Wednesday, February 15, 2012

පොඩි පහේ තේරවිල්ලක් ...

ඉස්සර කාලේ එකමත් එක රටක අමුතුම ගමක් තිබුණා. මේ ගමේ නායකයා තමන්ව හමුවීමට එන මිනිසුන් ගනන අඩුකිරීමට කූට උපක්‍රමයක් යෙදුවා. ගමේ නායකයාගේ ගෙදරට යන තැන පාලමකුත් පාලමින් එගොඩ වූ විට පාරවල් දෙකකුත් තිබුණා. මොහු මොහුගේ ගමේ සිටි නිවුන් සහෝදරවරු දෙදෙනෙක් ගෙන්වා ගත්තා. නිවුන් සොයුරෝ උවත් මොවුන්ගෙන් එකෙක් ඇත්තම පවසන අතර අනෙකා සෑම දෙයටම බොරු කියන්නෙක්. විහිලුවටවත් මොවුන්ගෙ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැතිලු. පාලම මුර කිරීම මේ දෙදෙනා මාරුවෙන් මාරුවට කරගෙන ගියා. ගමේ මිනිසුන් මොවුන්ගේ ඇත්ත කීම බොරු කීම ගැන දැනගත්තත් දෙදෙනා වෙන්කර හදුනාගැනීමට අපොහොසත්. ඔවුන් ඉතා අපහසුතාවයට පත් උනා. නමුත් මේ කරදරය ඉවසාගන්නට බැරි විට එක් අයෙක් හොදින් කල්පනා කොට මේ ප්‍රශ්නයට විසදුමක් ගෙනාව. පාලම මුර කිරීමට සිටින කෙනා ඇත්ත කියන්නා වුවත් බොරු කියන්නා වුවත් ඔහුගෙන් අහන එක ම එක ප්‍රශ්නයෙන් නිවැරදි පාර ගැන ඔත්තුව ලබාගන්නට හැකි වූවා..
ඉතින් මං ඔයාලගෙන් අහන්නේ මොකක්ද ඒ බුද්ධිමත් පුද්ගලයා අහපු ප්‍රශ්නය ??

----- සැ. යු. 1. මුරකරුගෙන් ඇසිය හැක්කේ එක් ප්‍රශ්නයක් පමණි.
                   2. නායකයා හමුවීමට එන මිනිසුන් නායකයාගේ නිවසට යා යුතු පාර පිළිබදව කිසිත් නොදනී ... එකම මාර්ගය මුරකරුගෙන් ඇසීම පමණි.

Monday, February 13, 2012

නූරි --- 10

නූරි --- 10


සුදු නැන්දා කතන්දරයක් කියමින් මල්ලීට බත් කවන්නට පටන් ගත් විට නූරි හොර බැළලියක් මෙන් දුරකථනය වෙතට කිට්‍ටු කළාය. මිදුලේ රට ජම්බු ගහ උඩ ඉන්නා මල්ලීට සුදු නැන්දා බෙදා ගත් බත් පිගාන කවන්නට නම් තව පැයක්වත් යනු නො අනුමානය.

"මං මේ නරක වැඩක් ද කරන්නේ ? ඇයි සර් මට නම්බර් එක දුන්නෙ ?"
ඇගේ හිත ඇගෙන්ම ප්‍රශ්න කරන්නට ගද්දී ඈ සෙමින් ගැහෙන සුරතින් කුඩා කොල කැබැල්ලේ ලියූ අංක 10 පිළිවෙලට ඇතුල් කළාය.


"හෙලෝ ...... " අනෙක් පසින් ඇසුණු  ගොරෝසු කටහඩින් නූරි ගැසී ගියාය..

