... සීතල කාමරේක නිදහසේ පුටුවේ යට හයි කරල තියෙන රෝද වලින් එහාට මෙහාට යනකොට මට මගේ අතීතය මතක් වෙනව.. මේ තත්වයට එන්න පාර කපපු, කෙණෙහිලිකම් කරපු එක එක්කෙනා මට මතක් වෙනව...
පුංචි කාලේදි හොස්ටල් එකේ ඉන්නකොට උනු සිදුවීමක් මට මතක් වෙනව... අහිංසක බලාපොරොත්තු පොදියකට එක සැරේ පයින් ගහල විනාශ කරපු මැඩම් කෙනෙකුත්, කරපු විනාශෙ වහන්න අහිංසක උත්සාහයක් ගත්තු තවත් මැඩම් කෙනෙකුත් එක්ක මං ඇතුලු මගෙ හොස්ටල් යාලුවො දෙන්නගෙ කතාව තමයි මේ...
මේ කථාව ලියන්නෙ ලමා මනස කොයිතරම් දුරට සංවේදීද කියන එක පැහැදිලි කරන්නත් ඒ වගේම මේ විදියට හැසිරෙන ගුරුවරු එක්කෙනෙක් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මින් ඉදිරියටවත් චුට්ටක් හරි හැදෙයි කියල හිතාගෙනයි ... එහෙනම් මෙන්න කථාව...
මේ සිද්දියට මං මුහුණ දුන්නෙ පලමු පාසල දි වත්
අබේරත්න සර් මගෙන් පලිගත්තු ඉස්කෝලෙදිවත් නෙවි. ඊට පස්සෙ ශිශ්යත්ව විභාගෙ පාස්වෙල හයවසරට ඇතුල් වුනු ඉස්කෝලෙදි... ගෙදරට ගොඩාක් දුරින් තමා ඉස්කෝලෙ තිබුනෙ. ඒ නිසාම අපිව හොස්ටල් දැම්මා. අපි කිව්වෙ අක්කියි මායි. මාව හයවසරට ඇතුල්කරනකොට අක්කි ඒ ඉස්කෝලෙ ඉගෙන ගනිමින් හිටියෙ. සෙනසුරාද දවල් වෙනකොට අම්ම එනවා අපිව බලන්න. මොකද අම්මත් කාර්යාලයක වැඩ. නිවාඩු සෙනසුරාදාට ඉරිදට විතරයි, ඉතිං ඔහොම අම්ම හොස්ටල් පාරෙන් මතුවෙනකං අක්කියි මායි බලාගෙන ඉන්නෙ. හරියටම අම්මගේ මූණ පේන්න පටංගන්නකොට අපි දෙන්නට ඇඩෙන්න පටංගන්නවා... ඔය ඇඩිල්ල වැඩිම අක්කිගෙ.. ඇඩීමෙ බලාපොරොත්තුව තමයි "හොස්ටල් ඉන්න බැහැ ගෙදර එක්කන් යන්න කියන එක... ".. හොස්ටල් එකක හිරවෙලා උදේ බෙල් එකට නැගිටලා කාලසටහනට වැඩ කරන්න පුංචි අපි අකැමතියි.. ඔහොම අඩන කොට අම්මිත් අන්තිමට අඩනවා.. එතකොට තමා අපි නවත්වන්නෙ ඇඩිල්ල.. "ඔයාල ඉගෙනගත්තෙ නැත්නම් මට වැඩක් නෑනෙ මගෙ රත්තරං පුතේ ... " කියලා තමා අම්මි අපෙන් සමුගෙන ගෙදර යන්නෙ... (මේ කියපු ටිකනම් කථාවට අදාල නැහ් නේද,)
ඔන්න ඔහොම ඔහොම කාලෙ යනකොට ඉන්ග්ලිශ් ඩේ එකක් ආවා. ඕකට අපිට, හය වසරෙ ලමයින්ට අයිටම් කීපයක් කරන්න අවසරය ලැබුන...
