනව, නැත්නම් අත්තම්ම දැනගන්නව ඔයා තමයි මේක ඇන්දෙ කියල..."

 අක්කි පුන පුනා කිව්වත් මං නෙවෙයි ඒ ලස්සන චිත්‍රෙ වෙනස් කලේ!

ටික වෙලාවකින් අත්තම්ම ආව.. චිත්‍ර ඇන්දපු කොල දෙකම අතට ගත්තු අත්තම්මගෙන් ඊට සුලු මොහොතකට පස්සෙ මගෙ පස්සට ගුටියක් ලැබුනා.. ඊට පස්සෙ මෙහෙම කිව්ව..

"ඔය ගුටිය චිත්‍රෙ ඇන්දට නෙවෙයි බොරු කිව්වට... "

ඊට පස්සෙ අක්කියි මායි අත්තම්මයි තුන් දෙනාම එකතු වෙලා තිනර් ටිකක් ද කොහෙද දාලා අර චිත්‍රෙ මකල දැම්මා..


Monday, April 9, 2012

අතීතයට ගියෙමි ...

"පොඩ්ඩක් ඉන්නව ළමය, දැන් අතත් පුච්ච ගන්නව !"

අත්තම්ම කියනව, ඒත් අපි සැලෙයි ඔව්වට. කොහොමහරි අත්තම්ම ලිපට එහා පැත්තෙන් තියාගෙන විටින් විටේ ඒකට දාන කැවුම් ටික දිහා බලාගෙන ඉන්න එක තමයි අපේ වැඩේ..  වැඩිය උසත් නැති නිසා අක්කි ගෙනාවා පොඩි ස්ටූල් එක.. දැන් ඒකට නගිනව අපි දෙන්නම. හරි දැන් අපූරුවට පේනවා. දෙන්නම දගල දගල ඕක දිහා බලා ඉන්නකොට අත්තම්ම සැර කරනව..

"ඕක උඩ නටල දැන් වැටෙයි ළමයි.. !" ඒත් මොනා කිව්වත් කැවුම් නම් ලැබෙනවා..
බැන බැන් හරි අත්තම්ම අහනව
 "රසද ?"

"ම්ම් තේරුන් නෑ තව එකක්... "




කිව්වා වගේම තමයි .. ටික වෙලාකින් ලිපට යටින් අත්තම්ම සීරුවට ගොඩ ගහලා තියෙන දර ගොඩෙන් දර කීරක් ඇනිලා අපි දෙන්න දගලනකොට කොහොමත් වැටෙනවා... හරි දැන් අක්කි දුවනව ඉස්සරහ මිදුලට.
වැලි දාපු මිදුලෙ කට්ටිය ගොඩක් රවුමට වාඩිවෙලා බෙල්ලො දානවා... චූටි මාම, ලොකු මාමා, ලොකු පුංචි, තව එහා ගෙදර බාප්පල... ඔක්කොම මෙතන.. අපි දෙන්නත් ඔය අස්සෙ පොඩි ඉඩකින් රිංගලා වාඩි වෙනව.. අපිට ඇහෙනව අමුතුම වචන..
 "අත කාටද ? "
"පොඩි දුව දාන්න, දිනුම් ඔත්තෙයක් ද? කෝ තැන්තුව? ඒක අදින්න එපා ... "
"හරි රුපියලක් ඔට්‍ටුයි, වැටෙන්නෙ ඉරට්ටයක් .. "
"ඔට්‍ටුයි ඔත්තෙයක්.. "

එතන එක ගාලගෝට්ටියක් වගේ...  ඔය අතරෙ අපිටත් බෙල්ලො කුට්ටම අල්ලන්න චාන්ස් එක එනවා...

"ඔන්න මගෙ අත දාන්නෙ චුට්ටි, "
 ඒ චූටි මාමා, මාත් ඉතින් දන්න සෙල්ලම් දාල පංච කුට්ටම හොලවල දානවා...
"දිනුම් ඔත්තෙයක් ම වැටියන්.. "
චූටි මාමා ඒ අතරෙ මුමුණනවා.. වැරදිල හරි එයා දින්නොත් මට තවත් එයාට වාසනාව ගේන්න එතන ඉන්න වෙනව.. නැත්නම් කොහොමත් අපිව එලවනව..

අපි දුවගෙන එනවා. පහල ගෙදරට. එහේ ඉන්නෙ අපෙ අත්තම්මගෙ අය්ය. ඒ සීයාගෙ මිණිබිරීලා මුණුබුරාල අමුතුම තාලෙ ඔන්චිල්ලාවක් හදලා.. බෙල්ලො පොළේ වැඩිහිටියො නිසා කිසිම කරදරයක් නෑ හිතේ හැටියට ඔන්චිල්ලාව පදින්න පුලුවන්. පුදුම ඔන්චිල්ලාවක් තමයි . තනි ලණුවෙ ඔන්චිල්ලාවක්. පොඩි කන්දක් වගේ තියෙන වත්තේ උඩම ගහක හොදට ළනුවක් බැදල ලනුවෙ කෙළවරට ලෑලි කෑල්ලක් ගැට ගහල.. අමුතුයිම නේන්නම්..