"සර්, ... සර්... මං අර සර්ගෙ පන්තියෙ............ "

"හ..... නූරි ඔයා කතා කරයි කියල මං බලාපොරොත්තුවෙන් හිටියෙ දැන් කොහොමත් ...... "

නූරිගෙ සිත සැනසී ගියේය. හිත යටින් මෙවැනි මොහොතක් බලාපොරොත්තුවෙන් සිටියා වුවත් ඒ අවස්ථාව ලද විට මෙසේ අපහසුතාවයකට පත්වේ යැයි ඈ සිහිනෙනුදු නොසිතුවාය.

"සර් මට කතා කරන්න කිව්වේ ?"

"ඒක තමයි .. නූරි කොහොමද පාඩම් කටයුතු ?"

"වරදක් නෑ සර්, කෙමිස්ට්‍රි ටිකක් අමාරුයි සර්"

"පළවෙනි පාරම ගොඩ ගියෙ නැත්නම් වැඩක් නෑ ලමයො, ඔය යාලුවො හොදට ‍තෝර බේරගෙන හොද ලම්යි එක්ක විබාගෙ කරගන්න මහන්සි වෙන්නෝනෙ, "

"ඔව් සර්..  මෙහෙ හැමෝම හොදයි .... "

"නූරි මොකද ක්ලාස් යන්නැත්තෙ ?, මං දන්න තරමට හැම ළමයම වගේ ටියුශන් යනව ... "

"මං ටියුශන් යන්න ඕනෙ හින්දත් තමයි සර් අප්පච්චි මෙහෙට අපි ඔක්කොමලම අරන් ආවෙ..... ඒත් මේ
ප්‍රශ්නෙ හින්ද ඒක අමතකම උණා සර්... "

"මොන ප්‍රශ්නෙ ආවත් ඉගෙනුමට ගාව ගන්න එපා දරුවො, මං කියන්නද, මං ඇත්තටම නූරිට කතා කරන්න කිව්වෙත් මේක කියන්න, නූරි ක්ලාස්ස් යන්න, මොනාහරි ප්‍රශ්නයක් තියේනම් මට කියන්න, ඕනම ප්‍රශ්නයක්, මුදල්හරි , ලමයින්ගෙන් හරි ඕනෙම එකක්.... "

"අහ් සර්, නැහ් මුදල් ප්‍රශ්න තාම නැතුව ඇති සර්, මං අප්පච්චිට කියන්නම් කො ... "

"අප්පච්චිට කියල ක්ලාස් යන්න පටන් ගන්න . .. ඔයා දක්ශ ලමයෙක් ...... කොහොමහරි මහන්සි වෙලා වැඩ කරන්න බලන්න අනං මනං වලට පැටලෙන්නෙ නැතුව....... "


"හාං සර්........ "


"හරි එහෙනම්, දැන් මං කතා කළා කියල පන්තිය වටේට කිය කියා ඇවිදින් නැතුව පාඩම් කරන්න .... "

"තියන්නද සර්, "

"ඕනෙ වෙලාවක කතා කරන්න නූරි .."

"හාං සර්..."

+++++++++++

පාන්දරින් නුවර සීතල සමගින් දලදා මාලිගාව ඉදිරිපසින් සෙනසුරාදට ඉරිදාට පන්ති යන්නට නූරි ආසාවෙන් උන්නාය. නුවරට පැමිණ මාස දෙකක්ම ගෙවී ගොස් ඇත.

"සර් කියනව වගේ ක්ලාස් නොගියොත් සිලබස් කවර් කරගන්න බැරිවෙයි,,, අප්පච්චිට කියල කොහොමහරි ක්ලාස් යන්නෝනෙ." ඈ සිතුවාය.

"දෝණි කවුද ?"
තවමත් රිසීවරය අල්ලාගෙන සිටින නූරිගෙන් නැන්දා විමසුවාය.

"යාලුවෙක් සුදු නැන්දෙ, "

"හ්ම්.. අනේ පුතේ අත්තම්මට කෝල් එකක් ගමුද ? හෙට විතර එනව කිව්වනෙ,, "


නූරි ගමේ අත්තම්මාගෙ නිවසෙ දුරකථන අංකය ඇතුළත් කළාය.

