Thursday, May 24, 2012

අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ ...

සෑහෙන කලක සිට කවියක් නොලිව්වෙමි
වෑහෙන රසය ඇති පදයක් අද ලියමී
පෑහෙන නොපෑහෙන බවනම් නොම දනිමී
සෑහෙන වෙලා ඇතිනම් කියවනු මැනවී ...

කාලේ මෙකල මං හිටියේ තුරුණු කලේ
ආලේ තමයි හැම සුසුමම සොදුරු කලේ
මාලේ බැන්ද අපි නැකතින් එකතු කලේ
කාලේ රුදුරු අපි දෙන්නා දෙමංසලේ

පස් වසරක්ම නුබ ඉගෙනුම කෙරුවාට
දොස් නැත නගේ නුබහට ජොබ් නැතුවාට
ඇස් දෙක වගේ නුබ ‍රැක ගමි හැමදාට
වස් නොවදීවි යන් මගෙ ක්වාටස් එකට ...

හිමි කිවු දෙයින් මා සිත සැනසීල ගියා
නිමි කර ‍රැකියාව මං ඉල්ලා අස්ව ගියා
පිමි පැන වගේ හිමිගේ උණුසුමට ගියා
වෙමි ප්‍රිය ගෘහණියක් අද සිට නුඹට කියා ...

අක්කර පහක් විතරක් වෙයි ඒ ඉඩම
අක්කර දෙකක් වත් ඇති ඒ මහ ගේම
දුක්බර දෙයකි ඒ මහ ගේ අතුගෑම
ඒ හින්දාම නොකළෙමි එය හැමදාම ...

මේ කිසිදෙයක් මගෙ සිත් ගත්තේ නැතිද
වේ එක් දෙයක් තවමත් මතකෙට සබැද
ගේ වට තිබිණි මහ අඹ ගස් නේක විද
මේ ගස් ටිකට මං ආදර කලා සොද ...

තනිකම වැඩියි බෑ පාලුව ඉවසන්ට
හනිකට අම්මෙ මලයා මෙහෙ ඇරලන්ට
කලකට පසුව බැරියැයි මට හුරුවෙන්ට
එතකොට එවන්නම් අම්මේ පිං නුබට ...

උදේ පටන් මං හා මගෙ පොඩි මලයා
ගල්ද පොලුද ගෙන අඹ ගස් රකිනු නියා
මදේ රසය වින්දෙමු නෑ වචන ලියා
අඹේ රසය සුර ලෝකෙට එහා ගියා ...

හවසක දිනෙක මලයා ගහ උඩට නැග
ආයාචනා කෙරුවයි මට ගහ උඩට
නැති වුව පුරුද්දක් මට ගස් වලට පැන
මොහොතක් පසුව මං සිටියෙමි අතු අතර

කෙලින් පාර ඈතට පෙනෙනවා සොද
පෙලින් පෙලට වාහන පැමිණෙනා සද
දු‍ටුව දෙයින් මං සිහි නැති නොඋනා වෙද
හිමි එන්නේය මිතුරන් සමගින්ම අද .....

හනිකට මල්ලි උඩ බිම බලමින් පැන්නා
වටකොට අතුරිකිලි මං ගහ උඩ තව ඉන්නා
අඩියට දෙකට හිමි මිතුරන් හා එන්නා
"කෝ බං උබේ බාරි" යැයි විමසන්නා ...

විස්මය හැගෙන දෑසින් මගෙ ස්වාමියා
වටපිට බලා මලයා වෙත අඩිය තියා
සැකහැර දැනුනු පසු මං ගස මතය කියා
"අනේ මචං නානවලුනෙ එයා" කියා ගියා

අඩ පැයක් ගෙවී ගොස් කලුවරත් වැ‍ටුනු විට
විදි දුකක් අනේ මං තනියෙන්ම ගහක් උඩ
දුරු කළා මදුරුවන් මැස්සන්ද මගේ තනිය
අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ  ...

තව මොහොතකින් ඒ නරි ‍රැළ පිටව ගියා
ආයිත් දිනෙක එන බව සැක හැරම කියා
දිග ඉනිමගක් ගෙනවිත් ගහ මුලට තියා
මං ගොඩ වුනෙමි නිවසට මලයාට රවා ....

Tuesday, May 22, 2012

අත්තම්මා හා මගේ සිතුවම

මේ ළගදි මට ආයෙත් පොඩි කාලෙ වෙච්චි සිද්දියක් මතකෙට ආවා.. ඒක මතක් වෙද්දිත් මට කට කොණට හිනාවක් ආව නිසා නිකමට වගේ බ්ලොග් එකටත් ලියලා දාන්නම් කො...


මේ කාලෙ මම එක වසරෙ විතර... ගමේ ඉස්කෝලෙ ගිය මම පොඩ්ඩක් විතර කලින් ගෙදර එනවා.. ඊට ටික වෙලාවකට පස්සෙ නගරේ ලොකු ඉස්කෝලෙ ගිය අක්කි ගෙදර එන්නෙ... ඉතින් එයා එනකම් සෙල්ලමක් වත් කරන්න විදියක් නැතුව ඉන්න මම තනියම කරන්න පුලුවන් සෙල්ලම් සොයාගැනීමේ මෙහෙයුම් දියත් කරනවා.. ඔය අතරින් ගොඩක් සෙල්ලම් අවසානයේ මුල්ලක මට නින්ද යෑම තමා සිද්ද වෙන්නෙ...