ඔන්චිල්ලාව පදින්න පෝලිමෙ ඉන්න ඕනෙ.. මම පොඩි නිසා ඉස්සරහට යන්න චාන්ස් එක එනව.. ලෑලි කෑල්ල උඩ වාඩි වෙලා කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙනවා.. පිටිපස්සෙන් ඉන්න කට්ටිය තල්ලු දානවා,.. හම්මේ කන්ද පාමුල පැත්තට පැද්දීගෙන යනකොට හුස්මත් නතර වෙනව වගේ..




ටික වෙලාවකින් ටිකිරි අය්යට කල්පනාවක් එනව ටීම් එකම යන්න.. මම සුපුරුදු විදියට වාඩි වෙනව. මගෙ දෙපත්තෙන් අපෙ අක්කියි එහා ගෙදර අක්කයි වාඩිවෙනව. ඉඩ තියෙන තැන්වලින් අනිත් තුන් දෙනත් ලෑල්ලෙ එක කකුල ගානෙ තියාගෙන තනි ලණුවෙ එල්ලෙනවා. අඩි දෙක තුනයි යන්නෙ.. දඩෝන් ගාගෙන කඩාගෙන වැටෙනවා.. බෙල්ලො පොළේ හිටපු අයත් දුවගෙන එනවා සද්දෙ මොකක්ද කියල බලන්න.. ඔන්චිල්ලාව බදාගෙන හිටපු මම දුරටම ගිහින් ලණුවත් එක්ක රෝල් වෙලා යනකොට මගෙ පස්සෙන් අනිත් අයත් රෝල් වෙනව.. අවුලක් නෑ අපි හැමෝම නැගිටිනව.. දෙක තුනක් වදිනවා පුංචිලාගෙන් මාමලගෙන්..

 "ඕව සුපුරුදු දේවල්නෙ.. "
"ආයි හදමු, " ඒ ටිකිරි අයියා..

අපි දෙන්න අක්කියි මායි එනවා ගෙදර.. බස් එක එන සද්දෙ ඇහිල අපි දෙන්නට එක සැරේට මතක් වෙනව මද්දු පුංචිව.. කොලඹ ඉදල එන්නේ, අනිවාර්යයෙන්ම අපිට තෑගි ගේනවා.. ආයි දුවනවා පඩි පෙළ නැගල පාරට.. එනව නේන්නම්.. සුදුපාට කම්මුල් රතු වෙලා මහන්සියට..

මහන්සි අරින්න වෙලාවක් දෙන්නෙ නෑ අපි..
"මට මොනාද ගෙනාවෙ?"
අක්කියි මායි හොරෙන් හොරෙන් ගිහින් අහනවා..

ඔන්න පුංචි පොඩි කාමරේ ඇද උඩට වෙලා අර ගෙනාපු තෑගි එක එක අදිනවා.. කොහොමත් එක වගේ ලස්සන ගවුන් දෙකක් එලියට ගන්නවා.. එක වගේම උනත් අපි පුරුද්දට වගේ රංඩු වෙනවා. හිතෙන්නෙම මගෙ එකට වඩා අනිත් එක චුට්ටක් හරි ලස්සනයි වද්ද කියල... කොහොමෞනත් කොලඹ ෆැශන් ගවුන්නෙ.. අපි හිත හදා ගන්නවා..

අක්කි දුවගෙන ගිහින් කලින්ම හදාගෙන තිබුණු ලිස්ට් එකේ මද්දු පුංචි කියන නම ඉස්සරින් හරියක් දාගන්නව.. දැන් තව තෑගි එන්න තියෙන්නෙ එක පුංචි කෙනෙක්ගෙන් විතරයි.. මොකක් ලැබෙයිද දන්නෙ නැ.. එයත් එන්නෙ කොලඹ ඉදන්.. අපි හීන මවනව..

හැමදේම වෙලාවට කරන අත්තම්ම අපි කවුරුත් පෙර‍ටු කරගෙන පන්සල් යනවා.. ලොකු මාම යි චූටි මාමයි උණ වෙඩි දානවා..

ලිප පත්තු කරන නැකත එනකොට වෙලාව හරියට බලන්න ටී වී එක ළගකීපදෙනෙක් ඉන්නවා.. අත්තම්ම කොහොමත් විනාඩි ගානකට කලින් ඉදන්ම ලිප ලග හිටගෙන බුදුන් වැදගෙන ලෑස්තිවෙනව.. . පුංචි දර කීරි ටිකක් ලොකු දර කීරි ටිකක් තමන්ගෙ වෙලාව එනකන් අත්තම්ම එක්ක ලිප ළග ඉන්නවා.  කිරි මුට්ටිය කොහොමහරි උතුරවන්න බලාගෙන තවත් කට්ටිය එතන ඉන්නවා..

කවන නැකත එනකොට ලොකු පොඩි කවුරුත් පෝලිම් ගැහෙනවා.. ආයෙත් මං ඉස්සරහම.. මංනෙ පොඩිම.. ඉතින් හරිම නැකතට හැමදාම කැවෙන්නෙ මට.. කිරිබතට දාපු හකුරුද තලද තව තව ජාති එක්ක අත්තම්ම අපි කාටත් කට කට පෝලිමේ එන හැටියට කවනව, හරිම රහයි..

