Monday, April 9, 2012

අතීතයට ගියෙමි ...

"පොඩ්ඩක් ඉන්නව ළමය, දැන් අතත් පුච්ච ගන්නව !"

අත්තම්ම කියනව, ඒත් අපි සැලෙයි ඔව්වට. කොහොමහරි අත්තම්ම ලිපට එහා පැත්තෙන් තියාගෙන විටින් විටේ ඒකට දාන කැවුම් ටික දිහා බලාගෙන ඉන්න එක තමයි අපේ වැඩේ..  වැඩිය උසත් නැති නිසා අක්කි ගෙනාවා පොඩි ස්ටූල් එක.. දැන් ඒකට නගිනව අපි දෙන්නම. හරි දැන් අපූරුවට පේනවා. දෙන්නම දගල දගල ඕක දිහා බලා ඉන්නකොට අත්තම්ම සැර කරනව..

"ඕක උඩ නටල දැන් වැටෙයි ළමයි.. !" ඒත් මොනා කිව්වත් කැවුම් නම් ලැබෙනවා..
බැන බැන් හරි අත්තම්ම අහනව
 "රසද ?"

"ම්ම් තේරුන් නෑ තව එකක්... "




කිව්වා වගේම තමයි .. ටික වෙලාකින් ලිපට යටින් අත්තම්ම සීරුවට ගොඩ ගහලා තියෙන දර ගොඩෙන් දර කීරක් ඇනිලා අපි දෙන්න දගලනකොට කොහොමත් වැටෙනවා... හරි දැන් අක්කි දුවනව ඉස්සරහ මිදුලට.
වැලි දාපු මිදුලෙ කට්ටිය ගොඩක් රවුමට වාඩිවෙලා බෙල්ලො දානවා... චූටි මාම, ලොකු මාමා, ලොකු පුංචි, තව එහා ගෙදර බාප්පල... ඔක්කොම මෙතන.. අපි දෙන්නත් ඔය අස්සෙ පොඩි ඉඩකින් රිංගලා වාඩි වෙනව.. අපිට ඇහෙනව අමුතුම වචන..
 "අත කාටද ? "
"පොඩි දුව දාන්න, දිනුම් ඔත්තෙයක් ද? කෝ තැන්තුව? ඒක අදින්න එපා ... "
"හරි රුපියලක් ඔට්‍ටුයි, වැටෙන්නෙ ඉරට්ටයක් .. "
"ඔට්‍ටුයි ඔත්තෙයක්.. "

එතන එක ගාලගෝට්ටියක් වගේ...  ඔය අතරෙ අපිටත් බෙල්ලො කුට්ටම අල්ලන්න චාන්ස් එක එනවා...

"ඔන්න මගෙ අත දාන්නෙ චුට්ටි, "
 ඒ චූටි මාමා, මාත් ඉතින් දන්න සෙල්ලම් දාල පංච කුට්ටම හොලවල දානවා...
"දිනුම් ඔත්තෙයක් ම වැටියන්.. "
චූටි මාමා ඒ අතරෙ මුමුණනවා.. වැරදිල හරි එයා දින්නොත් මට තවත් එයාට වාසනාව ගේන්න එතන ඉන්න වෙනව.. නැත්නම් කොහොමත් අපිව එලවනව..

අපි දුවගෙන එනවා. පහල ගෙදරට. එහේ ඉන්නෙ අපෙ අත්තම්මගෙ අය්ය. ඒ සීයාගෙ මිණිබිරීලා මුණුබුරාල අමුතුම තාලෙ ඔන්චිල්ලාවක් හදලා.. බෙල්ලො පොළේ වැඩිහිටියො නිසා කිසිම කරදරයක් නෑ හිතේ හැටියට ඔන්චිල්ලාව පදින්න පුලුවන්. පුදුම ඔන්චිල්ලාවක් තමයි . තනි ලණුවෙ ඔන්චිල්ලාවක්. පොඩි කන්දක් වගේ තියෙන වත්තේ උඩම ගහක හොදට ළනුවක් බැදල ලනුවෙ කෙළවරට ලෑලි කෑල්ලක් ගැට ගහල.. අමුතුයිම නේන්නම්..

