Monday, January 23, 2012

නූරි --- 6

නූරි --- 6



"පුතේ.. ඔයා පාඩම් කරනවද ?"

රාත්‍රියේ කෑමෙන් පසුව අම්මා පැමිණ කාමරයේ දොර රෙද්ද ස්වල්පයක් මෑත් කර නූරිගෙන් විමසුවාය. ඇගේ මුහුණ කුමක් හෝ හේතුවකට කලබල සෙයක් පෙන්නුම් කලේය. මේ රාත්‍රියේ සීතල පැවතුණද ඇගේ කම්මුල් මත පිපී තිබුණු දහඩිය බිංදු නූරි භීතියට පත් කලේය. 

"ඇයි අම්මේ .. "
හෙට දිනයේ පාසලට අවශ්ය ගැටලුවක් විසදමින් සිටි ඈ හිද උන් පු‍ටුවෙන් නැගිටමින් ඇසුවාය.

"නැහ් පුතේ මං මේ ඔයාගෙන් පොඩ්ඩක් අහන්නමයි හිටියෙ දවස් කීපෙක ඉදල ...කොහෙද වෙලාවක් .. "

අම්මට කවුරුහරි මොනාවත් කියලවද්ද ? ඒත් ඉතින් මොනා කියන්නද ? මොකෝ මං සර් ගැන හිතනව කියල දන්නෙ මං විතරනෙ.. දෙය්යනෙ මං හීනෙන් වත් මොනාහරි කියෙව්වවද්ද !

"ඇ ඇයි අම්මෙ කියන්නකො මොකද මේ බයවෙලත් වගේ.. "

"පුතේ ඔයාට හෙට ආෆ්ටර් ස්කූල් ක්ලාස් ඉවර උනාම අපි පොඩ්ඩක් ඩොක්ටර් හම්බ වෙන්න යන්ද ... මගෙ මෙතන දැන් ටිකක් කාලෙක ඉන්දල හරියට රිදෙනව පුතේ... "

අම්මා ඇගේ ලැම පෙදෙස පෙන්වා නූරිට කිව්වාය. ඇගේ සියොලගම හිරිවැටිණි.

"අනේ අම්මෙ ඔච්චර කල් රිදුනනම් කලින් කියන්න එපැයි අම්මෙ .. මොකද දන්නෑනෙ .. අප්පච්චිට කිව්වෙ නැහ් ? "

"අප්පච්චි තමයි කිව්වෙ බෙහෙත් ගනිමු කියල පුතේ .. මන් ඉතින් එච්චර ගණන් ගත්තෙ නෑ ඕක.. "

"අනේ මන්ද අම්මෙ.. "

තමාට, ඔනෙල්ට පුන්චි හෝ හෙම්බිරිස්සාවක් හැදිනි නම් අම්මා කොයිතරම් අපහසුතාවයට පත්වන්නේද යන්න ඈට සිහියට නැගිණි. ඒත් ඈයට අසනීපයක්නම් කිසිම දිනේ එය පවසන්නේ නම් නැත. අනිත් අයට අසනීපය දැනී බලෙන්ම බෙහෙත් ගැනීමට අම්මාව එක්කරගෙන යෑමට සිදුවෙයි. සාමන්යයැන් සිදුවන්නේ එයයි. නමුත් අද අම්මාම පැමිණ මෙසේ පැවසීම තුලින් කියවෙනුයේ පෙනුමට වඩා අමාරුවකින් ඇය පෙලෙණ බවයැයි ඈ අනුමාන කලාය.

"එහෙනම් ඔයා ඉස්කෝලෙ ඇරිල එන වෙලාවට මන් ලෑස්තිවෙලා ඉන්නද ?"

