Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Tuesday, May 22, 2012

අත්තම්මා හා මගේ සිතුවම

මේ ළගදි මට ආයෙත් පොඩි කාලෙ වෙච්චි සිද්දියක් මතකෙට ආවා.. ඒක මතක් වෙද්දිත් මට කට කොණට හිනාවක් ආව නිසා නිකමට වගේ බ්ලොග් එකටත් ලියලා දාන්නම් කො...


මේ කාලෙ මම එක වසරෙ විතර... ගමේ ඉස්කෝලෙ ගිය මම පොඩ්ඩක් විතර කලින් ගෙදර එනවා.. ඊට ටික වෙලාවකට පස්සෙ නගරේ ලොකු ඉස්කෝලෙ ගිය අක්කි ගෙදර එන්නෙ... ඉතින් එයා එනකම් සෙල්ලමක් වත් කරන්න විදියක් නැතුව ඉන්න මම තනියම කරන්න පුලුවන් සෙල්ලම් සොයාගැනීමේ මෙහෙයුම් දියත් කරනවා.. ඔය අතරින් ගොඩක් සෙල්ලම් අවසානයේ මුල්ලක මට නින්ද යෑම තමා සිද්ද වෙන්නෙ...

අපෙ අත්තම්ම තමා හැම එකටම ඉන්නෙ ඉතින්... මොකක් හරි වැඩක් කරගන්න බලන්නෙ අත්තම්මා... මං අහුවෙයි ඔව්වට... 

අක්කි එනකන් ගේ ඉස්සරහ සිමෙන්ති පඩිය උඩ බලාගෙන හිටපු මට අපූරු සිතුවිල්ලක් ආවා.. මට අක්කි ඉස්කෝලෙ සිට එන හැටි චිත්‍රයක් අදින්න හිතුනා.. දුවගෙන කාමරේට ගිහින් මං ප්ලැටිග්නම් පෙට්ටියක් අරන් ආවා... දැන් මං මගේ හැකි උපරිමය චිත්‍රයට නගනවා.. අත්තම්මගෙනුත් කිසිම සද්දයක් නෑ.. පොඩ්ඩකට එහා ගෙදරවත් යන්න ඇති.. ඉතින් මං නිදහසේ සිමෙන්ති පඩිය උඩ දිගාවෙලා කඩදාසි කොලේක අක්කිව සිත්තම් කරනවා... ඔන්න එතකොට මට ආයිත් එනවා අපූරුම අයිඩියා එකක් .. "මොකටද කොලේ අදින්නෙ? සිමෙන්ති පොළවෙම අදිනවා... සිනිදුම සිනිදු රතුම රතු පාට සිමෙන්තියෙ ලස්සනට ඇදෙනවනෙ.. "
පොඩි වෙලාවයි ගියෙ, මං කොළ පාටින්ම අක්කිව ඇන්දා, ටිකක් පොඩියට ..... පොඩි කාලෙත් ඉතින් මං ගත්තු දෙයක් ආපහු එතැනින්ම තියන නිසා ප්ලටිග්නම් පෙට්ටියත් කාමරෙන් තියල අත්තම්ම හොයන්න ගියා... 

දැන් හවස... අක්කියි මායි සෙල්ලම් කරනවා.. මිදුලෙ සෙල්ලම් ගෙයක් දානවා.. මට චිත්‍රෙ ගැනත් අක්කිට කියන්න අමතක උනා... ඔන්න ඔය වෙලාවෙ තමයි අර අසහාය සිත්තම අත්තම්මට දර්ශනය වුණේ... ගෙදර ප්‍රධාන දොර ඉස්සරහම ඇදපු බලිය දැක්ක අත්තම්ම හොදටම කේන්ති අරගෙන ..

"කවුද මේ විනාශෙ කළේ?"

"අත්තම්ම මං නෙවෙයි... "
අක්කි කෙළින්ම කිව්වා... එතකොට ඉතින් මංනෙ.. මාත් වීරය වගේ බොරු කියන්න පටන් ගත්තා..
"අත්තම්ම මාත් නෙවෙයි.. "

"ඔය දෙන්න නෙවෙයි නම් මමද මේක ඇන්දෙ ?"

"දන්නෑ අත්තම්මෙ, අපි නෙවෙයි"
අක්කි ඒ පාර මං වෙනුවෙනුත් පෙනී සිටිනවා..

එක පාරටම අපේ අත්තම්ම වෙනස් වුණා.. හරිම ලස්සනට හිනා වෙලා මෙහෙම කිව්වා...

"කවුරු උනත් හරිම ලස්සනයිනෙ.. කමක් නෑ පුතේ, ඔයාල දෙන්නටත් බැරිද මේ වගේ ලස්සනට චිත්‍ර අදින්න... මේ විදියටම ඇන්දොත් මං එයාට දෙනව තෑග්ගක්..."

"මට පුලුවන් අත්තම්ම, මං අදින්නද?"
මං පටස් ගාල ගෙට දිව්වා ප්ලැටිග්නම් ගේන්න... (හනේ මෝඩ මං...) අක්කිත් දුවගෙන ආවා ...

දැන් අපි දෙන්න අදිනවා චිත්‍ර... මටනම් වැඩි වෙලාවක් ගියෙත් නෑ.. ඉකමණටම ඉවර කරපු චිත්‍රෙ දිහා බලපු අක්කිගෙ ඇස් දෙකත් ලොකු උනා..


"ඔයාද මේකත් ඇන්දේ?"

"ඔව්... " මං ආඩම්බරෙන් කිව්ව...  අත්තම්මත් කිව්වනෙ ලස්සන චිත්‍රෙ කියල..

"ඕක ටිකක් වෙනස් කරල අදිනව, නැත්නම් අත්තම්ම දැනගන්නව ඔයා තමයි මේක ඇන්දෙ කියල..."

 අක්කි පුන පුනා කිව්වත් මං නෙවෙයි ඒ ලස්සන චිත්‍රෙ වෙනස් කලේ!

ටික වෙලාවකින් අත්තම්ම ආව.. චිත්‍ර ඇන්දපු කොල දෙකම අතට ගත්තු අත්තම්මගෙන් ඊට සුලු මොහොතකට පස්සෙ මගෙ පස්සට ගුටියක් ලැබුනා.. ඊට පස්සෙ මෙහෙම කිව්ව..

"ඔය ගුටිය චිත්‍රෙ ඇන්දට නෙවෙයි බොරු කිව්වට... "

ඊට පස්සෙ අක්කියි මායි අත්තම්මයි තුන් දෙනාම එකතු වෙලා තිනර් ටිකක් ද කොහෙද දාලා අර චිත්‍රෙ මකල දැම්මා..


Monday, April 9, 2012

අතීතයට ගියෙමි ...

"පොඩ්ඩක් ඉන්නව ළමය, දැන් අතත් පුච්ච ගන්නව !"

අත්තම්ම කියනව, ඒත් අපි සැලෙයි ඔව්වට. කොහොමහරි අත්තම්ම ලිපට එහා පැත්තෙන් තියාගෙන විටින් විටේ ඒකට දාන කැවුම් ටික දිහා බලාගෙන ඉන්න එක තමයි අපේ වැඩේ..  වැඩිය උසත් නැති නිසා අක්කි ගෙනාවා පොඩි ස්ටූල් එක.. දැන් ඒකට නගිනව අපි දෙන්නම. හරි දැන් අපූරුවට පේනවා. දෙන්නම දගල දගල ඕක දිහා බලා ඉන්නකොට අත්තම්ම සැර කරනව..

"ඕක උඩ නටල දැන් වැටෙයි ළමයි.. !" ඒත් මොනා කිව්වත් කැවුම් නම් ලැබෙනවා..
බැන බැන් හරි අත්තම්ම අහනව
 "රසද ?"