++++++++++++


සැන්දෑ හිරු රශ්මිය නූරිගේ කාමරයට එබිකම් කරන්නට පටන් ගත් විට නැවත දුරකථනය නාදවන්නට පටන් ගත්විට දුවගොස් ඈ එයට ප්‍රති උත්තර බැන්දාය.

"අප්පච්චී...."

"ඇත්තද !අනේ හොදයි ... හා මං නැන්දට කියන්නම් . "
නූරිගෙ කතා විලාශය ඇසූ සුදු නැන්දාද එතැනට පැමිණ කාරණය වෙත කන් යොමා සිටියාය. 

"අම්ම හෙට එක්කං එනවලු නැන්දෙ! "
සෙල්ලම් කරමින් සිටි ඔනෙල්ගේ මුහුණ මලක් මෙන් විකසිත විය.


"අම්ම ආපු ගමන් කරදර කරන්නෙ එහෙම නෑ හරිද මල්ලි, "


"ආහ් හරි ඒව බැරියැ ආවට පස්සෙ ." සුදු නැන්දා ඔනෙල් වෙනුවෙන් උත්තර බැන්දාය.
ලහි ලහියේ හැමෝම තම තමනට හැකි පරිද්දෙන් ගෙවල් දොරවල් අස් පස් කරන්නට පටන් ගත්හ.


"අක්කි මං මොනාද කරන්න ඕනෙ ?"

"අනෙ මේ ඔයාට දුන්නොත් කරයි ....... හා ඔයාට පුලුවන්ද මේ පු‍ටු මේස පිහදාන්න? බෑනෙ"

"මොකද බැරි ඔය රෙදි කෑල්ල දෙනව මට.. "

"හපෝ කරයි පු‍ටු කකුලක් තරන්වත් උස නැහ්..  පිහදාන්න පටං ගන්නකොටම හචිස් පචිස් ගායි.. අන්තිමට අම්ම ඉස්පිරිතාලෙන් එනකොට ඔයාව ඉස්පිර්තාලෙ එක්කන් යන්න වෙයි ... "

නූරි ගොස් ඔනෙල්ගෙ කිහිලි අස්සෙන් අත්දමා උස්සාගෙන ඇවිත් මේසය මත ඉන්දුවා නළල සිම්බාය.


"ඔන්න ඔතන ඉදගෙන සින්දුවක් කියන්න මල්ලි අපි දෙන්න සමරමු අම්ම ගෙදර එන එක ..... "

*************************

නින්දට ගොස් නූරි අද දිනයේ සිදුවූ සතු‍ටුදායක සිදුවීම් ස්මරණය කරන්නට වූවාය. නැවතත් ජීවිතේ සතුට කරා ගමන් කරනු ඇතැයි නූරි සිතුවාය.

"දැන් අම්ම සනීප වෙලා ආවම මං සෙනසුරාද ඉදල ක්ලාස් යනව.. දිලිනිල එක්ක.. කලින් ඉදන් යන්න තිබ්බෙ .කම්ක් නැහ් මාස දෙකයිනෙ බැරි උනෙ.. සර් කියනව වගෙ මං කොහොමහරි මහන්සි වෙනව විබාගෙට..... සර් මොකටද මට වියදම් කරන්නෙ ? ඒ කතාව මට ඇල්ලුවෙත් නැහ්.. අප්පච්චිට ඒ කෑල්ල නොකිය ඉන්න ඕනෙ.. මොනාහරි හිතුවොත් එහෙම..... සර් කිව්වට සර්ට කතා කරපු බව කාටවත් කියන්න එපා කියල මං මිතිලට විතරක් කියනව.. එයා මගෙ හොදම යාලුවනෙ..... "

Friday, February 10, 2012

ඇය ඩා හෙළයි සිව් දරු හා දියණි නිසා ........