"නැහ් එක්කො අම්මෙ අපි හෙට උදේටම යන්ද .. හෙට ඉස්කෝලෙ ඒ හැටි වැඩක් නැහ්... මැත්ස් මිස් එන්නෙත් නැහ් කියල අද කිව්ව අම්මෙ... "

"පිස්සුද ලමයො ... මට ඒ හැටි අමාරුවක් නැහ්.. අපි හවස යමු.. මං මේ යන්නෙ කෝකටත් ඉතිං හොදයිනෙ බලාගත්තම... නැත්නම් යන්න තරම් අසනීපෙකුත් නෙවෙයි මගෙ හිතෙ.. "

"අනෙ අම්මෙ නිකා ඉන්න.. අම්ම කලින් කියන්නෙ නැතුව හිටි එකනම් හොදම නෑ.... "

"බලමුකො ... "

"හ්ම්ම්ම් ... අම්ම බය වෙන්නෙපා...  "

"මං මොකට බය වෙන්නද දරුවො.... අර පොඩි එකා ඩිංගක් ලොකු වුනානම් ඕනෙ එකක්.... "

නූරිට මතක ඇති කාලෙක ඉදන්ම අම්මා කියන්නේ "අර පොඩි එකා ලොකු උනානම් මට මලත් කමක් නෑහ් " කියාය.

"ඇයි මං ??  ... මං දැන් ලොකු ඇති ... ඒක වෙන්නැති .... "


****************************************************

වයසක ආත්තම්ම කෙනෙක් ඇගේ සමීපතමයෙක් සමගින් වෛද්යවරයා මුණගැසීමට පැමිනෙයි. සිගිත්තෙකු වඩාගත් තරුණ මවක් වෛද්යවරයා සිටින කාමරයට එලියෙන් රෝගීන්ට අසුන් ගැනීමට තබා ඇති පු‍ටු පේලිවල කෙලවරම පු‍ටුවක හිදගෙන සිටී. ඒ අසල සිටින්නේ ඇගේ සහෝදරිය විය හැකි යැයි නූරි කල්පනා කලාය. ඈ අත සුරතල් සතෙකු හැඩයට මැසූ බෑගයකි. ඒ තුළ ඇත්තේ සිගිත්තාගේ කළමණා වෙන්නැයි නූරි සැක කළාය.

"නොම්මර 12...... ! කෝ ඉන්නවද ?"

"ඉන්නව මිස් ... අපි " මවගේ අතකින් අල්ලාගත් නූරි වෛද්යවරයා ‍රැදී උන් කාමරය ඇතුලට ගියාය. ඔනෙල්ද පසුපසින්ය.

"ඇයි මේ අම්ම ?"

"ඩොක්ටර් මේ කාලයක් තිස්සෙ .............."

අම්මා වෛද්යවරයාට රෝග විස්තරය පවසන විට නූරිද නොදැන සිටි කාරණා දැන ගන්නට හැකිවිය. ඇය පවසන විදියට මෙම අමාරුවෙන් ඇය වසර එක හමාරක් පමණ කලක් පෙළී ඇත. නූරිට අම්මා කෙරෙහි කේන්තියක්ද උපනි. "ඔච්චර කලක් මොකද නොකිය හිටියෙ ?"

නළල අතගාමින් කල්පනා කරමින් වෛද්යවරයා තවත් වෛද්යවරයකුගේ නම කියා ඔහුව මුණගැසීම වඩා හොද බැව් පැවසීය. කල් යාම නම් එච්චර සුබ නැතැයිද පැවසීය. ඉනික්බිති නූරි දෙසට හැරී

"අම්ම මෙච්චර අමාරුවෙන් හිටිය ඔය ලමය දන්නෙම නැද්දැයි " ඇසුවේය.. 

දත කටා පූට්ටූ වූවෙකු ලෙස නූරි බලා සිටින කල්හි ඊට උත්තර බැන්දේද අම්මාය.

වෛද්යවරයාගේ මේසය මතවූ ටෝර්ච් එකක් ඔනෙල්ට හසුවී ඇත. ඔහු එය අතපත ගාන්නට පටන් ගති. අම්මා ඔනෙල්ගේ අතට පහරක් ගසා ඔහුව නැවැත්වූවාය.