දැන් ගනු දෙනු කරන වෙලාව. අපි ආසම වෙලාව.. බුලත් කොලවල ඔතල පුංචි බාප්පල මාමල ඔය කවුරුත් කාටත් ගනු දෙනු කරනව.. රුපියල් දහයක් ලැබුණොත් ඒක අපිට ලොකු දෙයක්.. වැඩ අල්ලන නැකත් කියල අම්මි කියනවා පොතක් බලන්න කියල, අලුත් අවුරුද්දෙත් බැනුම් අහන්න බැරි නිසා පරණ පොතක බලියක් වගේ එකක් ඇදල අපි ශේප් වෙනව...

හිසතෙල් ගාන නැකත එනකොට අපි හැමෝම පංසලට යනවා.. ලොකු හාමුදුරුවො තමයි ඒ වැඩේ කරන්නෙ..

ඉතින් පුංචිල ආයි යන්න ලෑස්ති වෙනවා, නිවාඩු ඉවරලු ... හිතට දුක හිතෙනවා... අවුරුදු දවස් ටික අල්ලගෙන තියාගන්න පුලුවන්නම් යන්න නොදී .....

පොඩි පහේ තේරවිල්ලක්.... 2

කලින් තේරවිල්ලට ලැබුණු ප්‍රතිචාරත් එක්ක තවත් පරණ තේරවිල්ලක් දාන්න හිතුවා.. ගොඩක් අය දන්නවාද කියන්නනම් දන්නෙ නෑ, නමුත් බලමු නොදන්න අයත් ඇතිනෙ...

ඔන්න බස් එකක් තිබුණලු. හොදටම පිරිල... අමාරුවෙන් මිනිස්සු ටිකත් අරගෙන බස් හෝල්ට් එක ළගට බස් එක ආවාලු, ඒත් බස් එකට නගින්න හිටපු සෙනග දැකපු කොන්දොස්තරට තරු විසි වුණාලු. කොහොමටවත් ඉඩක් නැති බස් එකට තවත් කට්ටිය නග්ගගන්නෙ කොහොමද කියලා කල්පනා කරපු කොන්දොස්තර බහින්න ඉන්නවානම් ඒ මිනිස්සුන්ට බහින්න කියලාත් නගින්න ඉන්න මිනිස්සුන්ව ප්‍රතික්ශේප කිරීමත් එකම එක වචනයක් පාවිච්චි කරලා ප්‍රකාශ කලාලු... මොකක්ද ඒ වචනෙ ??

කොන්දොස්තර එක වචනයක් පමනක් පාවිචිචි කළේ ඇයිදැයි මම ද නොදන්නා බවත් ඒ පිළිබද වැඩිදුර කල්පනා කිරීම ඵල රහිත බවත් කියා සිටිමි.

Thursday, April 5, 2012

නූරි --- 14

තමාව ගමේ මහගෙදර තනි කොට මල්ලි සමගින් අම්මාත් අප්පච්චීත් නැවත නුවර යාමට පිටත් වූ පසු නූරි ඔහේ ඇද මත හාන්සී වූවාය.

"මයෙ පුතේ, මං වත්තෙන් පොළොස් ගැටයක් කඩං එන්නම්, ඔයා ඩිංගක් ඇලවෙලා ඉන්ට.. දැන් නැන්දත් එයි .. "
අත්තම්මා කුස්සියේ සිටිමින්ම කිව්වාය.

හිටි හැටියේ විදුලියක් කෙ‍ටුවා මෙන් නූරිගෙ සිතට යමක් ඇතුල් විණි. ඈ වහා ඇදෙන් පැන බෑගයට අත දමා ගැහෙන දෑතින් තරින්ද ගුරුතුමන් ගේ ලියුම විවෘත කළාය.



////// 
දයාබර සෙනෙහෙබර දියණියේ,

මං ගුරුවරයෙක්, ඔයා වගේම ලෝකෙ හරියට අදුනා ගත්තෙ නැති, අතපත ගාල ලෝකෙ තේරුම් ගන්න උත්සාහ කරන, ඒ මගින් තේරුම් ගන්නා රාමුවකම ලෝකෙ ඇතියි කියා සිතන බොළද අහිංසක දරුවන්ට සැබෑ ලෝකය මෙයයි යන්න වටහා දෙන්න උත්සාහ කරන ගුරුවරයෙක්..  සැබැවින්ම ඔබත් මා දු‍ටු ආකාරයට ඉතා බොලද අහිංසක ඉගෙනීමට දක්ශ දැරියක්. අනෙක්  දරුවනුත් ඔබත් අතර මා විශේශ වෙනසක් දකින්නේ නැහැ, ඒබොලද බවත් අත්දැකීම් අඩු බවත් නිසාවෙන්ම අද ඔබට ඔබත් මාත් කිසිවෙකුත් නොසිතූ ආකාරයේ සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවී ඇතැයි යන්න මගේ හැගීම වනවා.  ///

නූරි ඇද මත පෙරළී සිටිනවා වෙනුවට කොට්ටයක් ඇද විට්ටමට තබා ඒ මතට හේත්තු වූවාය.