අපේ පන්තියට මැඩම් කාන්ති තමා ඉංග්‍රීසි ඉගැන්නුවෙ. ඉතිං එයා අපිව සූදානම් කලා ඉන්ග්‍රීසි ගීතයකට. අර එක්සි මෝසිකාටෝ කියල තියෙන්නෙ.. අන්න ඒකට... ඔන්න දැන් සදුදා.. සිකුරාදට තමා උත්සවේ ලෑස්ති කරලා තිබුනේ.. සදුද, අගහරුවාද, බදාදා හොදට සින්දුව ප්‍රැක්ටිස් කලා... මුලදි ලමයි 20ක් වගේ තම්යි හිටියෙ. ගෑනු ලමයි විතරයි.... හොස්ටල් එකෙන් හිටියෙ ලමයි තුනයි මාත් එක්ක.
ඔය මැඩම් අපි ලගට ඇවිල්ල හරිම ආදරෙන් තමයි කියල දෙන්නෙ "මෙහෙම ගයන්න........ හඩ උස් පහත් කරන්න,.............. කට ඇරල කියන්න " කියකියා ... ඒත් ඒ හැමදේම මූනිච්චාවට විතරයි කියල අපිට තේරුනේ පස්සෙ...
බදාදා මැඩම් කිව්ව අපිට මේ සිංදුවට අදින්න ඕනෙ ලස්සනම ලස්සන ගවුම්.. ඒ නිසා හෙට එනකොට මේකට හරියන ගවුමක් ගේන්න කියල... ඔන්න එතකොට තමයි අපිට, ඒ කිව්වෙ හොස්ටල් ගර්ල්ස්ලට දෙය්යො සිහි උනේ..
"අපිට හොස්ටල් එකේ ඔව්ව තියෙන්වැයි !"
අපි ඉස්සෙල්ලම තම තමන්ගේ සූට්කේස් ඇද ඇද බැලුව.. හරියට ගවුමක් මවලවත් ඇති වගේ.. හොස්ටල් එකේ ඉතිං පාටි ෆ්‍රොක්ස් තියං ඉන්නෙ කවුද ? ඊලගට මම නම් අක්කිගෙ සූට්කේස් එක ඇදල බැලුව...
ම්හු... නෑ.. දැන් අපි අඩනව...
ඔන්න හොස්ටල් එකේ අක්කල කීපදෙනෙකුත් අපි ගැන පහන් සිතින් හිතල එයාල ලගවත් තියෙනවද බැලුව..
ම්හු..
අපි හයවසරෙ.. පොඩි සයිස් ගවුමක් හොයාගන්න බැරිඋනා..
අම්මි එන්නෙ සෙනසුරාදා... ඒ දවස්වල ඉතිං දැන් වගේ ටෙලිෆෝන් තිබ්බෙ නෑනෙ. අම්මිගෙ ඔෆිස් එකටනම් කෝල් කරන්න තිබ්බ.. ඒත් ඒ කාලෙ හොස්ටල් එකේ ටෙලිෆෝන් නෑනෙ කියන්න.
අපේ මේ ගවුම් හෙවිල්ල මේට්‍රන් මැඩම්ටත් ආරංචි වෙලා ඒ වෙනකොට. මේට්‍රන් මැඩම් ඇරුණම අපේ හය වසරට ඉංග්‍රීසි උගන්නන තවත් මැඩම් කෙනෙක් හිටිය සශිකල කියල, හොස්ටල් එකේ නතර වෙලා.. ඔන්න මේට්‍රන් මැඩම් ශශි මැඩම්වත් එක්කරගෙන ඇවිත් ඇහුව.. අපි ඉතිං අඩ අඩ විස්තරේ කිව්වම මැඩම්ලට හරි දුකයි.. ශශි මැඩම් අර අපිට සිංදුව ප්‍රක්ටිස් කරන මැඩම්ට බයයි..මොකද එයා තරුණයි ,,, කාන්ති මැඩම් වයසයි ටිකක්... ශශි මැඩමුත් මේට්‍රන් මැඩමුත් හරිම කේන්තියෙන් හිටියෙ අපේ විස්තරෙ අහල..
"මොනාහරි කරන්න බලන්න ශශි " මේට්‍රන් මැඩම් ශශි මැඩම්ට කිව්වා.....