ඔන්චිල්ලාව පදින්න පෝලිමෙ ඉන්න ඕනෙ.. මම පොඩි නිසා ඉස්සරහට යන්න චාන්ස් එක එනව.. ලෑලි කෑල්ල උඩ වාඩි වෙලා කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙනවා.. පිටිපස්සෙන් ඉන්න කට්ටිය තල්ලු දානවා,.. හම්මේ කන්ද පාමුල පැත්තට පැද්දීගෙන යනකොට හුස්මත් නතර වෙනව වගේ..




ටික වෙලාවකින් ටිකිරි අය්යට කල්පනාවක් එනව ටීම් එකම යන්න.. මම සුපුරුදු විදියට වාඩි වෙනව. මගෙ දෙපත්තෙන් අපෙ අක්කියි එහා ගෙදර අක්කයි වාඩිවෙනව. ඉඩ තියෙන තැන්වලින් අනිත් තුන් දෙනත් ලෑල්ලෙ එක කකුල ගානෙ තියාගෙන තනි ලණුවෙ එල්ලෙනවා. අඩි දෙක තුනයි යන්නෙ.. දඩෝන් ගාගෙන කඩාගෙන වැටෙනවා.. බෙල්ලො පොළේ හිටපු අයත් දුවගෙන එනවා සද්දෙ මොකක්ද කියල බලන්න.. ඔන්චිල්ලාව බදාගෙන හිටපු මම දුරටම ගිහින් ලණුවත් එක්ක රෝල් වෙලා යනකොට මගෙ පස්සෙන් අනිත් අයත් රෝල් වෙනව.. අවුලක් නෑ අපි හැමෝම නැගිටිනව.. දෙක තුනක් වදිනවා පුංචිලාගෙන් මාමලගෙන්..

 "ඕව සුපුරුදු දේවල්නෙ.. "
"ආයි හදමු, " ඒ ටිකිරි අයියා..

අපි දෙන්න අක්කියි මායි එනවා ගෙදර.. බස් එක එන සද්දෙ ඇහිල අපි දෙන්නට එක සැරේට මතක් වෙනව මද්දු පුංචිව.. කොලඹ ඉදල එන්නේ, අනිවාර්යයෙන්ම අපිට තෑගි ගේනවා.. ආයි දුවනවා පඩි පෙළ නැගල පාරට.. එනව නේන්නම්.. සුදුපාට කම්මුල් රතු වෙලා මහන්සියට..

මහන්සි අරින්න වෙලාවක් දෙන්නෙ නෑ අපි..
"මට මොනාද ගෙනාවෙ?"
අක්කියි මායි හොරෙන් හොරෙන් ගිහින් අහනවා..

ඔන්න පුංචි පොඩි කාමරේ ඇද උඩට වෙලා අර ගෙනාපු තෑගි එක එක අදිනවා.. කොහොමත් එක වගේ ලස්සන ගවුන් දෙකක් එලියට ගන්නවා.. එක වගේම උනත් අපි පුරුද්දට වගේ රංඩු වෙනවා. හිතෙන්නෙම මගෙ එකට වඩා අනිත් එක චුට්ටක් හරි ලස්සනයි වද්ද කියල... කොහොමෞනත් කොලඹ ෆැශන් ගවුන්නෙ.. අපි හිත හදා ගන්නවා..

අක්කි දුවගෙන ගිහින් කලින්ම හදාගෙන තිබුණු ලිස්ට් එකේ මද්දු පුංචි කියන නම ඉස්සරින් හරියක් දාගන්නව.. දැන් තව තෑගි එන්න තියෙන්නෙ එක පුංචි කෙනෙක්ගෙන් විතරයි.. මොකක් ලැබෙයිද දන්නෙ නැ.. එයත් එන්නෙ කොලඹ ඉදන්.. අපි හීන මවනව..