අයෙක් නිදති සැප යහනා මතට පැන
අයෙක් හිදිති රෑ වුව නැත නිදන තැන
කලෙක් ‍රැදිති මේ පුවතත් හිතට පැන
ඉඩක් ලදිති නම් කියවා බලනු මැන....

දිනක් මතක නැත මිතුරනි හරියටම
හතක් වසර නැහැ වනු ඇත ඊට ඉම
කලක් සිටම කල් යල් බැලුවා සේම
විලක් දුකට පත්වුණි ඇගෙ මුලු ගමම.......

ඈ වූ කලී වයසක අම්මා කෙනෙකි
කාටත් හොදයි ඈ හට එක් දියණියකි
බෑනා නොයෙයි ගම ඔහුහට දුර සෙයකි
මුණුපුරු දියණි සමගින් දිවි ගෙවු පැලකි.......

රට උඩරටය එහෙනුත් ගම තව දුරය
උඩ බැලු කල්හි දු‍ටුවේ පෙරලෙන ගල්ය
වැහි පොද නිසා දුව යාමද දුශ්කරය
කිසිවක් ඕන නැත පණ තිබුනොත් ඇතිය......

ඇගෙ පැල් කොටය පොඩිකර බිමටම තලලා
පොඩි දරුවාගෙ පොත් මේසද යට කරලා
ගියමුත් ගමේ හැමකෙකු අසරණ කරලා
හැකිවුණි ‍රැකගන්න පණ ටික ඈ දුවලා ......

මහ නායකි ගොස් ඇත්තේ රට මැද්දේ
පොල් ගෙඩි අකුරු හැම හැම පත්තර මැද්දේ
සීතල වෙච්චි පපු යන්තම් රත් වෙද්දී
කවුරුත් බෙදයි ආධාරය ගම් මැද්දේ .......

දින කීපයක් සිටියලු පන්සලට වෙලා
දෙන ආධාර ලබමින් උණු කදුලු සලා
දියණිය ‍රැගෙන ඇගෙ දරුවත් තුරුලු වෙළා
බෑනා ඇවිත් ගම ආයෙත් මතක් වෙලා

කවුරුත් එකගවිය යාමට කදවුරට
එනමුත් කෙසේ සමුදෙමු අපි අපෙ ගමට
ආයෙත් එමුකො අපෙ ගම සිරි බලන්නට
හදවත් බිදී මුලු ගම යයි කදවුරට .......

ලැබුණලු මුලදි ඔවුනට හොද ආධාර
හිටියලු බොහෝ අය පෙළගැසි මහා පාර
කිව්වලු ලගදි ඉඩමක් දෙන බව සාර
අයියෝ ඒත් කල්ගතවිය ඒ වාර ....

දින සති මාස යනවිට මේ ගම ඇත්තෝ
හෙමි හෙමිහින්ම නව ගමටත් හුරු වෙත්තෝ
කුලියට වැඩක් කර දිවි සරිකර ගත්තෝ
පෙර කී ඇයත් අප නිවසට වැද ගත්තෝ .....

වැඩ පළ කරන්නට ඈ සමතියක් උනි
සත්තයි ඈ නිසා මා මව උදම් උනි
හැකි හැකි විටදි ඇගෙ පවුලට උදව් උනි
බෑනා යළිත් පියතුම වන ලකුණු පෙනී .....

අව්වට කමක් නැත ගස් යට ඉන්න හැකි
වැස්සට කෙලෙස අපි ඉන්නද ඊට තෙමී
බෑනාත් දුවත් ඇත එක කාමරෙට වැදී
නෝනා මාත් මෙහි ඉන්නද රෑට වැදී...........

ඇගෙ දුව යළිත් රෝහල වෙත යනෙන දින
බෑනා නොමැත ඔහු ගොස් ඇත ගමෙන් පැන
කාලය ගොසින් පොඩි දරුවත් වැඩෙන දින
බෑනා ඇවිත් යලි කදවුර මතක් විණ .......