දැන් අපිට බයයි මේ දෙන්න රංඩු වෙයි කියල... කොහොමහරි ඉතිං කරන්න දෙයක් නැති වෙනකොට අපි අපිට තිබුණු හොදම ඇදුම අරගෙන ගියා ඉස්කෝලෙ.
පන්තිය හරියට ගෝසාව. එක ලමයෙක් වත් වාඩිවෙලා නෑ. හැමෝම එක පොදියට ගවුම්වල විසිතුරු බලනව. මාත් ඩිංගිත්තක් ඔලුව ඔබාගත්ත..
හප්පේ ලස්සන.. කර රවුමට කපල, බෝරිච්චි අත් දෙකක් දාල ඉන පොඩ්ඩක් උඩට දාල දිගට දිගේ තට්‍ටු තට්‍ටු තිබිච්චි නිසංසලාගෙ ගවුම... ලමයි ගවුම දිගෑරල දාල තිබ්බෙ ඩෙස් තුනක් එකතු කරල... මෙයා නම් අනිවාර්යයෙන්ම සින්දුවට ඉන්නව කියල අපි කාටත් තේරුනා.. වනලා තිබුනු තමන්ගෙ ගවුම නිසංසලා ආඩම්බරෙන් අරගෙන ඒ වෙනුවෙන්ම ගෙනාපු ලොකු ෆ්‍රෙන්ච් කෝනර් බෑග් එකකට ඔබා ගද්දි රුවිනිත් ගත්ත එයාගෙ පාටි ගවුම එලියට. ඒක නම් කොටයි... ඒත් ඒකෙ පිටිපස්සෙ මහල තිබිච්චි ලස්සනම ලස්සන සමණලය !
"හානේ කවුද පුතේ මේ ලස්සන ගවුම ගෙනාවේ ? "
දිව්ය ලෝකෙ ගිහින් වගේ ගවුම්වල විසිතුරු බලපු අපිට මැඩම් පන්තියට එනවවත් දැනුනෙ නෑ.
"රුවිනි ... "
මැඩම් රුවිනිව ආදරෙන් වැලදගත්තා.. දැන් රුවිනිත් සිංදුව කියනව... ඔහොම අපිත් එක්කම එක එක්කෙනාගෙ ගවුන් බල බල ඉදල ප්‍රක්ටිස් පටංගත්ත... අපිනම් නෙවෙයි විහිලුවකටවත් බෑග් ඇරියෙ...
සිංදුව කියන අතරෙ එක එක්කෙනා ලගට ගිහින් තම තමන්ගෙ ගවුම් බලන්න ගත්ත...
ටික වෙලාවකින් මැඩම් මගෙ ලග..
"ඔයා අදින්නෙ මොකක්ද පැටියො ?"
"මැඩම් මං හොස්ටල් එකේ ඉන්නෙ... ගවුමක් ගෙනාවෙ නැහ්... "
"එතකොට මොකක්ද අදින්නෙ... ?? මං කිව්වනෙ ඊයෙ හැම ලමයටම ... "
"මැඩම් හෙට මං අම්මිට කියල .. " මට කියන්න හම්බ උනෙ එච්චරයි ...
"හොස්ටල් එකේ ඉන්න ලමයි කවුද තව ඉන්නෙ ? ඔය ලමයින්ට කලින් කියන්න තිබුනනෙ ඉන්නෙ හොස්ටල් කියල එහෙනම් මම ඔයාලව ගන්නෙ නෑනෙ මේකට... අයියෝ මන්ද .. යන්න ගිහින් ගවුමක් හොයාගෙන එන්න... නැත්නම් ඉතිං මං මෙතන ගවුම් මහන්නද ?"
අනිත් හැම ලමයටම තියෙන අයිතිවාසිකම හොස්ටල් ලමයින්ට නැතිවෙන්නේ ඇයි කියල අපිට ඒ දවස්වල තේරුනෙ නැහ්... හයවසරෙදි ඉතිං ලමයි පොඩිනෙ.. කොල්ලො කෙල්ලො පිරිසක් ඉදිරියේ අපි තුන්දෙනාගේ මූණු තුන ඇබරිලා ගියා... අමාරුවෙන් වලක්වා ගත්තු ඇඩිල්ල පන්තිය නොපෙනෙන තරමට දුවගෙන එනකොට ඉකිබිදුමක්ම උනා... මේට්‍රන් මැඩම් අපේ හොටුත් කන්දුලුත් සහිතව තිබිච්චි මූණු තුරුලු කරගත්ත... ඒ වෙලාවෙ අපෙ හොස්ටල් එකේ හිටපු ඉංග්‍රීසි මැඩම් ශශි වෙලාවට එයාගෙ රූම් එකේ හිටියා..