"අද මේ දොස්තර මහත්තයා ... ..... මෙතෙන්ට එන්නෙ නැහ් ... අර පේරාදෙණිය පාරේ . **** ට එනව... කෝකටත් අදම යන්න"

"නොම්මර ඉවර වෙලා තියෙයිද මන්ද ඩොක්ටර් ?"

"ඒකත් කියන්න බැහ් .. කමක් නැහ් මං කෝල් එකක් දීල කියන්නම් කො ඔය අම්ම යන්නකො ..."

වෛද්ය මද්යස්ථානයෙන් එලියට ආ විගස නූරි කලේ අප්පච්චීට දුරකථන ඇමතුමක් දී තොරතුරු පවසා පේරාදෙණිය පාරේ කියූ වෛද්ය මද්යස්ථානයට පැමිණෙන ලෙස පැවසීවමයි.

"හරි හරි ඔයාල යන්නකෝ එහෙනම් ... මං පුලුවන් තරම් ඉක්මණට එන්නම් පුතේ..  අම්මගෙන් අහන්න පුතේ අතේ සල්ලි තියෙනවද කියල "

"ඔව් අප්පච්චි අම්ම ලග තියෙනව  ... "

නුවරට ආදා සිටම නූරි නුවරට ඇලුම් කලාය. උදේට පාසල් එනවිට දකින බහිරව කන්ද බුදුපිලිමය දිහා කල්පයක් උනත් බලාසිටිය හැකියි ඇය සිතුවාය. වැව රවුමේ අසිරිය කියා නිම කල නොහැකිය. අද ඇයට ඒ කිසිත් නොපෙනුනාය.

"අනේ දෙය්යනේ අපෙ අම්මට අමාරුවක් නම් වෙන්න එපා " ඈ යැද්දාය.

හාත්පස කලුවර වැටෙද්දී අදාළ වෛද්ය මද්යස්ථානයට ලගා වූ ඔවුනට කලින් ජයසේන මහතා පැමිණ සිටීම නූරිටත් මවටත් හිතට සහනයක් වූයේය.

"ඕගොල්ලො පරක්කු වෙනකොට මං නොම්මරයක් ගත්ත"

"ඒක හොදයි අප්පච්චි ... "

අදාල නොම්මරය කතාකළවිට අම්මා සම්ගින් අප්පච්චි ඇතුළට ගිය හෙයින් නූරි මල්ලිත් සම්ගින් මද්යස්ථානය ඉදිරිපස වූ මාලු ටැංකියේ විසිතුරු බැලුවාය.

"අක්කි මේ මොන මාලුවාද ? "

"ඌ කැට් ‍ෆිශ්"

"එතකොට අරකා ?"

"ඌත් ඒවයෙන් එකෙක් තමයි ... "

"එතකොට මූ ?" ඔනෙල් ඇසුවේ ටැංකියේ බිත්තියටම ඇලී බිත්තිය ලෙවකමින් සිටි ක්ලීනර් මාලුවෙක් මත ටැංකිය පිටපැත්තෙන් ඔහුගේ මුව තබමින්ය.

 "චික් මල්ලි ගන්නව කට අහකට... මොන ජරාවද මන්ද ?"

"අපිත් මාලු ටැංකියක් ගෙදර හදමුද අක්කි ... අප්පච්චිට කියමුද ? "

"ඔව් ඔව් ඒක විතරනෙ මල්ලි අපිට අඩු ... මේ වෙලාවෙ අනික ඉක්මනටම "

නූරිට මල්ලි ගැන දුක සිතිණි. අම්ම ලෙඩ වෙන්නනම් එපා දෙය්යනේ ... අම්මට විතරක් නෙවෙයි "මේ පොඩි එකා ඩිංගක් ලොකු වුනාම මටත් මැරෙන්න බය නෑ "
ඈ ජීවිතේ ප්‍රථම වතාවට ඔනෙල් දෙස බලමින් සිතුවාය.