අපෙ අත්තම්ම තමා හැම එකටම ඉන්නෙ ඉතින්... මොකක් හරි වැඩක් කරගන්න බලන්නෙ අත්තම්මා... මං අහුවෙයි ඔව්වට... 

අක්කි එනකන් ගේ ඉස්සරහ සිමෙන්ති පඩිය උඩ බලාගෙන හිටපු මට අපූරු සිතුවිල්ලක් ආවා.. මට අක්කි ඉස්කෝලෙ සිට එන හැටි චිත්‍රයක් අදින්න හිතුනා.. දුවගෙන කාමරේට ගිහින් මං ප්ලැටිග්නම් පෙට්ටියක් අරන් ආවා... දැන් මං මගේ හැකි උපරිමය චිත්‍රයට නගනවා.. අත්තම්මගෙනුත් කිසිම සද්දයක් නෑ.. පොඩ්ඩකට එහා ගෙදරවත් යන්න ඇති.. ඉතින් මං නිදහසේ සිමෙන්ති පඩිය උඩ දිගාවෙලා කඩදාසි කොලේක අක්කිව සිත්තම් කරනවා... ඔන්න එතකොට මට ආයිත් එනවා අපූරුම අයිඩියා එකක් .. "මොකටද කොලේ අදින්නෙ? සිමෙන්ති පොළවෙම අදිනවා... සිනිදුම සිනිදු රතුම රතු පාට සිමෙන්තියෙ ලස්සනට ඇදෙනවනෙ.. "
පොඩි වෙලාවයි ගියෙ, මං කොළ පාටින්ම අක්කිව ඇන්දා, ටිකක් පොඩියට ..... පොඩි කාලෙත් ඉතින් මං ගත්තු දෙයක් ආපහු එතැනින්ම තියන නිසා ප්ලටිග්නම් පෙට්ටියත් කාමරෙන් තියල අත්තම්ම හොයන්න ගියා... 

දැන් හවස... අක්කියි මායි සෙල්ලම් කරනවා.. මිදුලෙ සෙල්ලම් ගෙයක් දානවා.. මට චිත්‍රෙ ගැනත් අක්කිට කියන්න අමතක උනා... ඔන්න ඔය වෙලාවෙ තමයි අර අසහාය සිත්තම අත්තම්මට දර්ශනය වුණේ... ගෙදර ප්‍රධාන දොර ඉස්සරහම ඇදපු බලිය දැක්ක අත්තම්ම හොදටම කේන්ති අරගෙන ..

"කවුද මේ විනාශෙ කළේ?"

"අත්තම්ම මං නෙවෙයි... "
අක්කි කෙළින්ම කිව්වා... එතකොට ඉතින් මංනෙ.. මාත් වීරය වගේ බොරු කියන්න පටන් ගත්තා..
"අත්තම්ම මාත් නෙවෙයි.. "

"ඔය දෙන්න නෙවෙයි නම් මමද මේක ඇන්දෙ ?"

"දන්නෑ අත්තම්මෙ, අපි නෙවෙයි"
අක්කි ඒ පාර මං වෙනුවෙනුත් පෙනී සිටිනවා..

එක පාරටම අපේ අත්තම්ම වෙනස් වුණා.. හරිම ලස්සනට හිනා වෙලා මෙහෙම කිව්වා...

"කවුරු උනත් හරිම ලස්සනයිනෙ.. කමක් නෑ පුතේ, ඔයාල දෙන්නටත් බැරිද මේ වගේ ලස්සනට චිත්‍ර අදින්න... මේ විදියටම ඇන්දොත් මං එයාට දෙනව තෑග්ගක්..."

"මට පුලුවන් අත්තම්ම, මං අදින්නද?"
මං පටස් ගාල ගෙට දිව්වා ප්ලැටිග්නම් ගේන්න... (හනේ මෝඩ මං...) අක්කිත් දුවගෙන ආවා ...

දැන් අපි දෙන්න අදිනවා චිත්‍ර... මටනම් වැඩි වෙලාවක් ගියෙත් නෑ.. ඉකමණටම ඉවර කරපු චිත්‍රෙ දිහා බලපු අක්කිගෙ ඇස් දෙකත් ලොකු උනා..


"ඔයාද මේකත් ඇන්දේ?"

"ඔව්... " මං ආඩම්බරෙන් කිව්ව...  අත්තම්මත් කිව්වනෙ ලස්සන චිත්‍රෙ කියල..

"ඕක ටිකක් වෙනස් කරල අදිනව, නැත්නම් අත්තම්ම දැනගන්නව ඔයා තමයි මේක ඇන්දෙ කියල..."

 අක්කි පුන පුනා කිව්වත් මං නෙවෙයි ඒ ලස්සන චිත්‍රෙ වෙනස් කලේ!

ටික වෙලාවකින් අත්තම්ම ආව.. චිත්‍ර ඇන්දපු කොල දෙකම අතට ගත්තු අත්තම්මගෙන් ඊට සුලු මොහොතකට පස්සෙ මගෙ පස්සට ගුටියක් ලැබුනා.. ඊට පස්සෙ මෙහෙම කිව්ව..

"ඔය ගුටිය චිත්‍රෙ ඇන්දට නෙවෙයි බොරු කිව්වට... "

ඊට පස්සෙ අක්කියි මායි අත්තම්මයි තුන් දෙනාම එකතු වෙලා තිනර් ටිකක් ද කොහෙද දාලා අර චිත්‍රෙ මකල දැම්මා..