"කියනව සම්මානි, මොකද උනේ ?"
"නැහ් නැහ් මැඩම් නැහ් ... "
මොනා හරි වෙලා මේ මැඩම් ල දෙන්න ඇවිලුනොත් මීට වඩා එකක් කියල හිතල මම මොකුත් නොකිය ඉන්න තීරණය කලා.
ඒ උනත් මම එහෙම හිතද්දි මගෙ යාලුඑක් ඔක්කොම කිව්ව...
මැඩම් මොනාවත් කිව්වෙ නැහ් ඒ ගැන... ගිහින් හයේ අනිත් පන්තිවලත් ඉන්න ඔය එක්සි මෝසි කාටො සිංදුවට නැති සිංදු කියන්න ආස හැම ලමේක්වම එක්කන් එන්න කිව්ව මැඩම් අලුත් සිංදුවක් පුරුදු කරනව කියල... පුංචි උනත් පලිගැනීමෙ චේතනාවක් අපේ හිතෙත් ඒ වෙනකොට ඇතුල් වෙලා තිබුනෙ..
මිනිත්තු විස්සක් විතර යනකොට ගොඩාක් ලමයි එකතු කරගෙන අපි හොස්ටල් එකේ...
මැඩම් අපිට ලස්සන වෙන සිංදුවක් පුරුදු කලා... "වී ශැල්ල් ඕවර් කම් " කියල....
ඔය සින්දුවෙ අපි තුන් දෙනාට තනියෙම ගයන්නත් පුන්චි කොටස් කීපයක් තිබුන..
අන්දින ඇදුම විදියට කාටත් හොයාගන්න පුලුවන් සුදු පාට බ්ලව්ස් එකකුයි කලු සායකුයි තීරණය වුණා.. සුදු බ්ලව්ස් ඒ දවස්වල හැම හොස්ටල් ගර්ල් කෙනෙකුටම තිබුන... බුදුන් වදින වෙලාවට අදින්න...
උත්සවේ වෙලාවෙ අපේ සිංදුවත් ලස්සනට ගැයුව අපි.. ප්‍රේක්ශකයො අපිටත් අප්පුඩි ගැහුව... අර මැඩම්ගෙ බැබලි බැලි ආපු ලම්යි ටිකත් සිංදුව කියල බැහැල ගියා.. එයාලටත් අපිට වගේම අප්පුඩි ගහපු එක විතරයි වුනෙ..
එදා අර විදියට පන්තියෙන් කිච උනු අපිට සිංදුවක් කියලා දීල අපිවත් ස්ටේජ් එකට ගෙනාපු ශශි මැඩම්ට මම අදත් ගෞරව කරනව.. එදා එහෙම මැඩම් තීරණය නොකලා නම් අපිට වෙන්නෙ හූල්ල හූල්ල අරගොල්ලන්ගෙ ලස්සන බලන්න විතරක් නිසා....
තවත් දෙයක් ...... මේ කාන්ති ටීචර් වෙන කවුරුවත් නෙවෙයි. අර
කෘශිකර්ම පාඩම උගන්නපු සර් ගෙ නෝනා... .........................
ප : ලි :
නම් ගම් වෙනස් කලා.. නමුත් කථාව ඇත්ත.. මේ ලිව්වෙ සම්මානිගේ ජීවිතෙ එක් අදුරු මතකයක් ...........
තවත් එකක් අවුරුද්දක් විතර යද්දි ඇඩීමෙන් ජයග්‍රහණය කළා අපි.. අම්ම ඉස්කෝලෙට කිට්‍ටුවෙන් ගෙයක් හැදුවා.. දැන් එහේ තමා අපෙ ගම ....