මෙලෙසින් මෙහෙම බෑනා එනවා යනවා
දුප්පත් කම නිසා ඈ මේ ඉවසනවා
කෙලෙසින් සිතූවද ඇය එය නොපෙනනවා
එනමුදු දනිමි අද ඈ කදුලැලි බොනවා ........

රජයෙන් දුන්න පොඩි ඉඩමේ පැලක් ගසා
උදයෙන් පැමිණ ගොස් ගමවට වැඩක් අසා
සොයමින් කාසි රුපියල වුව වටින නිසා
ඇය ඩා හෙළයි සිව් දරු හා දියණි නිසා ........

Friday, February 3, 2012

නූරි --- 9

නූරි --- 9

පන්තියේ කොට බිත්තිය මතින් ඈතින් පෙනෙන රොබරෝසියා ගස දිහා නූරි බලා සිටියේ හරියට ඇය එම ගස දු‍ටුවේ ප්‍රථම වරට මෙන්ය ... 

"එක මලක් බිමට වැටෙනකොට තව මලක් න‍ටුවෙන් ගිලිහෙනව .. ඔය හැටි කොහෙන්ද මල් පිපෙන්නෙ ? ඔය මල් පිපෙන හැටියට මගෙ හිතෙත් මල් පිපෙනවනම් ......  " ඈ සිතුවාය..

"නූරි ! ඇයි ? "
කල්ප, පන්තියේ මිතුරෙක් ඇය ළගටම ඇවිත් කතා කරනතුරු නූරි දු‍ටුවේ නැත. ගුරුවරයෙක් පන්තියේ නොමැති බොහෝ අවස්ථාවලදී කල්ප නූරි වෙතට කිට්‍ටු වීමට දරණ උත්සාහය ඇයට කරදරයක් විය.

"නැහ් කල්ප, මං හිත හිත හිටිය... "

"ඒක තමයි මාත් අහන්නෙ, මොනාද හිතන්නෙ ? "

"හපෝ එහෙම මහා විශාල ප්‍රශ්නයක් නෙවෙයි ... යං වාඩිවෙමු, මොකක්හරි පොතක් බලාගමු... "

"ඔය හැටි ප්‍රශ්න ගැන හිතන්න එපා නූරි, ඔය ඔක්කොටම කාලය විසදුමක් දෙයි ... "

"හ්ම්ම්ම්ම්ම්ම් ම්ම් දෙයි ... දුන්නොත් හොදයි ... "

++++++++++++++++

අම්මා රෝහලට ඇතුළත් කර දින දෙකකි. ඒ නිසාවෙන්ම නූරිටද දැන් වැඩ ගොඩක් වෙන්වී ඇත. සුදු නැන්දා අම්මා මෙන්ම උදෑසනින් නැගිට ආහාර පිළියෙල කළද, නූරිද උදව්වට මොනවා හෝ කළාය. අප්පච්චී අම්මාව රෝහලට ඇතුල් කොට යාලුවෙකුගේ නිවසක තාවකාලිකව නතර වූයේය.

වේදනා පිරි දෑසින් අම්මා රෝහලට යාමට අවශ්ය කළමනා ලෑස්ති කරනු නූරි බලා සිටියේ හොරෙන්ය. ඒ දෑස ලෙස කෙසේ කෙළින් බලන්නට නූරි අපොහොසත් වූවාය. දින කිහිපයක සිට අම්මාගෙත් අන් සැමගේත් අමුතු වෙනස්වීම කුඩා ඔනෙල්ට වටහාගත නොහැකි වූ නමුදු, වෙනදාට වඩා සැමගේ ආදරයට තමා ලක්වීම පිළිබද සතුටින් පසුවුණි. නමුත් අම්මා රෝහලට යාමට අප්පච්චී සමගින් පිටත් වන මොහොතේදීනම් ඔහුත් හැඩුවේය.