"ම්ම් තේරුන් නෑ තව එකක්... "




කිව්වා වගේම තමයි .. ටික වෙලාකින් ලිපට යටින් අත්තම්ම සීරුවට ගොඩ ගහලා තියෙන දර ගොඩෙන් දර කීරක් ඇනිලා අපි දෙන්න දගලනකොට කොහොමත් වැටෙනවා... හරි දැන් අක්කි දුවනව ඉස්සරහ මිදුලට.
වැලි දාපු මිදුලෙ කට්ටිය ගොඩක් රවුමට වාඩිවෙලා බෙල්ලො දානවා... චූටි මාම, ලොකු මාමා, ලොකු පුංචි, තව එහා ගෙදර බාප්පල... ඔක්කොම මෙතන.. අපි දෙන්නත් ඔය අස්සෙ පොඩි ඉඩකින් රිංගලා වාඩි වෙනව.. අපිට ඇහෙනව අමුතුම වචන..
 "අත කාටද ? "
"පොඩි දුව දාන්න, දිනුම් ඔත්තෙයක් ද? කෝ තැන්තුව? ඒක අදින්න එපා ... "
"හරි රුපියලක් ඔට්‍ටුයි, වැටෙන්නෙ ඉරට්ටයක් .. "
"ඔට්‍ටුයි ඔත්තෙයක්.. "

එතන එක ගාලගෝට්ටියක් වගේ...  ඔය අතරෙ අපිටත් බෙල්ලො කුට්ටම අල්ලන්න චාන්ස් එක එනවා...

"ඔන්න මගෙ අත දාන්නෙ චුට්ටි, "
 ඒ චූටි මාමා, මාත් ඉතින් දන්න සෙල්ලම් දාල පංච කුට්ටම හොලවල දානවා...
"දිනුම් ඔත්තෙයක් ම වැටියන්.. "
චූටි මාමා ඒ අතරෙ මුමුණනවා.. වැරදිල හරි එයා දින්නොත් මට තවත් එයාට වාසනාව ගේන්න එතන ඉන්න වෙනව.. නැත්නම් කොහොමත් අපිව එලවනව..

අපි දුවගෙන එනවා. පහල ගෙදරට. එහේ ඉන්නෙ අපෙ අත්තම්මගෙ අය්ය. ඒ සීයාගෙ මිණිබිරීලා මුණුබුරාල අමුතුම තාලෙ ඔන්චිල්ලාවක් හදලා.. බෙල්ලො පොළේ වැඩිහිටියො නිසා කිසිම කරදරයක් නෑ හිතේ හැටියට ඔන්චිල්ලාව පදින්න පුලුවන්. පුදුම ඔන්චිල්ලාවක් තමයි . තනි ලණුවෙ ඔන්චිල්ලාවක්. පොඩි කන්දක් වගේ තියෙන වත්තේ උඩම ගහක හොදට ළනුවක් බැදල ලනුවෙ කෙළවරට ලෑලි කෑල්ලක් ගැට ගහල.. අමුතුයිම නේන්නම්..

ඔන්චිල්ලාව පදින්න පෝලිමෙ ඉන්න ඕනෙ.. මම පොඩි නිසා ඉස්සරහට යන්න චාන්ස් එක එනව.. ලෑලි කෑල්ල උඩ වාඩි වෙලා කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙනවා.. පිටිපස්සෙන් ඉන්න කට්ටිය තල්ලු දානවා,.. හම්මේ කන්ද පාමුල පැත්තට පැද්දීගෙන යනකොට හුස්මත් නතර වෙනව වගේ..




ටික වෙලාවකින් ටිකිරි අය්යට කල්පනාවක් එනව ටීම් එකම යන්න.. මම සුපුරුදු විදියට වාඩි වෙනව. මගෙ දෙපත්තෙන් අපෙ අක්කියි එහා ගෙදර අක්කයි වාඩිවෙනව. ඉඩ තියෙන තැන්වලින් අනිත් තුන් දෙනත් ලෑල්ලෙ එක කකුල ගානෙ තියාගෙන තනි ලණුවෙ එල්ලෙනවා. අඩි දෙක තුනයි යන්නෙ.. දඩෝන් ගාගෙන කඩාගෙන වැටෙනවා.. බෙල්ලො පොළේ හිටපු අයත් දුවගෙන එනවා සද්දෙ මොකක්ද කියල බලන්න.. ඔන්චිල්ලාව බදාගෙන හිටපු මම දුරටම ගිහින් ලණුවත් එක්ක රෝල් වෙලා යනකොට මගෙ පස්සෙන් අනිත් අයත් රෝල් වෙනව.. අවුලක් නෑ අපි හැමෝම නැගිටිනව.. දෙක තුනක් වදිනවා පුංචිලාගෙන් මාමලගෙන්..

 "ඕව සුපුරුදු දේවල්නෙ.. "
"ආයි හදමු, " ඒ ටිකිරි අයියා..

අපි දෙන්න අක්කියි මායි එනවා ගෙදර.. බස් එක එන සද්දෙ ඇහිල අපි දෙන්නට එක සැරේට මතක් වෙනව මද්දු පුංචිව.. කොලඹ ඉදල එන්නේ, අනිවාර්යයෙන්ම අපිට තෑගි ගේනවා.. ආයි දුවනවා පඩි පෙළ නැගල පාරට.. එනව නේන්නම්.. සුදුපාට කම්මුල් රතු වෙලා මහන්සියට..

මහන්සි අරින්න වෙලාවක් දෙන්නෙ නෑ අපි..
"මට මොනාද ගෙනාවෙ?"
අක්කියි මායි හොරෙන් හොරෙන් ගිහින් අහනවා..

ඔන්න පුංචි පොඩි කාමරේ ඇද උඩට වෙලා අර ගෙනාපු තෑගි එක එක අදිනවා.. කොහොමත් එක වගේ ලස්සන ගවුන් දෙකක් එලියට ගන්නවා.. එක වගේම උනත් අපි පුරුද්දට වගේ රංඩු වෙනවා. හිතෙන්නෙම මගෙ එකට වඩා අනිත් එක චුට්ටක් හරි ලස්සනයි වද්ද කියල... කොහොමෞනත් කොලඹ ෆැශන් ගවුන්නෙ.. අපි හිත හදා ගන්නවා..

අක්කි දුවගෙන ගිහින් කලින්ම හදාගෙන තිබුණු ලිස්ට් එකේ මද්දු පුංචි කියන නම ඉස්සරින් හරියක් දාගන්නව.. දැන් තව තෑගි එන්න තියෙන්නෙ එක පුංචි කෙනෙක්ගෙන් විතරයි.. මොකක් ලැබෙයිද දන්නෙ නැ.. එයත් එන්නෙ කොලඹ ඉදන්.. අපි හීන මවනව..

හැමදේම වෙලාවට කරන අත්තම්ම අපි කවුරුත් පෙර‍ටු කරගෙන පන්සල් යනවා.. ලොකු මාම යි චූටි මාමයි උණ වෙඩි දානවා..

ලිප පත්තු කරන නැකත එනකොට වෙලාව හරියට බලන්න ටී වී එක ළගකීපදෙනෙක් ඉන්නවා.. අත්තම්ම කොහොමත් විනාඩි ගානකට කලින් ඉදන්ම ලිප ලග හිටගෙන බුදුන් වැදගෙන ලෑස්තිවෙනව.. . පුංචි දර කීරි ටිකක් ලොකු දර කීරි ටිකක් තමන්ගෙ වෙලාව එනකන් අත්තම්ම එක්ක ලිප ළග ඉන්නවා.  කිරි මුට්ටිය කොහොමහරි උතුරවන්න බලාගෙන තවත් කට්ටිය එතන ඉන්නවා..

කවන නැකත එනකොට ලොකු පොඩි කවුරුත් පෝලිම් ගැහෙනවා.. ආයෙත් මං ඉස්සරහම.. මංනෙ පොඩිම.. ඉතින් හරිම නැකතට හැමදාම කැවෙන්නෙ මට.. කිරිබතට දාපු හකුරුද තලද තව තව ජාති එක්ක අත්තම්ම අපි කාටත් කට කට පෝලිමේ එන හැටියට කවනව, හරිම රහයි..

දැන් ගනු දෙනු කරන වෙලාව. අපි ආසම වෙලාව.. බුලත් කොලවල ඔතල පුංචි බාප්පල මාමල ඔය කවුරුත් කාටත් ගනු දෙනු කරනව.. රුපියල් දහයක් ලැබුණොත් ඒක අපිට ලොකු දෙයක්.. වැඩ අල්ලන නැකත් කියල අම්මි කියනවා පොතක් බලන්න කියල, අලුත් අවුරුද්දෙත් බැනුම් අහන්න බැරි නිසා පරණ පොතක බලියක් වගේ එකක් ඇදල අපි ශේප් වෙනව...

හිසතෙල් ගාන නැකත එනකොට අපි හැමෝම පංසලට යනවා.. ලොකු හාමුදුරුවො තමයි ඒ වැඩේ කරන්නෙ..