හැමදේම වෙලාවට කරන අත්තම්ම අපි කවුරුත් පෙර‍ටු කරගෙන පන්සල් යනවා.. ලොකු මාම යි චූටි මාමයි උණ වෙඩි දානවා..

ලිප පත්තු කරන නැකත එනකොට වෙලාව හරියට බලන්න ටී වී එක ළගකීපදෙනෙක් ඉන්නවා.. අත්තම්ම කොහොමත් විනාඩි ගානකට කලින් ඉදන්ම ලිප ලග හිටගෙන බුදුන් වැදගෙන ලෑස්තිවෙනව.. . පුංචි දර කීරි ටිකක් ලොකු දර කීරි ටිකක් තමන්ගෙ වෙලාව එනකන් අත්තම්ම එක්ක ලිප ළග ඉන්නවා.  කිරි මුට්ටිය කොහොමහරි උතුරවන්න බලාගෙන තවත් කට්ටිය එතන ඉන්නවා..

කවන නැකත එනකොට ලොකු පොඩි කවුරුත් පෝලිම් ගැහෙනවා.. ආයෙත් මං ඉස්සරහම.. මංනෙ පොඩිම.. ඉතින් හරිම නැකතට හැමදාම කැවෙන්නෙ මට.. කිරිබතට දාපු හකුරුද තලද තව තව ජාති එක්ක අත්තම්ම අපි කාටත් කට කට පෝලිමේ එන හැටියට කවනව, හරිම රහයි..

දැන් ගනු දෙනු කරන වෙලාව. අපි ආසම වෙලාව.. බුලත් කොලවල ඔතල පුංචි බාප්පල මාමල ඔය කවුරුත් කාටත් ගනු දෙනු කරනව.. රුපියල් දහයක් ලැබුණොත් ඒක අපිට ලොකු දෙයක්.. වැඩ අල්ලන නැකත් කියල අම්මි කියනවා පොතක් බලන්න කියල, අලුත් අවුරුද්දෙත් බැනුම් අහන්න බැරි නිසා පරණ පොතක බලියක් වගේ එකක් ඇදල අපි ශේප් වෙනව...

හිසතෙල් ගාන නැකත එනකොට අපි හැමෝම පංසලට යනවා.. ලොකු හාමුදුරුවො තමයි ඒ වැඩේ කරන්නෙ..

ඉතින් පුංචිල ආයි යන්න ලෑස්ති වෙනවා, නිවාඩු ඉවරලු ... හිතට දුක හිතෙනවා... අවුරුදු දවස් ටික අල්ලගෙන තියාගන්න පුලුවන්නම් යන්න නොදී .....

පොඩි පහේ තේරවිල්ලක්.... 2

කලින් තේරවිල්ලට ලැබුණු ප්‍රතිචාරත් එක්ක තවත් පරණ තේරවිල්ලක් දාන්න හිතුවා.. ගොඩක් අය දන්නවාද කියන්නනම් දන්නෙ නෑ, නමුත් බලමු නොදන්න අයත් ඇතිනෙ...

ඔන්න බස් එකක් තිබුණලු. හොදටම පිරිල... අමාරුවෙන් මිනිස්සු ටිකත් අරගෙන බස් හෝල්ට් එක ළගට බස් එක ආවාලු, ඒත් බස් එකට නගින්න හිටපු සෙනග දැකපු කොන්දොස්තරට තරු විසි වුණාලු. කොහොමටවත් ඉඩක් නැති බස් එකට තවත් කට්ටිය නග්ගගන්නෙ කොහොමද කියලා කල්පනා කරපු කොන්දොස්තර බහින්න ඉන්නවානම් ඒ මිනිස්සුන්ට බහින්න කියලාත් නගින්න ඉන්න මිනිස්සුන්ව ප්‍රතික්ශේප කිරීමත් එකම එක වචනයක් පාවිච්චි කරලා ප්‍රකාශ කලාලු... මොකක්ද ඒ වචනෙ ??