"කතරගම් දෙයි හාමුදුරුවන් පිහිටෙන් අම්ම ඉක්මණටම සනීප වෙලා ඒවි... " සෑම මොහොතකම ඇගේ මුවින් නිරායාසයෙන් මිමිණෙන්නට විය.

+++++++++++++++++++

"නූරි, ඔයාට තරිදු සර් ස්ටාෆ් රූම් එකට එන්න කිව්ව... සයන්ස් සෙක්ශන් එකේ ස්ටාෆ් රූම් එකට හොදේ .... "
නවාංජනා පණිවිඩය කියා යන්නට ගියාය.

"දැන් ... ? "

"ඔව් බන් .. අපි ලයිබ්‍රරි ගිහින් එනකොට සර් මගදි හම්බ උනා... දැන්ම එන්න කිව්වා.... "

නූරිගේ හදවතද ගැහෙන්නට විය.. ඇගේ හිතේ තරින්ද ගුරුතුමන් ගැන ඇත්තේ එළිපිට නොකී යොවුන් ආදරයකි. ඒත් ඔහු ඒ පිළිබද කිසිත් නොදන්නවා ඇතැයි ඈ සිතුවාය.

"මගෙ හිතේ තියෙන දේවල් සර්ට දැනෙන්න ක්‍රමයක් නෑනෙ.. ගිහින් බලනවා " සිතමින් දිලිනිවද බලෙන් මෙන් ඇදගෙන නූරි ගුරුවරුන්ගේ විවේක කාමරය සොයා ගියාය.

යාන්තමින් අඩවල් කර තිබූ දොර අතරින් නූරිට කිසිම ගුරුවරයෙකු නොපෙනේ.

"කවුරුත් නෑනෙ බන් .. "

"ඒකනම් දිලිනියො, නවාංජනා බොරුවක්ද කොහෙද කියල තියෙන්නෙ ! "

"ඒ නෑ බන් සර් ඉන්නව .. අර කබඩ් දෙක අස්සෙන් බලපන් ... "

"ඔව්මයි .. තට්‍ටු කරමු . "

"සර් විතරයි ඉන්නෙ, උබට විතරක්ද දන්නෑ නූරි එන්න කිව්වෙ ? "

"අනෙ මේ කට වහගං, ඕක ඇහුණොත් ඉවරයි ... "

"ආහ් නූරි වලිගෙකුත් අරගෙනම ඇවිත් තියෙන්නෙ ........  කෝ අනිත් වලිගෙ..  ?"
ඔහු අසන්නේ මිථිලා ගැනය. අද මිථිලා පාසල් නොපැමිණි නිසා මිස නොයේසේනම් ඇයද අනිවාර්යයෙන්ම මෙතැනය.

ගුරුතුම්න්ගේ සිනහව පරාද කරන්නට මෙන් කෙල්ලන් දෙදෙනාද සිනහාවන්නට විය ..

"හා දැන් මෙතන  කැකිරි පළන් නැතුව මට උත්තර දෙන්න ළමයො, .. "

"උත්තර දෙන්නම් සර්, හැමදාම උත්තර දෙන්නම් ... මම කැමති ප්‍රශ්න විතරක් අහනවනම් ... " සිනහව අතරින්ම ඈ සිතුවාය.

"දැන් ගෙදර ප්‍රශ්න ඉවරද ?"

හදිසියේ පැමිණි අදුරු වලාවකින් පෝදා සද වැසී ගියා මෙන් ඇගේ මුහුණ වෙනස් විණි.

"අම්මව ඉස්පිරිතාලෙ එක්ක ගියා සර්, තාම ටෙස්ට් කරනවලු ...... "

"අම්ම ලග ඉන්නෙ කවුද ලමයො ?"