/// .. ඔබත් මාත් අතර වයසින් විශාල පරතරයක් නැතත්, අඩු වශයෙන් එය වසර හතක් වත් වනු ඇතැයි මා සිතනවා. මීට වසර හතකට පෙරාතුව මගේ චර්යාරටාව මට තවමත් හොදින්, ඉතාමත් හොදින් මතක ඇති බැවින් ඔබේ ක්‍රියාකාරකම් දඩබ්බර ලෙසට දැකීමට සිත් දෙන්නේ නැහැ. දරුවන් එසේයි, ඔවුන්ගේ ක්‍රියාකාරකම් කිසිම ගුරුවරයෙක් සදාකාලිකව මතක තබා ගන්නේ නැහැ. ඉතින් මට කියන්නට උවමනා දේ කෙටියන් පවසන්නම්, නැවත පාසැලට එන්න.. ඔබේ යුතුකම ජීවිතෙන් හැංගී ගොස් මුල්ලකට වී හැඩීම නොවෙයි. දහඩිය වගුරමින් උදේ සිට හවස් වනතුරු රාජකාරි කොට ගෙදර ආ පියාට මූණ එල්ලගෙන සිටින එකම දියණිය දැකීමට සැලැස්වීම ඒ තරම් හොද දෙයක් නොවේ යයි මා සිතනවා. කවුරු අතිනුත් වැරදි වෙනවා. වඩා වැදගත් වන්නේ නැවත ඒ වැ‍රැද්ද නොකිරීමයි.

මා මේ ලියූවේ ගුරුවරයෙකු ලෙසින් මගේ සිතේ ඔබට කියන්නට යැයි බලකල සිතුවිලි ටික පමණයි. මගේ වයසේ පසුවන සාමන්ය තරුණයෙක් මෙන්ම මගේ සිරුර තුළ පාසලට පිටදී පමණක්ම සිටින දගකාර තරුණයාගේ සිතුවිලි ස්වල්පකුත් මේ සමගින්ම අමුණමි.


නූරි, දැන් හැමදේම හරි කියල හිතන්න, ඔයා ඉස්කෝලෙ එන්න, අම්ම අප්පච්චිගෙ බලාපොරොත්තු වලට පයින් ගහල ඉන්න බෑ ඔයාට. ඔයා මට ආදරේ කළාද කියන එක මම ඒ තරම් දුරට හිතන්නෙ නෑ, නමුත් එදා ඔයා ඉස්කෝලෙ ඉන්න දවස්වල මා නොදැන සිටි දෙයක් මං දැන් දන්නවා. ඒ මටත් හොරෙන් මං ඔයාට ආදරේ කරන්න පටංගෙන කිය එකයි. නූරිට මේ දේවල් හිත පාරයිද කියන්න මං දන්නේ නෑ, නමුත් මං බලාපොරොත්තු වෙනවා එදා ඔය හිතේ තිබුණු ආදරේ තාමත් නොවෙනස්ව ඇතැයි කියලා.

කොහොම උනත් ඒ සියල්ල වෙනුවෙන් මං තීරණයක් ගත්තා. අරමුණක් කරා යනවානම් කැපකිරීම්වල දිග පළල බලන්න හොද නෑ කියලයි මං හිතන්නෙ. ඉතිං මං ගමෙන්  පොඩ්ඩක් ඈතට වෙන්න තියෙන ....... ඉස්කෝලේට මාරු වීමක් හදා ගත්තා. ඒක ඔයාටත් මටත් හොදයි. විබාගෙට තියෙන්නෙ තව මාස කීපයක්නෙ, බය වෙන්න එපා, වෙච්චි පරක්කුව ගැන නොසිතා දැන්ම මේ දැන්ම ඉදැන් පාඩම් කරන්න පටන් ගන්න. ඔයා ඉස්කෝලෙ එන්න පටන් ගත්තම මට කියන්න, මං ගෙදරට හරි ඇවිල්ල පහුගිය පාඩම් ටික කවර් කරන්නම්... මගෙ ෆෝන් නම්බර් එකට පුලුවන් වෙලාවක කෝල් කරන්න.

වඩා වැදගත් වෙන්නේ විබාගය, දෙවනුවයි විවාහය. විබාගය ඉවර උනු ගමන් මං අප්පච්චිට කියන්නම්, ඔයා කිසිදෙයක් බරට ගන්න එපා.. ඒ අහිංසක දෙමාපියන්ට සතුට ගේන්න මහන්සි වෙන්න.. මං නවතිනවා....

තරින්ද ........
////

දැස් අගින් සෙමෙන් ගලන කදුලු වලට නූරි ඔහේ යන්නට ඉඩ හැරියාය. හිනා වෙන්නටද අඩන්නටද කියා තේරුම් ගන්නට ඈ අපොහොසත් වී සිටියා කිව්වොත් නිවැරදියි. ...

ලිපිය නවා සගවා ඈ කාමරයෙන් එලියට පැමිණ අත්තම්මා එනතුරු මග බලන්නට වූවාය. 