ඉතින් පුංචිල ආයි යන්න ලෑස්ති වෙනවා, නිවාඩු ඉවරලු ... හිතට දුක හිතෙනවා... අවුරුදු දවස් ටික අල්ලගෙන තියාගන්න පුලුවන්නම් යන්න නොදී .....

Friday, January 27, 2012

ලස්සන ගවුමක් නොමැති වීමේ විපාකය ...

 ... සීතල කාමරේක නිදහසේ පු‍ටුවේ යට හයි කරල තියෙන රෝද වලින් එහාට මෙහාට යනකොට මට මගේ අතීතය මතක් වෙනව..  මේ තත්වයට එන්න පාර කපපු, කෙණෙහිලිකම් කරපු එක එක්කෙනා මට මතක් වෙනව... 

පුංචි කාලේදි හොස්ටල් එකේ ඉන්නකොට උනු සිදුවීමක් මට මතක් වෙනව... අහිංසක බලාපොරොත්තු පොදියකට එක සැරේ පයින් ගහල විනාශ කරපු මැඩම් කෙනෙකුත්, කරපු විනාශෙ වහන්න අහිංසක උත්සාහයක් ගත්තු තවත් මැඩම් කෙනෙකුත් එක්ක මං ඇතුලු මගෙ හොස්ටල් යාලුවො දෙන්නගෙ කතාව තමයි මේ...

මේ කථාව ලියන්නෙ ලමා මනස කොයිතරම් දුරට සංවේදීද කියන එක පැහැදිලි කරන්නත් ඒ වගේම මේ විදියට හැසිරෙන ගුරුවරු එක්කෙනෙක් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මින් ඉදිරියටවත් චුට්ටක් හරි හැදෙයි කියල හිතාගෙනයි ... එහෙනම් මෙන්න කථාව...

මේ සිද්දියට මං මුහුණ දුන්නෙ පලමු පාසල දි වත් අබේරත්න සර් මගෙන් පලිගත්තු ඉස්කෝලෙදිවත් නෙවි. ඊට පස්සෙ ශිශ්යත්ව විභාගෙ පාස්වෙල හයවසරට ඇතුල් වුනු ඉස්කෝලෙදි... ගෙදරට ගොඩාක් දුරින් තමා ඉස්කෝලෙ තිබුනෙ. ඒ නිසාම අපිව හොස්ටල් දැම්මා. අපි කිව්වෙ අක්කියි මායි. මාව හයවසරට ඇතුල්කරනකොට අක්කි ඒ ඉස්කෝලෙ ඉගෙන ගනිමින් හිටියෙ. සෙනසුරාද දවල් වෙනකොට අම්ම එනවා අපිව බලන්න. මොකද අම්මත් කාර්යාලයක වැඩ. නිවාඩු සෙනසුරාදාට ඉරිදට විතරයි, ඉතිං ඔහොම අම්ම හොස්ටල් පාරෙන් මතුවෙනකං අක්කියි මායි බලාගෙන ඉන්නෙ. හරියටම අම්මගේ මූණ පේන්න පටංගන්නකොට අපි දෙන්නට ඇඩෙන්න පටංගන්නවා... ඔය ඇඩිල්ල වැඩිම අක්කිගෙ.. ඇඩීමෙ බලාපොරොත්තුව තමයි "හොස්ටල් ඉන්න බැහැ ගෙදර එක්කන් යන්න කියන එක... ".. හොස්ටල් එකක හිරවෙලා උදේ බෙල් එකට නැගිටලා කාලසටහනට වැඩ කරන්න පුංචි අපි අකැමතියි..   ඔහොම අඩන කොට අම්මිත් අන්තිමට අඩනවා.. එතකොට තමා අපි නවත්වන්නෙ ඇඩිල්ල.. "ඔයාල ඉගෙනගත්තෙ නැත්නම් මට වැඩක් නෑනෙ මගෙ රත්තරං පුතේ ... " කියලා තමා අම්මි අපෙන් සමුගෙන ගෙදර යන්නෙ... (මේ කියපු ටිකනම් කථාවට අදාල නැහ් නේද,)


ඔන්න ඔහොම ඔහොම කාලෙ යනකොට ඉන්ග්ලිශ් ඩේ එකක් ආවා. ඕකට අපිට, හය වසරෙ ලමයින්ට අයිටම් කීපයක් කරන්න අවසරය ලැබුන... 

අපේ පන්තියට මැඩම් කාන්ති තමා ඉංග්‍රීසි ඉගැන්නුවෙ. ඉතිං එයා අපිව සූදානම් කලා ඉන්ග්‍රීසි ගීතයකට. අර එක්සි මෝසිකාටෝ කියල තියෙන්නෙ.. අන්න ඒකට... ඔන්න දැන් සදුදා.. සිකුරාදට තමා උත්සවේ ලෑස්ති කරලා තිබුනේ.. සදුද, අගහරුවාද, බදාදා හොදට සින්දුව ප්‍රැක්ටිස් කලා... මුලදි ලමයි 20ක් වගේ තම්යි හිටියෙ. ගෑනු ලමයි විතරයි.... හොස්ටල් එකෙන් හිටියෙ ලමයි තුනයි මාත් එක්ක.

ඔය මැඩම් අපි ලගට ඇවිල්ල හරිම ආදරෙන් තමයි කියල දෙන්නෙ "මෙහෙම ගයන්න........ හඩ උස් පහත් කරන්න,.............. කට ඇරල කියන්න  " කියකියා ... ඒත් ඒ හැමදේම මූනිච්චාවට විතරයි කියල අපිට තේරුනේ පස්සෙ...

බදාදා මැඩම් කිව්ව අපිට මේ සිංදුවට අදින්න ඕනෙ ලස්සනම ලස්සන ගවුම්.. ඒ නිසා හෙට එනකොට මේකට හරියන ගවුමක් ගේන්න කියල... ඔන්න එතකොට තමයි අපිට, ඒ කිව්වෙ හොස්ටල් ගර්ල්ස්ලට දෙය්යො සිහි උනේ..

"අපිට හොස්ටල් එකේ ඔව්ව තියෙන්වැයි !" 

අපි ඉස්සෙල්ලම තම තමන්ගේ සූට්කේස් ඇද ඇද බැලුව..  හරියට ගවුමක් මවලවත් ඇති වගේ.. හොස්ටල් එකේ ඉතිං පාටි ෆ්‍රොක්ස් තියං ඉන්නෙ කවුද ? ඊලගට මම නම් අක්කිගෙ සූට්කේස් එක ඇදල බැලුව...

 ම්හු... නෑ.. දැන් අපි අඩනව...

ඔන්න හොස්ටල් එකේ අක්කල කීපදෙනෙකුත් අපි ගැන පහන් සිතින් හිතල එයාල ලගවත් තියෙනවද බැලුව..

ම්හු..

අපි හයවසරෙ.. පොඩි සයිස් ගවුමක් හොයාගන්න බැරිඋනා..

අම්මි එන්නෙ සෙනසුරාදා... ඒ දවස්වල ඉතිං දැන් වගේ ටෙලිෆෝන් තිබ්බෙ නෑනෙ. අම්මිගෙ ඔ‍ෆිස් එකටනම් කෝල් කරන්න තිබ්බ.. ඒත් ඒ කාලෙ හොස්ටල් එකේ ටෙලිෆෝන් නෑනෙ කියන්න.

අපේ මේ ගවුම් හෙවිල්ල මේට්‍රන් මැඩම්ටත් ආරංචි වෙලා ඒ වෙනකොට. මේට්‍රන් මැඩම් ඇරුණම අපේ හය වසරට ඉංග්‍රීසි උගන්නන තවත් මැඩම් කෙනෙක් හිටිය සශිකල කියල, හොස්ටල් එකේ නතර වෙලා.. ඔන්න මේට්‍රන් මැඩම් ශශි මැඩම්වත් එක්කරගෙන ඇවිත් ඇහුව.. අපි ඉතිං අඩ අඩ විස්තරේ කිව්වම මැඩම්ලට හරි දුකයි.. ශශි මැඩම් අර අපිට සිංදුව ප්‍රක්ටිස් කරන මැඩම්ට බයයි..මොකද එයා තරුණයි ,,, කාන්ති මැඩම් වයසයි ටිකක්... ශශි මැඩමුත් මේට්‍රන් මැඩමුත් හරිම කේන්තියෙන් හිටියෙ අපේ විස්තරෙ අහල..

"මොනාහරි කරන්න බලන්න ශශි " මේට්‍රන් මැඩම් ශශි මැඩම්ට කිව්වා.....