කොන්දොස්තර එක වචනයක් පමනක් පාවිචිචි කළේ ඇයිදැයි මම ද නොදන්නා බවත් ඒ පිළිබද වැඩිදුර කල්පනා කිරීම ඵල රහිත බවත් කියා සිටිමි.

Thursday, April 5, 2012

නූරි --- 14

තමාව ගමේ මහගෙදර තනි කොට මල්ලි සමගින් අම්මාත් අප්පච්චීත් නැවත නුවර යාමට පිටත් වූ පසු නූරි ඔහේ ඇද මත හාන්සී වූවාය.

"මයෙ පුතේ, මං වත්තෙන් පොළොස් ගැටයක් කඩං එන්නම්, ඔයා ඩිංගක් ඇලවෙලා ඉන්ට.. දැන් නැන්දත් එයි .. "
අත්තම්මා කුස්සියේ සිටිමින්ම කිව්වාය.

හිටි හැටියේ විදුලියක් කෙ‍ටුවා මෙන් නූරිගෙ සිතට යමක් ඇතුල් විණි. ඈ වහා ඇදෙන් පැන බෑගයට අත දමා ගැහෙන දෑතින් තරින්ද ගුරුතුමන් ගේ ලියුම විවෘත කළාය.



////// 
දයාබර සෙනෙහෙබර දියණියේ,

මං ගුරුවරයෙක්, ඔයා වගේම ලෝකෙ හරියට අදුනා ගත්තෙ නැති, අතපත ගාල ලෝකෙ තේරුම් ගන්න උත්සාහ කරන, ඒ මගින් තේරුම් ගන්නා රාමුවකම ලෝකෙ ඇතියි කියා සිතන බොළද අහිංසක දරුවන්ට සැබෑ ලෝකය මෙයයි යන්න වටහා දෙන්න උත්සාහ කරන ගුරුවරයෙක්..  සැබැවින්ම ඔබත් මා දු‍ටු ආකාරයට ඉතා බොලද අහිංසක ඉගෙනීමට දක්ශ දැරියක්. අනෙක්  දරුවනුත් ඔබත් අතර මා විශේශ වෙනසක් දකින්නේ නැහැ, ඒබොලද බවත් අත්දැකීම් අඩු බවත් නිසාවෙන්ම අද ඔබට ඔබත් මාත් කිසිවෙකුත් නොසිතූ ආකාරයේ සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවී ඇතැයි යන්න මගේ හැගීම වනවා.  ///

නූරි ඇද මත පෙරළී සිටිනවා වෙනුවට කොට්ටයක් ඇද විට්ටමට තබා ඒ මතට හේත්තු වූවාය.

/// .. ඔබත් මාත් අතර වයසින් විශාල පරතරයක් නැතත්, අඩු වශයෙන් එය වසර හතක් වත් වනු ඇතැයි මා සිතනවා. මීට වසර හතකට පෙරාතුව මගේ චර්යාරටාව මට තවමත් හොදින්, ඉතාමත් හොදින් මතක ඇති බැවින් ඔබේ ක්‍රියාකාරකම් දඩබ්බර ලෙසට දැකීමට සිත් දෙන්නේ නැහැ. දරුවන් එසේයි, ඔවුන්ගේ ක්‍රියාකාරකම් කිසිම ගුරුවරයෙක් සදාකාලිකව මතක තබා ගන්නේ නැහැ. ඉතින් මට කියන්නට උවමනා දේ කෙටියන් පවසන්නම්, නැවත පාසැලට එන්න.. ඔබේ යුතුකම ජීවිතෙන් හැංගී ගොස් මුල්ලකට වී හැඩීම නොවෙයි. දහඩිය වගුරමින් උදේ සිට හවස් වනතුරු රාජකාරි කොට ගෙදර ආ පියාට මූණ එල්ලගෙන සිටින එකම දියණිය දැකීමට සැලැස්වීම ඒ තරම් හොද දෙයක් නොවේ යයි මා සිතනවා. කවුරු අතිනුත් වැරදි වෙනවා. වඩා වැදගත් වන්නේ නැවත ඒ වැ‍රැද්ද නොකිරීමයි.