10 comments:

  1. නූරි කතාවනම් ලස්සනම ලස්සනයි.ඔයා මේ කතාව ලස්සනට ලියනව.හිනායන තැන් වගේම දුක හිතෙන තැන් එහෙමත් ලස්සනට ලියල තියෙනව.අර මාළුවො ගැන අහන තැනදිනම් මටත් හිනා ගියා...

    //නූරිට මල්ලි ගැන දුක සිතිණි. අම්ම ලෙඩ වෙන්නනම් එපා දෙයියනේ ... අම්මට විතරක් නෙවෙයි "මේ පොඩි එකා ඩිංගක් ලොකු වුනාම මටත් මැරෙන්න බය නෑ "ඈ ජීවිතේ ප්‍රථම වතාවට ඔනෙල් දෙස බලමින් සිතුවාය.//

    නූරි එයාගෙ පවුලෙ අය ගැන කොච්චර හිතනවද.මේ කොටස කියවද්දි මටත් දුක හිතුනා.ලස්සනයි.ඊළඟ කොටසත් ඉක්මනින් දාන්න බලන්න.

    ReplyDelete
  2. අපොයි... එහෙම නරක දෙයක් වෙන එකක් නැහැ !

    ReplyDelete
  3. අනේ මට ගොඩාක් දුක හිතුනා :(((

    ReplyDelete
  4. ලස්සන කතාවක් අදමයි ආවෙ..දිගටම එන්නම්..

    ReplyDelete
  5. කතාව අමුතු පැත්තකට යනවා වගේ... දිගටම ලියන්ඩ.. ඉතුරු කොටස් එනකම් බලගන ඉන්නේ..

    ReplyDelete
  6. ඔය දැන් මොකද වැඩිය පෙන්න නැත්තේ..

    ReplyDelete
  7. @ සිහින : බොහොම ස්තුති සිහින... කියවන ඔයාලට මං දෙන්න හදන දේ වැටහුණානම් නිර්මාණය යම්තාක් දුරට සාර්ථක ඇතිය කියා හිතනවා.... ඊලග කොටස අද හවසට දෙන්න ට්‍රයි කරනවා ....

    @ සෑම් : අපි බලමු .... ස්තුති .... සෑම් ඔයාගෙ බ්ලොග් එකට යන්න මට බැහැ.. ට්‍රයි කලා කලා හරි යන්නෙ නෑ .. මං මොකක්ද කරන්න ඕනෙ ... ?

    @ වර්ණා : ඕකනෙ ඉතින් බැරි , දුක් වෙන්න එපා... :)

    @ මන්දාකිණි : සාදරයෙන් පිලිගනිමි ..... දිගටම එන්න ...

    @ සෙන්නා: හිහ් අමුතු පැත්තකට ?? සාමන්ය දියණියකගේ අදුරු මතකයන් අකුරු කරන්වා විතරයි සෙන්නා... මේ වගේ දේවල් ලෝකෙ කොච්චර වෙනවද ! ස්තුති ....

    @ අසරණයා : හිහිහ් ... බිසී බං බිසී .... නූරි ටයිප් කරගන්නෙත් මීටිංග් එකකට දුවලා ආපු ඇසිල්ලෙ ! ඉතින් කොහෙද ඒ හැටි වෙලාව බ්ලොගේ ‍රැදෙන්න... හැබැයි පොඩි ඉඩක් හරි හම්බ උනොත් කොම්පියුටරෙ බ්ලොග්ම තමයි...

    ReplyDelete
  8. මම අද එක වෙලා...හුරේ මට ජයවේවා!!!!

    ReplyDelete
  9. @ සිහින : හිහිහ් ........ නූරි 7 දැම්ම ...

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....