දැන් අපිට බයයි මේ දෙන්න රංඩු වෙයි කියල... කොහොමහරි ඉතිං කරන්න දෙයක් නැති වෙනකොට අපි අපිට තිබුණු හොදම ඇදුම අරගෙන ගියා ඉස්කෝලෙ.

පන්තිය හරියට ගෝසාව. එක ලමයෙක් වත් වාඩිවෙලා නෑ. හැමෝම එක පොදියට ගවුම්වල විසිතුරු බලනව. මාත් ඩිංගිත්තක් ඔලුව ඔබාගත්ත..

හප්පේ ලස්සන.. කර රවුමට කපල, බෝරිච්චි අත් දෙකක් දාල ඉන පොඩ්ඩක් උඩට දාල දිගට දිගේ තට්‍ටු තට්‍ටු තිබිච්චි නිසංසලාගෙ ගවුම... ලමයි ගවුම දිගෑරල දාල තිබ්බෙ ඩෙස් තුනක් එකතු කරල... මෙයා නම් අනිවාර්යයෙන්ම සින්දුවට ඉන්නව කියල අපි කාටත් තේරුනා.. වනලා තිබුනු  තමන්ගෙ ගවුම නිසංසලා ආඩම්බරෙන් අරගෙන ඒ වෙනුවෙන්ම ගෙනාපු ලොකු ෆ්‍රෙන්ච් කෝනර් බෑග් එකකට ඔබා ගද්දි රුවිනිත් ගත්ත එයාගෙ පාටි ගවුම එලියට. ඒක නම් කොටයි... ඒත් ඒකෙ පිටිපස්සෙ මහල තිබිච්චි ලස්සනම ලස්සන සමණලය !


"හානේ කවුද පුතේ මේ ලස්සන ගවුම ගෙනාවේ ? "
දිව්ය ලෝකෙ ගිහින් වගේ ගවුම්වල විසිතුරු බලපු අපිට මැඩම් පන්තියට එනවවත් දැනුනෙ නෑ.

"රුවිනි ... "

මැඩම් රුවිනිව ආදරෙන් වැලදගත්තා.. දැන් රුවිනිත් සිංදුව කියනව... ඔහොම අපිත් එක්කම එක එක්කෙනාගෙ ගවුන් බල බල ඉදල ප්‍රක්ටිස් පටංගත්ත... අපිනම් නෙවෙයි විහිලුවකටවත් බෑග් ඇරියෙ...

සිංදුව කියන අතරෙ එක එක්කෙනා ලගට ගිහින් තම තමන්ගෙ ගවුම් බලන්න ගත්ත...

ටික වෙලාවකින් මැඩම් මගෙ ලග..

"ඔයා අදින්නෙ මොකක්ද පැටියො ?"

"මැඩම් මං හොස්ටල් එකේ ඉන්නෙ... ගවුමක් ගෙනාවෙ නැහ්... "

"එතකොට මොකක්ද අදින්නෙ... ?? මං කිව්වනෙ ඊයෙ හැම ලමයටම ...  "

"මැඩම් හෙට මං අම්මිට කියල .. " මට කියන්න හම්බ උනෙ එච්චරයි ...

"හොස්ටල් එකේ ඉන්න ලමයි කවුද තව ඉන්නෙ ? ඔය ලමයින්ට කලින් කියන්න තිබුනනෙ ඉන්නෙ හොස්ටල් කියල එහෙනම් මම ඔයාලව ගන්නෙ නෑනෙ මේකට... අයියෝ මන්ද .. යන්න ගිහින් ගවුමක් හොයාගෙන එන්න... නැත්නම් ඉතිං මං මෙතන ගවුම් මහන්නද ?"

අනිත් හැම ලමයටම තියෙන අයිතිවාසිකම හොස්ටල් ලමයින්ට නැතිවෙන්නේ ඇයි කියල අපිට ඒ දවස්වල තේරුනෙ නැහ්... හයවසරෙදි ඉතිං ලමයි පොඩිනෙ.. කොල්ලො කෙල්ලො පිරිසක් ඉදිරියේ අපි තුන්දෙනාගේ මූණු තුන ඇබරිලා ගියා... අමාරුවෙන් වලක්වා ගත්තු ඇඩිල්ල පන්තිය නොපෙනෙන තරමට දුවගෙන එනකොට ඉකිබිදුමක්ම උනා... මේට්‍රන් මැඩම් අපේ හො‍ටුත් කන්දුලුත් සහිතව තිබිච්චි මූණු තුරුලු කරගත්ත... ඒ වෙලාවෙ අපෙ හොස්ටල් එකේ හිටපු ඉංග්‍රීසි මැඩම් ශශි වෙලාවට එයාගෙ රූම් එකේ හිටියා..

"කියනව සම්මානි,  මොකද උනේ ?"

"නැහ් නැහ් මැඩම් නැහ් ... "
මොනා හරි වෙලා මේ මැඩම් ල දෙන්න ඇවිලුනොත් මීට වඩා එකක් කියල හිතල මම මොකුත් නොකිය ඉන්න තීරණය කලා.

ඒ උනත් මම එහෙම හිතද්දි මගෙ යාලුඑක් ඔක්කොම කිව්ව...

මැඩම් මොනාවත් කිව්වෙ නැහ් ඒ ගැන... ගිහින් හයේ අනිත් පන්තිවලත් ඉන්න ඔය එක්සි මෝසි කාටො සිංදුවට නැති සිංදු කියන්න ආස හැම ලමේක්වම එක්කන් එන්න කිව්ව මැඩම් අලුත් සිංදුවක් පුරුදු කරනව කියල... පුංචි උනත් පලිගැනීමෙ චේතනාවක් අපේ හිතෙත් ඒ වෙනකොට ඇතුල් වෙලා තිබුනෙ..

මිනිත්තු විස්සක් විතර යනකොට ගොඩාක් ලමයි එකතු කරගෙන අපි හොස්ටල් එකේ...

 මැඩම් අපිට ලස්සන වෙන සිංදුවක් පුරුදු කලා... "වී ශැල්ල් ඕවර් කම් " කියල....

ඔය සින්දුවෙ අපි තුන් දෙනාට තනියෙම ගයන්නත් පුන්චි කොටස් කීපයක් තිබුන..

අන්දින ඇදුම විදියට කාටත් හොයාගන්න පුලුවන් සුදු පාට බ්ලව්ස් එකකුයි කලු සායකුයි තීරණය වුණා.. සුදු බ්ලව්ස් ඒ දවස්වල හැම හොස්ටල් ගර්ල් කෙනෙකුටම තිබුන... බුදුන් වදින වෙලාවට අදින්න...


උත්සවේ වෙලාවෙ අපේ සිංදුවත් ලස්සනට ගැයුව අපි.. ප්‍රේක්ශකයො අපිටත් අප්පුඩි ගැහුව... අර මැඩම්ගෙ බැබලි බැලි ආපු ලම්යි ටිකත් සිංදුව කියල බැහැල ගියා.. එයාලටත් අපිට වගේම අප්පුඩි ගහපු එක  විතරයි වුනෙ..

එදා අර විදියට පන්තියෙන් කිච උනු අපිට සිංදුවක් කියලා දීල අපිවත් ස්ටේජ් එකට ගෙනාපු ශශි මැඩම්ට මම අදත් ගෞරව කරනව.. එදා එහෙම මැඩම් තීරණය නොකලා නම් අපිට වෙන්නෙ හූල්ල හූල්ල අරගොල්ලන්ගෙ ලස්සන බලන්න විතරක් නිසා....

තවත් දෙයක් ......  මේ කාන්ති ටීචර් වෙන කවුරුවත් නෙවෙයි. අර කෘශිකර්ම පාඩම උගන්නපු සර් ගෙ නෝනා...  .........................


ප : ලි :
නම් ගම් වෙනස් කලා.. නමුත් කථාව ඇත්ත.. මේ ලිව්වෙ සම්මානිගේ ජීවිතෙ එක් අදුරු මතකයක් ...........
තවත් එකක් අවුරුද්දක් විතර යද්දි ඇඩීමෙන් ජයග්‍රහණය කළා අපි.. අම්ම ඉස්කෝලෙට කිට්‍ටුවෙන් ගෙයක් හැදුවා.. දැන් එහේ තමා අපෙ ගම ....

Friday, January 6, 2012

කෘෂිකර්ම පාඩම

බ්ලොග් එකකට කියන්න තුන් හිතකවත් තිබ්බෙ නැති කතාවක් මතක් උනා මියුරු අක්කගෙ පොස්ට් එකක් නිසා....
මෙන්න ඒ කතාව ......