මා මේ ලියූවේ ගුරුවරයෙකු ලෙසින් මගේ සිතේ ඔබට කියන්නට යැයි බලකල සිතුවිලි ටික පමණයි. මගේ වයසේ පසුවන සාමන්ය තරුණයෙක් මෙන්ම මගේ සිරුර තුළ පාසලට පිටදී පමණක්ම සිටින දගකාර තරුණයාගේ සිතුවිලි ස්වල්පකුත් මේ සමගින්ම අමුණමි.


නූරි, දැන් හැමදේම හරි කියල හිතන්න, ඔයා ඉස්කෝලෙ එන්න, අම්ම අප්පච්චිගෙ බලාපොරොත්තු වලට පයින් ගහල ඉන්න බෑ ඔයාට. ඔයා මට ආදරේ කළාද කියන එක මම ඒ තරම් දුරට හිතන්නෙ නෑ, නමුත් එදා ඔයා ඉස්කෝලෙ ඉන්න දවස්වල මා නොදැන සිටි දෙයක් මං දැන් දන්නවා. ඒ මටත් හොරෙන් මං ඔයාට ආදරේ කරන්න පටංගෙන කිය එකයි. නූරිට මේ දේවල් හිත පාරයිද කියන්න මං දන්නේ නෑ, නමුත් මං බලාපොරොත්තු වෙනවා එදා ඔය හිතේ තිබුණු ආදරේ තාමත් නොවෙනස්ව ඇතැයි කියලා.

කොහොම උනත් ඒ සියල්ල වෙනුවෙන් මං තීරණයක් ගත්තා. අරමුණක් කරා යනවානම් කැපකිරීම්වල දිග පළල බලන්න හොද නෑ කියලයි මං හිතන්නෙ. ඉතිං මං ගමෙන්  පොඩ්ඩක් ඈතට වෙන්න තියෙන ....... ඉස්කෝලේට මාරු වීමක් හදා ගත්තා. ඒක ඔයාටත් මටත් හොදයි. විබාගෙට තියෙන්නෙ තව මාස කීපයක්නෙ, බය වෙන්න එපා, වෙච්චි පරක්කුව ගැන නොසිතා දැන්ම මේ දැන්ම ඉදැන් පාඩම් කරන්න පටන් ගන්න. ඔයා ඉස්කෝලෙ එන්න පටන් ගත්තම මට කියන්න, මං ගෙදරට හරි ඇවිල්ල පහුගිය පාඩම් ටික කවර් කරන්නම්... මගෙ ෆෝන් නම්බර් එකට පුලුවන් වෙලාවක කෝල් කරන්න.

වඩා වැදගත් වෙන්නේ විබාගය, දෙවනුවයි විවාහය. විබාගය ඉවර උනු ගමන් මං අප්පච්චිට කියන්නම්, ඔයා කිසිදෙයක් බරට ගන්න එපා.. ඒ අහිංසක දෙමාපියන්ට සතුට ගේන්න මහන්සි වෙන්න.. මං නවතිනවා....

තරින්ද ........
////

දැස් අගින් සෙමෙන් ගලන කදුලු වලට නූරි ඔහේ යන්නට ඉඩ හැරියාය. හිනා වෙන්නටද අඩන්නටද කියා තේරුම් ගන්නට ඈ අපොහොසත් වී සිටියා කිව්වොත් නිවැරදියි. ...

