අත්තම්ම කියනව, ඒත් අපි සැලෙයි ඔව්වට. කොහොමහරි අත්තම්ම ලිපට එහා පැත්තෙන් තියාගෙන විටින් විටේ ඒකට දාන කැවුම් ටික දිහා බලාගෙන ඉන්න එක තමයි අපේ වැඩේ.. වැඩිය උසත් නැති නිසා අක්කි ගෙනාවා පොඩි ස්ටූල් එක.. දැන් ඒකට නගිනව අපි දෙන්නම. හරි දැන් අපූරුවට පේනවා. දෙන්නම දගල දගල ඕක දිහා බලා ඉන්නකොට අත්තම්ම සැර කරනව..
"ඕක උඩ නටල දැන් වැටෙයි ළමයි.. !" ඒත් මොනා කිව්වත් කැවුම් නම් ලැබෙනවා..
බැන බැන් හරි අත්තම්ම අහනව
"රසද ?"
"ම්ම් තේරුන් නෑ තව එකක්... "

කිව්වා වගේම තමයි .. ටික වෙලාකින් ලිපට යටින් අත්තම්ම සීරුවට ගොඩ ගහලා තියෙන දර ගොඩෙන් දර කීරක් ඇනිලා අපි දෙන්න දගලනකොට කොහොමත් වැටෙනවා... හරි දැන් අක්කි දුවනව ඉස්සරහ මිදුලට.
වැලි දාපු මිදුලෙ කට්ටිය ගොඩක් රවුමට වාඩිවෙලා බෙල්ලො දානවා... චූටි මාම, ලොකු මාමා, ලොකු පුංචි, තව එහා ගෙදර බාප්පල... ඔක්කොම මෙතන.. අපි දෙන්නත් ඔය අස්සෙ පොඩි ඉඩකින් රිංගලා වාඩි වෙනව.. අපිට ඇහෙනව අමුතුම වචන..
"අත කාටද ? "
"පොඩි දුව දාන්න, දිනුම් ඔත්තෙයක් ද? කෝ තැන්තුව? ඒක අදින්න එපා ... "
"හරි රුපියලක් ඔට්ටුයි, වැටෙන්නෙ ඉරට්ටයක් .. "
"ඔට්ටුයි ඔත්තෙයක්.. "
එතන එක ගාලගෝට්ටියක් වගේ... ඔය අතරෙ අපිටත් බෙල්ලො කුට්ටම අල්ලන්න චාන්ස් එක එනවා...
"ඔන්න මගෙ අත දාන්නෙ චුට්ටි, "
ඒ චූටි මාමා, මාත් ඉතින් දන්න සෙල්ලම් දාල පංච කුට්ටම හොලවල දානවා...
"දිනුම් ඔත්තෙයක් ම වැටියන්.. "
චූටි මාමා ඒ අතරෙ මුමුණනවා.. වැරදිල හරි එයා දින්නොත් මට තවත් එයාට වාසනාව ගේන්න එතන ඉන්න වෙනව.. නැත්නම් කොහොමත් අපිව එලවනව..
අපි දුවගෙන එනවා. පහල ගෙදරට. එහේ ඉන්නෙ අපෙ අත්තම්මගෙ අය්ය. ඒ සීයාගෙ මිණිබිරීලා මුණුබුරාල අමුතුම තාලෙ ඔන්චිල්ලාවක් හදලා.. බෙල්ලො පොළේ වැඩිහිටියො නිසා කිසිම කරදරයක් නෑ හිතේ හැටියට ඔන්චිල්ලාව පදින්න පුලුවන්. පුදුම ඔන්චිල්ලාවක් තමයි . තනි ලණුවෙ ඔන්චිල්ලාවක්. පොඩි කන්දක් වගේ තියෙන වත්තේ උඩම ගහක හොදට ළනුවක් බැදල ලනුවෙ කෙළවරට ලෑලි කෑල්ලක් ගැට ගහල.. අමුතුයිම නේන්නම්..
ඔන්චිල්ලාව පදින්න පෝලිමෙ ඉන්න ඕනෙ.. මම පොඩි නිසා ඉස්සරහට යන්න චාන්ස් එක එනව.. ලෑලි කෑල්ල උඩ වාඩි වෙලා කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙනවා.. පිටිපස්සෙන් ඉන්න කට්ටිය තල්ලු දානවා,.. හම්මේ කන්ද පාමුල පැත්තට පැද්දීගෙන යනකොට හුස්මත් නතර වෙනව වගේ..

ටික වෙලාවකින් ටිකිරි අය්යට කල්පනාවක් එනව ටීම් එකම යන්න.. මම සුපුරුදු විදියට වාඩි වෙනව. මගෙ දෙපත්තෙන් අපෙ අක්කියි එහා ගෙදර අක්කයි වාඩිවෙනව. ඉඩ තියෙන තැන්වලින් අනිත් තුන් දෙනත් ලෑල්ලෙ එක කකුල ගානෙ තියාගෙන තනි ලණුවෙ එල්ලෙනවා. අඩි දෙක තුනයි යන්නෙ.. දඩෝන් ගාගෙන කඩාගෙන වැටෙනවා.. බෙල්ලො පොළේ හිටපු අයත් දුවගෙන එනවා සද්දෙ මොකක්ද කියල බලන්න.. ඔන්චිල්ලාව බදාගෙන හිටපු මම දුරටම ගිහින් ලණුවත් එක්ක රෝල් වෙලා යනකොට මගෙ පස්සෙන් අනිත් අයත් රෝල් වෙනව.. අවුලක් නෑ අපි හැමෝම නැගිටිනව.. දෙක තුනක් වදිනවා පුංචිලාගෙන් මාමලගෙන්..