අපි කාටත් 9 වසරෙදි තාක්ශණ විශයක් හදාරන්න වෙනවනේ ඒ කාලෙ... ඉතින් ඕකට අපි කලේ කෘශිකර්මය . සමහර ලමයි ගෘහ විද්යාව, මෝටර් මිකැනික්ස් ... ඔය වගේ ...
කෘශිකර්මය කල සර්ව නම් අපි කාටවත් හරි ගියෙ නෑ... සර් හැම වෙලේම නිකන් නිදි මතේ වගෙ උන්නෙ... කෘශිකර්මය තියෙනකොට ඉතින් ඩබල් පීරියඩ් තියෙනව ප්‍රැක්ටිකල් වලටත් වෙලාව ඕනෙ නිසා .... ඔය සර්ගෙ මුල්ම පාඩම උනේ එලවලු පාත්තියක් දැමීම...  සති තුනක් විතර යනකම් එලවලු පාත්තිය දැම්මා ....
ඊලග පාඩම උනේ පලතුරු වත්තක්ද කොහෙද... ඔන්න ඔය පලතුරු වත්ත තමයි මේ පෝස්ට් එකේ මාතෘකාව........

ඉතින් සර් අපිට කෘශිකර්මෙ කරන ලමයින්ට කිව්වා අඹ ඇට  විසි පහක් (25ක්) ගේන්න කියල .. ලමයි හිටිය 30 ක් විතර.. අඹ ඇට ගෙනාවොත් 750ක් නෙ.. අපි කතා උනා ඔය හැටි මොකටද කියලත් ...

"විසි පහක් ...... ඇයි සර් එච්චර ...... ??? ".

සර්ටත් එතකොට දෙන්න උත්තර නැතුව වෙන්නති මෙහෙම කිව්වා ...

"ලමයි අඹ ඇට ප්‍රරෝහණය වීම ප්‍රතිශතයක් ලෙස අඩුයි .... හරි කමක් නෑ ඔය ගොල්ලන්ට අඹ ඇට හොයාගන්න අමාරුයි නම් වෙන විකල්පයක් දෙන්නම් මම .........."

"අනේ සර් ... ඔව් වෙන මොකක්හරි කියන්න ...... අපි හොස්ටල් එකේ.. අපිට හොයන්න විදියක් නෑ... මේට්‍රන්  මැඩම් එලියට යන්න දෙන්නෙ නෑ ... "
හොස්ටල් එකේ නතර වෙලා උන්නු උන් ගෙන් බලවත් විරොදය ආවා...

දැන් කාටත් ඕන උනේ ඒ විකල්පෙට යන්න ..... මොකද අඹ ඇට විසි පහක් හොයන්න පුලුවන් කාටද ? කඩෙන් ගත්තත් දවස් 3 ක් ඇතුලත 25 ක් අරගෙන කාල ඇට ටික ගේන්න ඕනෙ . අපි ඔක්කොම සර්ගෙ විකල්පෙ මත බලාපොරොත්තු තියාගෙන සර් දිහා බලාගෙන ....

"තමුසෙලාට අඹ ඇට 25 ක් ගේන්න බැරිනම් ගේනව අඹ ගෙඩි 10 ක් ..."

අනේ අපේ සර් ගෙ හැටි ........ අපි හැම එකාම හිනා වෙන්න ගත්තා...  සර්ගෙ පවුලෙ කට්ටිය රස කර කර අඹ කන හැටි මට මැවි මැවි පෙනෙන්න ගත්තා .....

"බෑ... බෑ සර් 10 ක් බෑ ... "

"තමුසෙලාට අඹ ඇට 25 ක් ගේන්න කිව්වාම ඒකත් බෑ...  ඒ වෙනුවට අඹ ගෙඩි 10 ක් ගේන්න කිව්වම ඒකත් බෑ ... අනෙ ඇත්තට ... හරි එහෙනම් 5 ක් ගේනවලකො .."

උන්නු හැටියට මලා මදිද වගේ අපි හැමෝම කට වහගත්තා ....

හැමෝම ට්‍රයි කලේ අඹ ඇටම ගේන්න... වෙන මොකටද ඉතින් පෙරේතකමට තමයි

දවස් තුනක් විතර තිබුනු නිසා මට නම් පුලුවන් උනේ අපෙ වත්තෙයි , එහා වතු කීපෙකයි ඇවිදල අඹ ඇට 12ක් හොයාගන්න විතරයි ................ ඒ ගාන කොහොමටත් මට මදි ... හොස්ටල් හිටපු මගේ යාලුවො දෙන්නටත් හරියන්න මගේ ටාගට් එක වෙලා තිබුනේ 75ක් . ...

හොයාගන්න බැරි වෙනකොට මමනම් පොලෙන් ගෙනත් ඉස්කෝලෙට අරන් ගියා...  අර අමාරුවෙන් හොයාගත්තු 15 ක් විතරත් අරගෙන ගියා යලුවොන්ට.. එයාලත් හොස්ටල් එකේ වත්තෙන් කීපයක් හොයාගෙන හිටියා,... මගේ අඹ ගෙඩි 5 යි ,, තව ඔක්කොම අඹ ඇට 20ක් විතර තියාගෙන අපි පීරියඩ් එකට ක්ශේත්‍රයට ගියා ......... පීරියඩ් කට් කරන්න එහෙම දන්නෙ නෑ ඒ දවස්වල... කොච්චර එපා උනත් ඉගෙනගන්න ඕනෙ කියන මට්ටමේ ගොඩක් ලමයි හිටියෙ ..........

සර් අපිව වර්ග කලා කුලක දෙකකට...... හිකිස්............
අඹ ගෙනාපු ලමයි
අඹ නොගෙනාපු  ලමයි ..

ඊලගට
අඹ ගෙඩි ගෙනාපු ලමයි
අඹ ඇට ගෙනාපු ලම්යි ......

ඊලගට අඹ නොගෙනාපු ලමයින්ට බැන්නා හොදටම....
ඒ බනින වෙලාවෙ තමා අපි දැක්කෙ සමහර මෝඩ කෙල්ලො කොල්ලො ගෙනල්ල ලොකු කර්ත කොලම්බන් අඹ ..... සර්ට ...... අනේ මෝඩ යක්කු ..........  ... උන් හිතන්න ඇති සර් ඒව අපි හැමෝම එක්ක කයි කියල....
ඉතින් මමනම් ගෙනිච්චෙ පොලෙන් අඹ (පොඩිම පොඩි ඒවා) ...
ඊටත් පස්සෙ සර් එක එක ලමය ලගට ගිහින් එක එක්කෙනා ගෙනත් තිබුනු අඹ මලු දිහා බලල , කර්ත කොලොම්බන් ගෙනාපු අයට හයියෙන් "හොදයි " එහෙමත් කියල ... අඩුවෙන් ගෙනාව කියල මගේ යාලුවො දෙන්නටත් එහෙම කල අනිත් උන්ටත්  බැනල ...  මටයි මගේ යාලුවො දෙන්නටයි කිව්ව අඹ ටික එකතු කරල සර්ගෙ ගෙදරින් ගිහින් තියන්න කියල ...  කට්ටියටම කරගන්න දෙයක් නෑ .. දැන් ගෙනාපු ටික ආයෙ ගෙනියන්නයැ .... තම තමන් හිටගෙන හිටපු තැන තමන් ගෙනාපු අඹ මල්ල හලල තිබුනෙ...

"හා තමුසෙල 3 දෙන ගිහිල්ල මේක ගෙදරින් තියල එනව කිව්ව .. අනිත් ලමයි යන් මේව හිටවන්න " කිව්ව ..

අපිත් ඉතින් දෙන්නම් බැස්ටිය කියල ටස් ගාල ඒ හරියෙම තිබිච්චි ලොකු පොහොර උරයක් අරගෙන අඹ ගෙඩි ටික දාල ගත්ත.. කොල්ලො ඉරිසියාවෙන් අපි දිහා බලන් හිටියෙ........ සර්ගෙ ගෙදරට ඒ හැටි දුරක් නෑ .. අපි අඹ මල්ල අමාරුවෙන් උස්සගෙන ඉස්කෝල ගේට්‍ටුවෙන් එලියට එනකොට සිකියුරිටි අන්කල් හිනාවෙවී බලන් හිටියා.. සර්ගෙ ගෙදරට වංගු දෙකයි.... අපි කතාඋනා අඹ හොරකම් කරන්න ...