ලිපිය නවා සගවා ඈ කාමරයෙන් එලියට පැමිණ අත්තම්මා එනතුරු මග බලන්නට වූවාය. 

"අනේ පුතේ කොයි වෙලාවෙද ආවෙ, ?" සුදු නැන්දා පැමිණ සිටියාය.

"දවල් ආවෙ නැන්දෙ... " කෙටි පිළිතුරකින් සුදු නැන්දාටද සෑහිමකට පත් වන්නට විය.

සිතුවම් පටයක් දිග හැරෙන්නා සේ නූරි ගේ සිතට එක් එක් සිද්දි මැවී පෙනුනාය. අම්මා අප්පච්චි හා තාමත් ලදරු වියේ සිටින සහෝදරයා වෙනුවෙන් හදවත බර වන්නට විය.

"මං මෙච්චර දවසක් මොනාද කලේ.. . පව් මගෙ අප්පච්චී, අම්ම පව් දෙය්යනේ... මල්ලිට මං නැතුව පාලුත් ඇති ...  "

කුරුල්ලන් එකින් එකා කූඩුවලට යනවිට, හාත්පස අදුර ඇයව වෙලගන්නට තනද්දී ඇය සෙමෙන් හිද උන් තැනින් නැගිටින්නට උත්සාහ කලාය...

"නූරි, මොකද ලමයා අද පහන පත්තුකරන්නෙ නැද්ද?" , නැන්දනියගෙ ප්‍රශ්නයට පිලිතුරක් වත් නොදී ඇය තම කාමරයට වැදී සෙමෙන් ඇදට වැ‍ටුනාය....

තවත් මොහොතකින් ඇය සෙමෙන් නැගිට්ටාය. දුරකථනය වෙතට ගමන් කළාය.

"හෙලෝ... "
එහා පසින් ඇසුණු ළපටි කටහඩ නූරිගේ හදවතේ ගැඹුරුම තැනකින් පටන් ගත් රිදුම මුලු සිරුර හරහාම ගමන් කරන්නට විය.




"මල්ලි, කෝ අම්ම , ?"

"අක්කි, මේන් ආයෙත් කටක් හැදිල. .. අම්මි මෙන්නෝ අක්කි. ... "

"පුතේ... "

"අම්ම පරිස්සමින් ගියාද ? "

"ඔව් මගෙ පුතේ ඇයි , හදිස්සියක් වත්ද ?"

ජයසේන මහතාද විස්මය ‍රැදි දෑසින් බිරිදගේ මුව දෙස බලා සිටියේය.

"නැ අම්මෙ, මං එන්නම් "

"ඇ ඇයි පැටියො,, අත්තම්මවත් මොනා හරි කිව්වද ?"

"අනේ නැ අම්මෙ, විබාගෙට තව මාස කීයද අම්මෙ, ඉස්කෝලෙ යන්නත් එපැයි ... "

"හොදයි පුතේ,.. අපි එහෙනම් හෙට එන්නම් මේන් අප්පච්චි කතා කරනවා... "

"මයෙ පුතේ... ඇයි මේ.. "

නූරිට එකදු වචනයක්වත් පිට කර ගන්නට නොහැකි විය. මොහොතකින් ඉකිබිදුමක් බවට පෙරලුණු හැඩුම නිසා නූරි දුරකථනය තබා නැවත කාමරයට ගියාය.

"කමක් නෑ මං හෙට ගෙදර යනවා,, ආයි කවදාවත් මේ දේවල් ගැන නොසිතා අම්ම අප්පච්චි මල්ලි ගැන හිතල වැඩ කරල විබාගෙ පාස් වෙනව මං දන්නව මට බැරි නෑ, මට හරි මාර්ගෙ පෙන්නල දුන්නට සර්ටත් පිං... "

ඈ කාලාන්තරයකට පසුව කදුලු අතරින්ම හිනැහුණාය. 




*********************** නිමි ******************************