"අනේ පුතේ කොයි වෙලාවෙද ආවෙ, ?" සුදු නැන්දා පැමිණ සිටියාය.

"දවල් ආවෙ නැන්දෙ... " කෙටි පිළිතුරකින් සුදු නැන්දාටද සෑහිමකට පත් වන්නට විය.

සිතුවම් පටයක් දිග හැරෙන්නා සේ නූරි ගේ සිතට එක් එක් සිද්දි මැවී පෙනුනාය. අම්මා අප්පච්චි හා තාමත් ලදරු වියේ සිටින සහෝදරයා වෙනුවෙන් හදවත බර වන්නට විය.

"මං මෙච්චර දවසක් මොනාද කලේ.. . පව් මගෙ අප්පච්චී, අම්ම පව් දෙය්යනේ... මල්ලිට මං නැතුව පාලුත් ඇති ...  "

කුරුල්ලන් එකින් එකා කූඩුවලට යනවිට, හාත්පස අදුර ඇයව වෙලගන්නට තනද්දී ඇය සෙමෙන් හිද උන් තැනින් නැගිටින්නට උත්සාහ කලාය...

"නූරි, මොකද ලමයා අද පහන පත්තුකරන්නෙ නැද්ද?" , නැන්දනියගෙ ප්‍රශ්නයට පිලිතුරක් වත් නොදී ඇය තම කාමරයට වැදී සෙමෙන් ඇදට වැ‍ටුනාය....

තවත් මොහොතකින් ඇය සෙමෙන් නැගිට්ටාය. දුරකථනය වෙතට ගමන් කළාය.

"හෙලෝ... "
එහා පසින් ඇසුණු ළපටි කටහඩ නූරිගේ හදවතේ ගැඹුරුම තැනකින් පටන් ගත් රිදුම මුලු සිරුර හරහාම ගමන් කරන්නට විය.




"මල්ලි, කෝ අම්ම , ?"

"අක්කි, මේන් ආයෙත් කටක් හැදිල. .. අම්මි මෙන්නෝ අක්කි. ... "

"පුතේ... "

"අම්ම පරිස්සමින් ගියාද ? "

"ඔව් මගෙ පුතේ ඇයි , හදිස්සියක් වත්ද ?"

ජයසේන මහතාද විස්මය ‍රැදි දෑසින් බිරිදගේ මුව දෙස බලා සිටියේය.

"නැ අම්මෙ, මං එන්නම් "

"ඇ ඇයි පැටියො,, අත්තම්මවත් මොනා හරි කිව්වද ?"

"අනේ නැ අම්මෙ, විබාගෙට තව මාස කීයද අම්මෙ, ඉස්කෝලෙ යන්නත් එපැයි ... "

"හොදයි පුතේ,.. අපි එහෙනම් හෙට එන්නම් මේන් අප්පච්චි කතා කරනවා... "

"මයෙ පුතේ... ඇයි මේ.. "

නූරිට එකදු වචනයක්වත් පිට කර ගන්නට නොහැකි විය. මොහොතකින් ඉකිබිදුමක් බවට පෙරලුණු හැඩුම නිසා නූරි දුරකථනය තබා නැවත කාමරයට ගියාය.

"කමක් නෑ මං හෙට ගෙදර යනවා,, ආයි කවදාවත් මේ දේවල් ගැන නොසිතා අම්ම අප්පච්චි මල්ලි ගැන හිතල වැඩ කරල විබාගෙ පාස් වෙනව මං දන්නව මට බැරි නෑ, මට හරි මාර්ගෙ පෙන්නල දුන්නට සර්ටත් පිං... "

ඈ කාලාන්තරයකට පසුව කදුලු අතරින්ම හිනැහුණාය. 




*********************** නිමි ******************************

Thursday, March 22, 2012

නූරි --- 13

සිතේ ඇතිවන වේදනාව නූරිව විඩාවට පත් කළේය. සියල්ල සිදුවූයේ තමාගේ වරදින් යැයි ඈ කල්පනා කළාය. යෞවන වියේ ඇතිවන ක්ශණික හැගීමකට මුල්තැන දෙමින්, හෙට සිට තරින්දට මුහුණදීමේ අපහසුතාවය නැවත මතකයට නගා ගනිමින් ඈ දුව ගොස් අල්මාරිය මත තිබූ කුඩා බෝතලය සිය සුරතට තද කර ගත්තාය.

***********
"නූරි, ළමයො ඇයි කලුවරේ, ලයිට් ගියා වද්ද ? " අම්මා කඩයට ගොස් නැවත එන අතරදී අඩ අදුරේ ගිලී ඇති නිවස දැක, දියණිය පෙනෙන්නට නැතත් විමසුවාය.

පිළිතුරක් නොලද තැන ඈ හඩ නගා "නූරි  ඊ ..." යැයි පැවසුවාය.