"එකක් ගමු . " ඒ දිලූශි
"අපෝ බෑ ඔය සර් ගනන් කලාද දන්නෑනෙ කීයක් තිබ්බද කියල ..." ඒ සංජනා
"නැහ් ... ඔච්චර ඉක්මනට මං හිතන් නෑ"

"එකක් ගමු .. ලොකු එකක් අර අනෝම ගෙනාපුවගෙන් එකම් එකක් ගමු "
"බැ එකෙන් ගත්තොත් අහුවෙනව.. ඒව තමා ලොකුම ඒව.. ඒ ගෙඩි පහෙන් එකක් අඩු වුනු ගමන් සර් දන්නව අපි කියල ....... "
"නුවන් ගෙනාවෙ විලාඩ් ... ඒකෙනුත් බෑ"
"අනේ හලෝ එතකොට අපිට කන්න වෙන්නෙ කොහු අඹද ?"

අපි කතා වෙවී එනකොට සර්ගෙ නෝනයි පොඩි දුවයි ගෙදර ගේට්‍ටුව ලගම ,...
"මැඩම් මේක සර් දෙන්න කිව්ව"
කියපු අපි අඹ මල්ල එතැනින් තියල දුවගෙන සර්රුයි ලමයිනුයි අඹ ඇට හිටවපු තැනට ආව ...........

ප: ලි : සම්පූර්ණ සත්ය සිදුවීමකි.....

Wednesday, December 21, 2011

අබේරත්න සර් මගෙන් පලි ගත්තේය....

ඔන්න ඉතින් මම කලින් දවසක කිව්වනේ මගේ පලවෙනි ඉස්කොලේ ගැන.. ඒකේ මම හිටියෙ අවුරුදු දෙකකට කිට්‍ටු කාලයක්... මේ දැන් කියන්න හිතුවේ ඒ ඉස්කොලෙන් අයින් වෙලා මම නගරේ ලොකු ඉස්කොලෙට දාපු මුල් කාලේ සිදු උනු සිද්දියක්...

ඔය ඉස්කොලෙට යන්න කලින් මට ඇඩ්මිශන් ටෙස්ට් එකකටත් ලියන්න උනා... ඒකට මාව එක්කරගෙන ගියෙත් අපේ අත්තම්ම,,, මට මතකයි ඒකෙ එක ටීචර් කෙනෙක් කියපු සිංහල වචන මම ලිව්ව... තව මොනාද වගයකුත් තිබුනා ඉතින්... ඔව්ව ඔක්කොම මතක තියාගන්නෙ කොහොමද නේද? ටෙස්ට් එක ඉවර වෙලා ඒ ටීචර් ලොකු අකුරෙන් "ඉතාම හොදයි" කියලා ලිව්වා...

මට මගේ පුන්චි හිතට එදා ලොකු සතුටක් දැනුන..
මට මතක හැටියට ඉස්සෙල්ලම මාව කවුරුහරි අගය කලේ එදා... ඉතින් මම උඩ පැනගෙන ඇවිත් අත්තම්මට පෙන්නුවා පොත...
අත්තම්මත් ලේසි නෑ.. කියපි "ඉතාමත්ම හොදයි කියල තිබ්බනම් තමයි හොද..."
ඕන් උත්තරේ... පොත අත්තම්මගේ බෑග් එකට දාල ගෙදරට එන කිලෝමීටරයක් දුරම ගල්වලට පයින් ගහ ගහ ආවා මං....
මාව ලොකු ඉස්කෝලෙට දැම්ම.. ..  තාමත් මතකයි අක්කි එයාගෙ පන්තිය ඉස්සරහ දොර ලග එයාගෙ දකුනු අත කටේ දාගෙන අම්මයි මායි දිහා බලාන හිටියා.. අක්කිගෙ දත් දෙකක් තිබ්බෙ නැති එක මට මතකයි...

අහ් තව එකක් ... අම්ම සාරිය ඇදගෙන මාව එක්කන් යනකොට අක්කිගෙ පන්තියෙ ලමයෙක් දුවගෙන ඇවිත්

"මැඩම් අරකි මට බෝතලෙන් ගහුවා... "
අම්මි සාරිය අදල හින්ද ඒ ලමය හිත්ල අම්මි ටීචර් කෙනෙක් කියලා.... හික් හික්.....
ඔන්න දැන් තමයි මම කියන්න හිතපු කාරණාව එන්නේ... මම ටෙස්ට් එකෙන් ලකුනු ගත්තට මාව හොදම පන්තියට ඇතුලත් කරගත්තෙ නෑ. එහෙ පන්ති පහක් විතර තිබුනා.. A පන්තියෙ හිටියෙ හොදම අය කියල ඒකටනම් කොහොමටවත් දාන්න බැ කියල අබේරත්න සර් අම්මට කියනව මම අහගෙන හිටියේ. ඒ සර් තමා අංශ භාර සර්... අබේරත්න සර්ගෙ ලමයත් ඒ පන්තියෙ හිටිය.....  අපේ අම්මත් ඉතින් බොහොම අමාරුවෙන් තර්ක විතර්ක කරල බැරි තැන පසු බැස්ස... ඒත් මම එක දවසයි D පන්තියෙ හිටියෙ... අම්ම වෙන ටීචර් කෙනෙකුට කියල මාව A පන්තියට දැම්ම... ජයසේකර සර් තමයි ඒ පන්තියට ඉගන්නුවෙ... සාමාන්ය යෙන් නම් පොඩි පන්තිවලට උගන්නන්නෙ මිස්ලනේ.. ඒත් ඒකෙ ඉගන්නුවෙ වයස 50ක් විතර උනු ජයසේකර සර්....
මුල් දවස්වල්දිම මට තේරුන පන්තියෙ ඉන්න ගොඩක් ලමයි ගුරුවරුන්ගෙ ලමයි... මාව ඒ පන්තියේ ඉන්දුව උනාට නම තිබුනේ D පන්තියෙ... නම මාර්ක් කරන වෙලාවට අබේරත්න සර් නම් පොත උස්සගෙන එනවා.. හැමදාම අහනව

"මේ පන්තියෙ තාත්තල නැති ලමයි නැගිටින්න කියල..."

එකදවසක් නෙවේ දෙකක් නෙවෙයි හැමදාම... ඒක අහනවා... මම නැගිටින්න ඕනේ... තව එක ලමයෙක් නැගිට්ට එයාගෙ නම සිරියලතා ද කොහෙද..එතකොට සර් කියනවා එයාට

"ඔය ලමය වාඩිවෙන්ඩ..."

ඔන්න ඔහොමයි සර් මගෙ නම මාර්ක් කරගන්නේ ආව කියල.... සර්ට තරහ තිබුනේ අම්මි එක්ක මාව කොහොමහරි මේ පන්තියට දාපු එක ගැන... මම මේක ගෙදර ගිහින් කිව්වෙ නැ.. මොකද අපෙ තාත්ති අපි පුංචිම කාලෙදි තමයි නැතිවෙලා තියෙන්නේ .... අම්ම කවදවත් අපිට අම්ම දුකෙන් ඉන්න බවක් පෙන්නුවේ නැ.. එ වගේම තාත්ති ගැන අපි දෙන්න එක්ක කතා කලෙත් නැ තේරෙන වයස එනකම්ම්... අක්කියි මමයිත් කවදවත් තාත්ති ගැන කතා වෙලා නැ,,, ඉතින් මට තාත්ති කියන වචනෙවත් හුරු නැති නිසා ඒ ගැන කතාකරන්න ලැජ්ජ හිතුන..

තවත් එකක්... මම පුංචි කාලෙ ගොඩක් පොඩි ලමයෙක් කියල මගෙ කලින් පෝස්ට් එකේ මම ලිව්වෙ... මේ ඉස්කොලෙදිත් මට ලමයි නමක් දම්ම මගෙ මිටි බව කියලා.. ඒ ලමයි මට කතා කලෙත් නංගි කියලා... .... ගුරුවරුන්ගේ ලමයි තමයි එහෙම කලේ.. උන් එහෙ මෙහෙ යනකොට මට ටොකු අනින්න ගත්තා,,... මේකනම් මට ඉවසන්න බැරි උනා.. මේක ගෙදර ගිහින් අම්මිට කිව්වම ඊලග දවසෙ අම්මි ජයසේකර සර්ට කියලා තිබුනා .. ඒ ප්‍රශ්නේනම් නැතිඋන... ලමයිනේ උන් බයට ඒක නැවැත්තුවා.. ඒත් අර අබේරත්න සර්ගෙ ප්‍රශ්නෙ ඇහිල්ල නම් මාස දෙකක් විතර තිබුනා... මම තුන වසරට යනකන්ම...