"ඕව සුපුරුදු දේවල්නෙ.. "
"ආයි හදමු, " ඒ ටිකිරි අයියා..
අපි දෙන්න අක්කියි මායි එනවා ගෙදර.. බස් එක එන සද්දෙ ඇහිල අපි දෙන්නට එක සැරේට මතක් වෙනව මද්දු පුංචිව.. කොලඹ ඉදල එන්නේ, අනිවාර්යයෙන්ම අපිට තෑගි ගේනවා.. ආයි දුවනවා පඩි පෙළ නැගල පාරට.. එනව නේන්නම්.. සුදුපාට කම්මුල් රතු වෙලා මහන්සියට..
මහන්සි අරින්න වෙලාවක් දෙන්නෙ නෑ අපි..
"මට මොනාද ගෙනාවෙ?"
අක්කියි මායි හොරෙන් හොරෙන් ගිහින් අහනවා..
ඔන්න පුංචි පොඩි කාමරේ ඇද උඩට වෙලා අර ගෙනාපු තෑගි එක එක අදිනවා.. කොහොමත් එක වගේ ලස්සන ගවුන් දෙකක් එලියට ගන්නවා.. එක වගේම උනත් අපි පුරුද්දට වගේ රංඩු වෙනවා. හිතෙන්නෙම මගෙ එකට වඩා අනිත් එක චුට්ටක් හරි ලස්සනයි වද්ද කියල... කොහොමෞනත් කොලඹ ෆැශන් ගවුන්නෙ.. අපි හිත හදා ගන්නවා..
අක්කි දුවගෙන ගිහින් කලින්ම හදාගෙන තිබුණු ලිස්ට් එකේ මද්දු පුංචි කියන නම ඉස්සරින් හරියක් දාගන්නව.. දැන් තව තෑගි එන්න තියෙන්නෙ එක පුංචි කෙනෙක්ගෙන් විතරයි.. මොකක් ලැබෙයිද දන්නෙ නැ.. එයත් එන්නෙ කොලඹ ඉදන්.. අපි හීන මවනව..
හැමදේම වෙලාවට කරන අත්තම්ම අපි කවුරුත් පෙරටු කරගෙන පන්සල් යනවා.. ලොකු මාම යි චූටි මාමයි උණ වෙඩි දානවා..
ලිප පත්තු කරන නැකත එනකොට වෙලාව හරියට බලන්න ටී වී එක ළගකීපදෙනෙක් ඉන්නවා.. අත්තම්ම කොහොමත් විනාඩි ගානකට කලින් ඉදන්ම ලිප ලග හිටගෙන බුදුන් වැදගෙන ලෑස්තිවෙනව.. . පුංචි දර කීරි ටිකක් ලොකු දර කීරි ටිකක් තමන්ගෙ වෙලාව එනකන් අත්තම්ම එක්ක ලිප ළග ඉන්නවා. කිරි මුට්ටිය කොහොමහරි උතුරවන්න බලාගෙන තවත් කට්ටිය එතන ඉන්නවා..
කවන නැකත එනකොට ලොකු පොඩි කවුරුත් පෝලිම් ගැහෙනවා.. ආයෙත් මං ඉස්සරහම.. මංනෙ පොඩිම.. ඉතින් හරිම නැකතට හැමදාම කැවෙන්නෙ මට.. කිරිබතට දාපු හකුරුද තලද තව තව ජාති එක්ක අත්තම්ම අපි කාටත් කට කට පෝලිමේ එන හැටියට කවනව, හරිම රහයි..
දැන් ගනු දෙනු කරන වෙලාව. අපි ආසම වෙලාව.. බුලත් කොලවල ඔතල පුංචි බාප්පල මාමල ඔය කවුරුත් කාටත් ගනු දෙනු කරනව.. රුපියල් දහයක් ලැබුණොත් ඒක අපිට ලොකු දෙයක්.. වැඩ අල්ලන නැකත් කියල අම්මි කියනවා පොතක් බලන්න කියල, අලුත් අවුරුද්දෙත් බැනුම් අහන්න බැරි නිසා පරණ පොතක බලියක් වගේ එකක් ඇදල අපි ශේප් වෙනව...
හිසතෙල් ගාන නැකත එනකොට අපි හැමෝම පංසලට යනවා.. ලොකු හාමුදුරුවො තමයි ඒ වැඩේ කරන්නෙ..
ඉතින් පුංචිල ආයි යන්න ලෑස්ති වෙනවා, නිවාඩු ඉවරලු ... හිතට දුක හිතෙනවා... අවුරුදු දවස් ටික අල්ලගෙන තියාගන්න පුලුවන්නම් යන්න නොදී .....