"පුතේ බලන්න අක්කි කොහෙද කියල... "

"අම්මි, අක්කි කාමරේ වැටිල ... එන්න....."
කුඩා ඔනෙල්ගේ කෑගැසීමෙන්. මව කාමරයට දුව ගියාය. එය වැටීමක් නම් නොවන බව අවබෝධ කරගත් ඇගේ මව, බොහෝ සේ අවුල් වූ සිතින්, අහළ පහළ පිරිසකගේ උදව්වෙන් නූරිව රෝහලට ‍රැගෙන යන ලදි.

"අහවල් එකක් උනාද මගෙ දරුවට , දෙය්යනේ... "
රෝහලට යන අතරදීත් නූරිගේ මවගේ වේදනාබර වචන ඈ සමග උන් අන් පිරිසවද අඩවන්නට සමත් විය. සැමදෙනාගේම සිත්වල තිබුනේ කුතුහලයකි.

"ඇයි අක්කෙ, දරුවට මොකකටවත් සැර වැර වත් කෙරුවද මේ දවස්වල ?"
පිරිස අතර සිටි කාන්තාවක් විමසුවාය..

"අනේ,, මයෙ කෙල්ලට අපි කවද්ද දෙය්යනේ නිය පිටින් පාරක් වත් ගැහුවෙ.. "
රෝහලට ඇතුලත් කල විගස ජයසේන මහතාද රෝහලට පැමිණියේය. වහ වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හදිසි ප්‍රතිකාර අංශය වෙත නූරි ව යොමු කළහ.





නූරි සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි. රෝහල් බංකුව මත ජයසේන මහතාද, ඔහුගේ සිරුරට හේත්තු වී කදුලු වගුරමින් සිටිනා බිරිදද දු‍ටු වෛද්යවරයා ඔවුන්ව පසෙකට කැදවා ප්‍රශ්න කරන්නට විය.

"බයවෙන්න දෙයක් නැ, ළමය බය කරන්න වෙන්නැති මෙහෙම දෙයක් කරන්න ඇත්තෙ... ඒත් මට මේකට හේතුව නම් දැනගන්න ඕනෙ.."

"ඩොක්ටර් මේ ඇත්තමයි, අපිට කිසිම දෙයක් හිතාගන්න බෑ.. අපෙ දරුවට එහෙම දෙයක් කරගන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ අපි දන්න විදියට.. "

"ඒක හරි පුදුමයක්නෙ.. මොකද අපි ළගට ඔහොම ළමයි ගොඩක් එනව, මං කියන්නෙ මේ වයස හොද නෑනෙ, එක එක දේවල්වලට පැටලිල ජීවිතෙ නැති කරගන්න උත්සහ කරන ලමයි සෑහෙන්න ඉන්නව... ඔය මොකක් හරි පොඩි හේතුවක් ඇති මේ වයසට... "

"අනේ මන්ද ඩොක්ටර්, අපි දැනුවත්ව නම් කිසි හේතුවක් නෑ, කෝකටත් මං දූගෙ ඉස්කෝලෙ යාලුවෙක්ගෙන් වත් ආරංචි කරල බලන්න්නම්කො.. "

නූරිගෙ පියා මේ පිළිබදව තරින්ද ගුරුන්ගෙන් විමසීමට සිතා ගත්තේය.

"දන්න අදුනන තරුණ සර් කෙනෙක් ඉන්නව ඩොක්ටර්, මං ඒ සර්ගෙන්වත් අහල බලන්නම්.. දරුවට මෙහෙම දෙයක් කරගන්න ඕනෙනම් ඒක කරගන්න ඕනතරම් හේතු තිබ්බ පහුගිය කාලෙනම් අපි පවුලම වැටිල හිටිය  නිසා.. "

පියා තවදුරටත් වෛද්යවරයාට ගෙවුණු කළ සිදුවූ සිදුවීම්ද සැකෙවින් විස්තර කළේය.

******************************

නූරි වස බී රෝහලේ යන පුවත විදුලි වේගයෙන් පාසැලේ ළමුන් අතර පැතිරෙන්නට විය. හේතුව සැම කෙනෙකුටම කුතුහලයක් බැවින්, හේතු නිර්මාණය කරන්නට ද බොහෝ අය පටං ගෙන තිබිණි.

තරින්ද විජේරත්න ගුරුන්ටනම් මෙය ප්‍රහේළිකාවක් නොවීය. නූරි දක්ශ දැරියක් හා යමක් කියූ විට අවබෝධ කර ගැනීමේ සමතියක් යැයි  සිතූ බැවින්ම මිසක ඔහු දුරකථනයෙන් ඈට කථා නොකරන්නට ඉඩ තිබිණි. ගුරු කාමරයෙ හිස් පු‍ටුවකට බරදී ඔහු අරමුණක් නොමැතිව හිස් බැල්මෙන් ඈත බලා සිටියේය.

"මගෙත් වැ‍රැද්ද, ඒ ළමයට ප්‍රශ්න මදිවට මේ වෙලාවෙ ඕක කිව්වෙ... "
සිතුවිලි සිතට එන්න පටන්ගත්විට ඔහුගේ සිත ඔහුට දොස් පවරන්නට විය. ඊයේ දිනදී නූරිගේ පියාද ඔහු හමු වී මේ පිළිබද දන්නා තොරතුරක් ඇතිදැයි විමසූ අවස්ථාවේදී ඔහු බොහෝ සේ අපහසුතාවයට පත්වුණු අයුරු සිහියට නැගිණි.