මගේ නම නිල වශයෙන් A පන්තියෙ නම් පොතට ඇතුලත් උනේ දෙක වසරෙ අන්තිම ටෙස්ට් එකෙදි මම A පන්තියෙ පලවෙනිය උනාට පස්සේ,,, එදානම් අම්මි එපා කියද්දිම අපේ අත්තම්ම අබේරත්න සර් හම්බ වෙන්න ඉස්කෝලෙට ඇවිත් "අබේරත්න සර්ට  කිව්වෙ ඒකනෙ  දරුව A පන්තියට ගන්න කියල...." කියල ගියා.
අත්තම්ම හරිද වරදිද කියල මම හිතුවෙත් නැ, හිතන්නෙත් නෑ... ඒත් සර් පුන්චි ලමයෙක්ගෙන් පලි ගත්ත එකනම් වැරදි විදියට තමයි මට දැනෙන්නේ...

අහ් ... දාන්වද නොදානවද කියල හිතල හිතලා  මේ ටිකත් දාන්නම හිතුව... අබේරත්න සර් ගෙ පුතා දැන් ත්‍රීවිල් එලවනවලු....

Monday, December 19, 2011

මම ගෙදර යතුර වුනෙමි...

සෑහෙන දවසකින් බ්ලොග් එක ලියන්න බැරි උනානේ.. හරිම බිසි උනා. දැන් පොඩ්ඩක් විතර විවේකයක් අරගෙන ලියන්න හිතුව පොඩි කාලේ මට සිද්ද වෙච්චි දෙයක්...

මම පුන්චි කාලේ හරිම මිටියි.. කෙට්‍ටුයි...ඉතින් මේ වාසනාවට හෝ අවාසනාවට මට ලැබිචිචි පුංචි ශරීරෙ නිසා මට බොහොම අමතක නොවෙන සිදුවීම් තියෙනවා. මේ එවගෙන් ඒකක්...

මට අවුරුදු පහේදි විතර අපේ ගෙදර හැදුවෙ... ඒක අපේ අත්තම්මලගේ ගෙදරට පහලින් තමයි තිබුනේ...
.. අපේ තාත්තා මම පුන්චි කාලෙ නැති උනේ.. මට ඒ හැටි මතකයක් නැ ඒ ගැන.. ඒ නිසාමයි අපේ අම්ම වැඩිය ඈතට නොයා මහගේ කිට්‍ටුවෙන්ම ගෙයක් හැදුවෙ... ගේ හැදුව උනත් අපි රෑට ඒ ගෙදර හිටියෙ නෑ. උදේට ගිහින් අම්ම ලේස්ති වෙනවා ඔ‍ෆිස් යන්න.. අපි යන්නේ පුන්චිලත් එක්ක.. එයාලත් ඉස්කොලේ යන්න ලැස්ති වෙන්නෙ අපේ ගෙදරදි.. මොකද ඒ ගෙදර ලයිට් තිබුනා.. මහ ගෙට ලයිට් තිබුනෙ නැ,, හවසට
නිදාගන්න අපි අත්තම්මලගේ ගෙදර එනවා.. සමහර දවස්වලට රැට අත්තම්මලගේ ගෙදරම ඉන්නවා කම්මැලි හිතුනම ... ගේ හදල මුල් දවස්වලනම් අපි ආසාවෙන් උදේට ගියා.. ... ඒත් ඉතින් පහුවෙනකොට උදේම
නැගිටින්න ඕනෙ කියල මතක් වෙනකොට එපාම  උනා.. අපි එතකොට නිදි වගේ ඉන්නවා හොරට.. දවසක් දා තමයි හොදම හරිය උනෙ... කවුරුහරි අතින් ගෙදර යතුර නැති වෙලා..
උදේ පාන්දර එක යුද්දයයි.. කට්ටිය යතුර හොයනවා...
හොයල හොයල බැරි තැන කට්ටියම ගියා මොනා හරි කරලා දොර ඇර ගන්න..
ඔය ගෙදර තිබුන දොර අර යතුර නොදාම ඇද්දම ලොක් වෙන එකක්... යතුර නැති උනාට ඇතුලින් දොර අරින්න පුලුවන්.. අය්යෝ දැන් අපේ පුන්චිල
ටික විසදුම් කල්පනා කරනවා.. හීල් පාන්දරක.. ..   මට පුංචිලා හතර දෙනයි... දැන් හතර දෙනාම ඇවිල්ලා.. ඒ වෙද්දි එයාලත් ඉස්කොලේ යනවනේ.. ඉක්මනට දොර ඇර ගත්තෙ නැත්නම් එයාලටත් පරක්කු
වෙනවනෙ.. එක්කෙනෙක් කියනවා...

 "හරි හරි ලොකු අක්කෙ එන්න, මේ ජනෙලේ අර ගන්න පුලුවන් වගේ... ඒක අර ගත්තොත් කොස්ස දාල
දොරේ ලොක් එක පන්නන්න පුලුවන්... "

අපේ අම්ම;
"අහ් ඔව්මයි බලන්න, වෙලාවට ඊයේ ජනෙලේ හරියට වහලා නැ... " 

තව පුන්චි කෙනෙක් වහලේ හිස්තැනක් හෙව්ව රින්ගන්න... අය්යෝ වෙලාවට එහෙම තැනක් තිබ්බේ නැ... දැන් අම්මා බනින්න පටන්ගත්තා..
"අය්යෝ මේ ලමයි දෙන්නා මොන ලෝකෙක යතුර දාලද, මේගොල්ලන්ගේ වැඩ නිසා මට ඔ‍ෆිස් යන්නත් පරක්කු වෙනවා.. හොදට මතක් කරනවා ලමයො කොහෙද දැම්මේ ?? අක්කි කියනවා බලන්න කවුද යතුර ගත්තේ??"

අම්මා ගියා යතුර හොයන්න ආපහු සැරයක්...
.. යතුරක් මටනම් මතකයක් නෑ. අඩුම තරමින් දොරක් අරින්න යතුරක් ඕනෙද කියලවත් අපි දෙන්නට ගානක් නෑ.. අපි කෝකටත් ගලක් උඩට වෙලා පුන්චිලාගෙ මහා මිශන් එක දිහා බලාගෙන හිටියා.. ඔන්න බොලේ මගේ පොඩිම පුන්චා හොයගත්තනෙ ක්‍රමයක්.. ඇරියනෙ ජනේලේ... දැන් තමයි වැඩේ.. එක්කෙනෙක් දුවගෙන ගිහින් ගෙනාව කොස්ස. ම්ම්හ් කොස්ස දැම්ම

" ... දිග මදි... අය්යෝ.. ඉවරයි දන් මොකක්ද කරන්නෙ ? ඉස්කොලේ යන්න පරක්කු වෙනවා.. "

ඒ ජනේලෙට දැන් වගේ ග්‍රිල් තිබ්බේ නෑ. හරහට යකඩ බට ගහලා තිබුනේ. කට වහගෙන ඉදලා ඉදලා මගේ දෙවනි පුන්චි දුන්නා නෙවි යස උත්තරයක්..

 "පොඩ්ඩිව දාමු මේ ජනෙලෙන්"

බුදු හාමුදුරුවනේ  මුන්දල ටික එකතු වෙලා මාව මේක අස්සට දාන්න ප්ලෑන. ලයි‍ටුත් නෑ ඇතුලේ..

"අනේ මගේ සුදු නෝනා ගිහින් දොර අරින්න හොන්දද !"

දැන් මාව උස්සලා ගත්ත හරහට මගෙ පුන්චිලා සෙට් එක ...  ඔන්න ඉස්සල්ලා කකුල් දෙක ඇතුලට දාල කට්ටිය ටික ටික මාව තල්ලු කලා.. ජනෙලෙන් එහා පත්තේ තිබ්බේ ඇදක්... ඒ නිසා මම ටික ටික එලියේ ඉදන් ඇදට වැටෙනවා.. අමාරුම හරිය තම්යි ඔලුව දාපු එක... එක පුන්චි කෙනෙක් මාව අල්ලගෙන ඉදිද්දි මගෙ ඔලුව තව එක්කෙනෙක් හරවල ඇතුලට තල්ලු කලා... හපොයි මම සම්පූර්නයන්ම ඇදට ව‍ටුනා.. වීරය වගේ මම ගිහින් දොර ඇරිය... ඒ ඩින්ගට පුන්චිලා සෙට් එක ඉස්සරහ දොර ලග...