"අප්පච්චි, තුන් වේලෙම ගිහින් බලනවලු සර්, තව අපෙ අම්මගෙ නංගි කෙනෙක් ඉන්නව කිරිබත්ගොඩ දිහාවෙ... ඒ පුංචිත් ඉඩ තියෙන වෙලාවට ගිහින් බලනවලු ........ "

"ගෙදර  ..... එතකොට දැන් කවුද ගෙදර ඉන්නෙ ?"

"අපෙ නැන්ද කෙනෙක් ඉන්න්ව සර්, අප්පච්චිගෙ අම්මත් ලගදි එයි...  "

"නූරිට තව සහෝදරයෙක් ඉන්නව නේද ?"

"ඔව් සර්, එයා පොඩි තාම එයාට තේරෙන්නෙ නෑ මේව .. "

උගුරේ මොකක්දෝ ගුලියක් හිරවෙනවා සේ ඇයට දැනිණි. කතාකරගන්නට අමාරු වනවිට දෙනෙතේ ‍රැදි ලොකු කදුලු බෝල අතරින් ගුරුතුමන් දෙස බැලුවාය. මේ ගෙවීයන්නෙ තම ජීවිතයේ අමාරුම කොටස යැයි ඈ සිතුවාය. තම යෙහෙළියගේ අපහසුතාවය තේරුම් ගත් දිලිනි නූරිගේ දෑත් අල්ලාගෙන ඈ වෙනුවෙන් කටහඩ අවදි කළාය.

"අපි යන්නද සර් ... ?"

"හා... හොදයි ඒක හොදයි දිලිනි ... යාලුවව එක්ක යන්න... "
දිලිනිගේ සුරත අල්ලාගෙනම ගුරු කාමරයෙන් එලියට පැමිණියද හදිසියේ යමක් මතක් වූවාසේ නූරි නැවත ඇතුළට දිව ගියාය.. 

තමා හිතුවාට වඩා තත්ත්වය බරපතල බව තේරුම් ගත් තරින්ද ගුරුන්ටද මෙය බොහෝ වේදනාත් මක සිද්දියක්  විය. ඔහු නළල පිරිමදිමින් සිටි තැනම ඔහේ බලා සිටියේය.

"ස්ටාෆ් එකේ කවුරුවත් ආපු නැති එක හොදා ... මේ ළමයා මෙහෙම අඩනවා දැක්කනම් මොකක්හරි කතාවකුත් හැදෙයි ... " ඔහුගේ සිත කියන්නට විය ...

"සර්... "

"ඇයි දරුවො ?"

"අපිට මෙහෙම උනේ අපි අතින් සර්ට උන කරදරේ හින්දද සර් ? ... එහෙම නම් අපිට සමාවෙන්න සර් ... "

"නූරි , පොඩ්ඩක් ඉන්න ළමයො ... දැන් මම ඔයාට එන්න කියල කිව්වෙ ඇයි කියල ඔයා දන්නෙ නෑනෙ !"

ගුරුතුමන් නැවතත්  කථාවට සූදානම් වනු දු‍ටු නූරි දිලිනිටද ඇතුළට එන්න කියන්නට දොර දෙස බැලුවාය..

"නෑ එයා පොඩ්ඩක් හිටපුවාවෙ ... මට ඔයාව තනියෙන් තමා හම්බවෙන්න ඕනෙ වුනෙ ..."
"සර් .. ඇ ඇයි සර්"
"නූරිට පුලුවන්ද මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ... " ඔහු කුඩා කොලකැබැල්ලක් නූරි වෙත පාමින් ඇසුවේය. 

"හා සර් ... ..." විස්මය ‍රැදි දෑසින් තවත් මොහොතක් ඔහු දෙස බලා සිටි ඈ කාමරයෙන් එලියට දුව ආවාය.

***************************

Wednesday, February 1, 2012

ඇගේ මුවින් එලියට ආ දුක් කතන්දරේ ....