"පුතා, අපෙ ළමයගෙ මොනාහරි පටලැවිල්ලක් එහෙම තිබ්බ කියල ආරංචියක් වත් නැද්ද ?"

"අනේ , නෑ අන්කල්, මේ ළමයගෙ එහෙම කිසි හේතුවක් තිබ්බෙ නෑ, අපි ළමයි එක්කමනෙ ඉන්නෙ ... "

"දරුවගේ ජීවිතේටනම් අනතුරක් නෑ කියපු හින්ද හිතට බයක් නෑ.. ඒත් අපි හොයල බලන්න එපැයි දරුවො, කාගෙන්වත් බලපෑමකට බයේවත් ළමය මෙහෙම කරගන්න ගියාද කියල.. "

"ඔව්, ඒක නම් ඇත්ත තමයි.. අන්කල් බය වෙන්න එපා, ඉස්කෝලෙන් මම විස්තර හොයල බලන්නම්කො ... "

*******************

තෙසතියකට පසුව නූරි සුවය ලබා නිවෙසට ආවාය. පෙරදී කෙළිදෙලෙන් පසුවූ සිසුවිය වෙනුවට, බොහෝ සෙයින් නිහඩ දැරියක් වූ නූරි වැඩි කාලයක් තම කාමරයටම වී කාලය ගත කළාය. පාසැලට යාම බොහෝ සේ ප්‍රතික්ශේප කරන්නට වූවාය. සතියකට වතාවක් මිතිලා අවුත් දුක් සැප බලා යාම සිදු විය.

"මගෙ රත්තරන් පුතේ, ඔයා ඔහොම හැසිරුණොත් අපි කාටත් හිතට වේදනයි නේද ! අපිව දාල නුවරට එන්න පුලුවන්කම අප්පච්චිට තියෙද්දිත්නෙ අප්පච්චි අපි ඔක්කොම අරගෙන නුවර ආවෙ .. ඒ අපි හැමෝම සතුටින් එකට ඉන්න ඕනෙ හින්දනෙ දරුවො.. ඔයා ඔහොම කථා නොකර පැත්තකට වෙලා හිටියොත් අපෙ සතුට කෝ පුතේ.. ඇයි මගෙ පුතාට ඉස්කෝලෙ යන්න බැරි .. ? මොකක්ද ප්‍රශ්නෙ ...  "

නූරි කට පියාගෙන කාමරයට ගියාය. සිය හැගීම් වෙනුවෙන් පොර බැද, ඒ අසාර්ථක වූ කල්හි, ඈ පලිගන්නේ ඇගේ අහිංසක දෙමාපියන්ගෙන් බව බොහෝ තරුණ දුවනියන්ට මෙන්ම ඈටද අමතක වී තිබිණි.

තරින්ද ගුරුන්ගේද සිත බොහෝ ව්යාකූල වී තිබිණි. මේ සියල්ල සිදුවූයේ ඔහුගේ වරදින්ය යන හැගීමෙන් මිදෙන්නට ඔහුට නොහැකි වී තිබිණි. පන්තිය අතරතුරදී නූරිගේ දෑස් සොයා ඒ අකීකරු දෑස් සරන්නට පටන්ගෙන තිබිණි. නූරි සිටින දිනවල ඇගේ වගක්වත් සිතට නොදැනුන නමුත් ඈ නොසිටින මේ දිනවල ඈම සිහිවන්නේ ඇයිදැයි සිතට වදදෙන ප්‍රශ්නයක්ම විය. ඒ රවුන් මුහුණ නැතිව ඔහුටද පාලු දැන්නෙන්ට පටන් ගෙන තිබිණි. "මේ කෙල්ල මට වශියක් වත් කළාවද්ද" සමහර අවස්ථාවලදී ඔහු එහෙමද සිතුවේය.

නිතර හිනාවෙන් තිබූ නිවෙස කෙටි කලකින්ම අදුරු ගුප්ත ස්වරූපයක් ගන්නා ලදි. කළ හැකි දෙයක් නොවූයෙන් නූරිව තාවකාලිකව ගමේ මහගෙදර නැවැත්වීමට ඇගේ දෙමාපියන් විසින් තීරණය කරන ලදි.
වෛද්ය වරුන් පවසන ආකාරයට ඇයට රෝගයක් නොමැති බැවින්, ඇයට අවශ්ය දිනෙක නිහඩ බව බිදිනු ඇතැයි ජයසේන මහතාට වෛද්යවරුන් කියා තිබිණි.

"ඔන්නොහෙ එයාට තව ටිකක් කල් දෙමු.. ඊට පස්සෙ බලමු. .. අපි කෝකටත් දරුවව, ගමේ එක්කරන් යං.. අක්ක එක්ක ඉන්නකොට ඔය කට ඇරිල එයි .. "

මිතිලා පැමිණ මිතුරියට කතා කොට, සුපුරුදු ලෙසම පිළිතුරක් නොලැබුවාය. ඒත් අද ඈ වෙනදා මෙන් ඉක්මණින් නොගියාය. බලෙන්ම මෙන් ‍රැදී සිට, නූරිගේ මව නොමැති අවස්ථාවකදී හතරට පහට නැමූ කොලයක්, නූරිගෙ සුරතේ ගුලි කළාය.