කොහොමහරි එදා දවස ගෙවුනා... ඊට පස්සේ මේ කට්ටිය හැමදාම මාව අර ජනේලෙන් තල්ලු කරන්න පටන්ගත්තා .. යතුර හොයගන්න කාටවත් උවමනාවක් නෑ. වෙනදට සමහර දවස්වලට මම උදේට ගෙදර යන්නෙත් නෑ. අත්තම්ම ලගට වෙලා ගුලිවෙල නිදියනව.. ගෙදර යතුර මම උනාට පස්සේ මම හැමදාම යන්න ඕනේ..  අක්කි සැපට නිදි ... ඔන්න මම යතුරේ රාජකාරිය කරන දවස් තුනක් හතරක් ගෙවුනා.. දෙන්නම් වැඩක් කිය කියා ඉදලා මම එදා මාව ඇතුලට දැම්මට පස්සේ දොර අරින්නේ නැතුව ඇදේ නිදාගත්තා. නින්දනම් ගියෙ නැ.. බොරුවට පොඩි වෙලාවක් හිටියා.. එදා මගේ ලොකු පුන්චි විතරයි හිටියේ..  මට බනිනවා බනිනවා දොර අරින්න කියලා... මම හෙමිහිට හෙමිහිට ගිහින් දොර අරිනකොටම උදේ පාන්දරින් වැදුනා ගුටියක්..

ඊට පස්සේ නම් ආය මට ගෙදර යතුර වෙන්න උනේ නෑ.. අම්ම ඒකට ඉබ්බෙක් කාටද කියලා දාල තිබුනා...

Friday, December 9, 2011

පළමු පාසැල ...

මම අද ලියන්නේ මගේ පුන්චි කාලේ මතකයක් ගැන.

මම ඉපදුනේ බොහොම දුශ්කර දුප්පත් ගමක යමක් කමක් යාන්තමින් තියෙන පවුලක. අම්මා රස්සාවක් කරන නිසා මම හැදුනෙ වැඩුනේ අත්තම්මාත් එක්කමයි.. මම නැගිටිනකොට අම්මා ඔ‍ෆිස් ගිහිල්ලා. එකම සිසී ඉස්කෝලේ ගිහිල්ලා. ඉතින් හැමදේටම හිටියේ අත්තම්මා තමයි...

අත්තම්ම එක්ක ඉන්නකොට මටත් හරි වැඩ තමයි තියෙන්නේ... අපි දෙන්නගේ වැඩේම හේනට කුබුරට යන එක තමයි...   ඔන්න කොහොමහරි දවසක් මම මෙහෙම යනකොට දැක්කා ලොකු පිට්ටනියක් .. එක ම එක පොඩි මඩුවක් වගේ එකක් තිබුණා. පොඩි ලමයි පිට්ටනියේ සෙල්ලම් කරනවා.. දැන්නම් හිතෙනවා දුයිශෙන්ගේ ඉස්කොලේ වගේද කියලත්....අත්තම්මා කිව්වේ ඒක ඉස්කෝලයක් කියලා. මම කිව්වා මටත් යන්න ඔනේ කියලා... වයස හරි ගියාම දාන්න බැරියයි කිව්ව නිසා මට වයස හරියනකන් බලන් ඉන්න උනා... මගෙ වයස හරි ගියා ඉතින් ඔහොම ඔහොම යනකොට....

අම්මාගෙ ප්ලෑන තිබුනේ නගරේ තිබුනු අක්කිගේ ලොකු ඉස්කෝලෙට දාන්න උනත් එක්කන් එන්න කරදරයි කියා ගමේ පොඩි ඉස්කෝලෙට මාව දානව කියලා අත්තම්මා කිව්වා... මට ලොකු පොඩි වෙනසක් තෙරෙන වයසක් නෙවෙයිනෙ .. මාත් එක පයින්..  ඔන්න පලවෙනි දවස ඉස්කෝලෙ... අත්තම්මයි මායි ගියා.. එක එක ලමයි එක එක ඇදුම්... ඇත්තමයි මේක බලන ඔයාලත් කවදහරි පාට ඇදුම් වලින් ඉස්කෝලෙ ගිහින් තියෙනවද ඈ ? මම ඇදගෙන ගියේ කලිසමකුයි ඒ රෙද්දෙන්ම මහපු බ්ලවුස් එකක් වගේ එකක් .. දැන්නම් මට හිතෙනවා මම එදා ඇදන් ගිහින් තියෙන්නේ පිජාමා එකක්වද්ද කියලත්... කොහොම හරි මම ඒ පිජාම එක ඇදගෙන අවුරුදු දෙකක්ම ගියා ඒ ඉස්කෝලෙට...... ....

ඊට පස්සේ නගරේ ලොකු ඉස්කෝලෙට මාව දාපු දවසේ තමයි මම සුදු ගවුමක් ඇන්දෙ...

දැන් නම් ගමේ යන්න වෙන්නේ කලාතුරකින් .. ඒත් ගියාම තාමත් නිකමට වගේ ඉස්කෝලේ බලන්න යනවා....  විශ්වාස කරන්නත් බැරි එදා තිබුනු විදියටමයි තාමත් ඉස්කෝලෙ තියෙන්නේ. කිසිම වෙනසක් නෑ. ...

Thursday, December 8, 2011

ඩේ කෙයාර්

මේ කතාව මගේ අත්දැකීමක් ..
මේ කියන කාලෙ වෙනකොට අපිට හිටියේ අපිම විතරක් කිව්වොත් තමා හරියටම හරි. එහෙම වුණු හැටි පස්සෙ කියමුකො .. 

ඉතින් මමත් මගේ කාර්යබහුල සැමියත් කතා වුණා අපේ පුංචි පැටියව ඩේ කෙයාර් එකකට දාන්න. මොකද දෙන්නම රස්සාවට ගියේ නැත්නම් ඉතින් වෙන සන්තෑසිය අපි කවුරුත් දන්නවා නෙව .. මේ ඩේ කෙයාර් එක අපේ ගෙදර ළගමයි .. ඉතින් හරි ලේසියි. උදේට ගිහින් බබාව දාලා අපි වැඩට ගියා. මුලදි ගානක් නෑ බබා හොදින් හිටියා. ඒත් පහු වෙනකොට දරුවා  ඩේ කෙයාර් එක දැක්ක ගමන් බෙල්ල බදාගන්නවා. අපිට හරිම දුකයි. කොහොමත් මේ විදියට පැටියව ඩේ කෙයාර් දාන්න බෑ කියල අපි තේරුම් ගත්තා. මම හිත හදාගෙන රස්සාවෙන් අස්වෙන්න තීරණය කළා. හැම දේම කරන්නේ දරුවා ගැන හිතලනම්  රස්සාව නැතිවුණා කියල අපි වැටෙන්නෙ නෑ කියල හිත හදාගෙන අස්වීමේ ලිපිය අරන් ගියා. එදාම බබාට උණ කියලා ඩේ කෙයාර් එකෙන් කතා කරල කිව්ව ටික වෙලාවකින්. හදිසියෙන්නේ මම ඉක්මණට ආවා. බබා අරගෙන ඉස්සෙල්ලා ගෙදර ආවා. බබා නිදි. මම එයාගෙ පැම්පර්ස් එක අයින් කරන්න ගියේ. එතකොටයි දැක්කෙ ඩේ කෙයාර් එකෙ කට්ටිය පැම්පර්ස් එක අන්දලා තිබිච්චි අපූරුව. මම හිතන්නෙ පැම්පර්ස් එක අන්දන්න යනකොට එක පැත්තක ඇලවෙන කොටස කැඩිලා තියෙනවා. ඒ නිසා මෙයාලා පුලුවන් තරමින් ඇදල අරගෙන නැපි කට්ටක් ගහල තිබුණා. නැපි කටුව ඉණට තද වෙලා එතන පාර හිටලා කලු වෙලා. මගෙ දරු පැටියට හොදටම රිදෙන්න ඇති. නිදි දරුව තුරුලු කරගෙන මම හොදටම ඇඩුව. ආයෙ කවදාවත් ඩේ කෙයාර් එකකට දාන්නෙ නෑ කියල හිතුව. මම රස්සාවෙන් අස්වුණා.