පාලුව තනිය ඩිංගක් මග අරවන්ට
සිතුනා නිකම් මට කවිපද අමුණන්ට
සිතුවිලි එන්ට ගත් විට මට පබදින්ට
කියනෙමි කතාවක් මිතුරනි අහගන්ට ....

යම්තම් වයස පහලොව මට සපිරි කල
හිටියා මතක ඇත මිතුරිය මා අසල
වැඩි ඇයි හොදයියක් නොතිබුනි කවරකල
එනමුත් මතක ඈ ගැන දිවි තිබෙන කල .....

ඈ එන්නේ කොහි සිටදෝ නොදනී කිසිවෙක්
ඈ යන්නේ කීයටදෝ නොදනී කිසිවෙක්
නෑ මිතුරන් මිතුරියන්ද ඈ හට කිසිවෙක්
හැම එන්නට කලියෙන් ඈ පන්තියට ඇවිත් ......

මේ නම් රහසකි ඇත්තෙන් විසදිය යුතුය
කිහිපදෙනෙක් එකමුතු වී කරපු කතා එහෙය
ශේප් එකේ ඉස්සල්ලම යාලුවො විය යුතුය
ඇගෙ පස්සෙන් ඊට පස්සෙ ගිහින් බැලිය යුතුය. ......

මුල්ලට වී අපි එලෙසින් මුලින් කතා කලා
පැත්තට වී ඇගේ අතින් ඇදල විහිලු කලා
ස්වීටි අනේ, සුදූ යාලු, වචන යූස් කලා
කන්නට ගෙනියන හැම එක ඈට පූජ කලා ....

මහන්සියේ ප්‍රතිපල ඇත නැත පමා වුනේ
ඇගේ මුවින් කතන්දරේ එන සලකුනු පෙනේ
වහෙන් ඔරෝ ලෙසින් අපිත් ලගට කිට්‍ටු උනේ
අනන්තයට දුක විහිදුනු කතාවකියි අනේ .........

අපෙ අම්මට මාත් එක්ක අයියා විතරයි
අප්පච්චිට අපි නැතුවට ගල් අරක්කු සැපයි
මුලු පඩියම යාලුවන්ට බෝතලේට යටයි
මං දන්නෑ මේ කරුමෙට අපෙ ජීවිත යටයි .........

අප්පච්චී බිව්වා වුනත් අපිට කමක් නැතේ
අයියට මට අම්මගෙ පඩි පොඩ්ඩ උනත් ඇතේ
ඒත් මටත් හදා ගන්ට බැරි ප්‍රශ්නේ හිතේ
අම්මට ගුටි හැමදාමත් ඇයිදෝ මේ වදේ .......

ඉවසුව හැකියි එනමුදු බැහැ සෑම දින
කිව්වේ අයිය බය කෙරුමට පියා එන
ඇයි බොල තොටත් ඕනද කියපං ගුටිය
අල්ලා කෙස්වැටිය අයියා දැන් බිමය...

මේ මොන මගුලක්ද මං යනවා යන්න
අම්මා නංගි එනවානම් කෝ එන්න
ආයෙත් නො එමි මම ඒ බැව් දැනගන්න
බොරුවට එන්න කියමින් නුබ නාඩන්න.....

ඉතිං යාලු මම කොහොමද හිනැහෙන්නේ
පාඩම් පොතක් බැලුමට නැහැ සිත දෙන්නේ
අයියත් ගෙදර නැහැ පිරියක් සිත දෙන්නේ
මොකටද ඉතිං මම මේ ජීවත් වන්නේ

ඇගේ මුවින් එලියට ආ දුක් කතන්දරේ
ඇසේ කදුලු මතු කෙරුවා නෑ වසන් කරේ
ඇගේ දිවිය සරුවෙන්නට පැතුම් එකතු උනේ
එදා පටන් ඇය අපගේ හොදම මිතුරි උනේ .........