"මොකක්ද ?" දුබල කටහඩින් නූරි විමසුවාය.

"සර් දුන්නෙ, ලියුමක් වෙන්නැති"

"මට, ඇයි ?"

"මං දන්නෙ නෑ, ඔයා පස්සෙ බලන්න.. " පහත් ස්වරයෙන් මිමිණූ මිතිලා යන්නට ගියාය.

නූරි ගැහෙන දෑතින් ලියුම අතට ගත්තාය.

"එක්කො හෙට ගමේ ගියාම බලනවා" ඈ එය පරෙස්සමින් ඇදුම් බෑගයේ යටටම දැම්මාය.





Wednesday, March 21, 2012

කෝ කොහිද කවුරුන්ද මේ වෙනස ඇති කළේ !

අහස සිඹින නෙක බිල්ඩිම් මැද්දේ
දවස ගෙවන නෙක තත්පර මැද්දේ
හවස දිනක් ගේ තුළ දී සද්දේ
දෙබස මතක් විය කවියෙන් විද්දේ ........

හවහට හෙමිහිට පුතු ගෙන උකුලට
හැඩේට ළංකොට පොඩි පුතු සිරුරට
කාලෙට වුණු දේ විය පවසන්නට
අපහට වුණි එය අහගෙන ඉන්නට ......

දසක අටක් වයසයි අත්තම්මා
දසක පහක් වෙයි මගෙ සුදු අම්මා
දසක තුනක් වත් මට නැත නිම්මා
දෙබස පටන් ගති අපි තුන් අම්මා .....

අත්තම්මා :
කන්ද උඩින් ඉර එබෙන්න පළමුව
නින්ද මතින් අපි නැගිටල විදි සුව
මන්ද උඹල මේ කරනා විහිලුව
ඉර දු‍ටු විට හිස පොරවයි තව තව !

නදේ සියොත් මැද ළිදට දිව්ව අපි
වදේ නොකිය ලිං දියත් ඇද්ද අපි
පදේ මොටද මගෙ අනේ අහෝ තොපි
බාත් රූම් මිස ළිදට යයිද තොපි !

අම්මා :
පාසැලට ගුරු පාර දිගේ ඇවිදන් එදා
සීරුවට අඩි තබා ගියෙමු ඒ අපි එදා
පූරුවට කල පවක්දෝ සිතේ මට මෙදා
උඹලාට අඩි දෙකට වාහනය හුරු මෙදා !

අත්තම්මා :
සිල් ගන්න පෝ දාට නැතේ අදිමදි කළේ
මල් පුදා බුදුන් හා දෙගුරුන්ට පෙම් කළේ
ගල් ලෑලි ගල් කූරු පමණකිය රජ කළේ
පොල් මල්ල වැනි බරක් පොඩි පිටේ අද කළේ !

අම්මා :
හූණු බිජු රසකැවිලි රස බැලුව අපි එදා
සත දෙකේ සියඹලා ගුලි ගිලපු ඒ එදා
පීසා ද මැකරෝනි විශ ගිලින මේ මෙදා
බලයෙන්ම ලෙඩ බදාගෙන විදිති දුක් සදා ......

නැතත් කිසි කෙනෙක් ගං දියට පැන නැටූ අපි
පාර දෙක වදින විට අඩ අඩා දුවපු අපි
පූල් එක මිස පැටව් දානවද ගගට අපි
අහෝ ඇයි නැති කළේ සොදුරු බව උන්ට අපි !

අත්තම්මා:
රාස්සිගෙ අව් ‍රැල්ල මිදුල සිප ගන්නවිට
ගම පුරා කුප්පිවල එලිය විහිදෙනා විට
හැම දෙනා ගෙට අවුත් එකතු වෙයි පිල උඩට
ඩොලැක්කය ගහන විට අපි ගයමු හරි හැඩට .....

ඩොලැක්කේ ගියත් විසිවෙමින් කුණු බක්කියට
ගිටාරේ ගේනවලු සුවය අද පැටි උන්ට
අපි එකල ටීටරේ නාට්ටිය බැලුවාට
දැන් උන්ට නාට්ටිය ගේනවලු සාලයට !

අම්මා :
පාසලේ සිට සෙමෙන් ඇවිද ආ යාලුවෝ
දෙපා පොඩි ඇලට දා කොටනතුරු මාලුවෝ
වේලි වල තිබුණු ඒ බිගු කැදලි හෑරුවෝ
අහෝ නැත දැන් උන්ට ඒ සොදුරු කාලයෝ !

අත්තම්මා:
කාලයේ ඇවෑමය අමුතු දේ සිදු කළේ
බාලයේ සොදුරු  බව ඇයි උන්ට නැති කළේ
තාලයේ හැටි ගමන නැතේ සුබ මේ කලේ
කෝ කොහිද කවුරුන්ද මේ වෙනස ඇති කළේ !