Wednesday, March 21, 2012

කෝ කොහිද කවුරුන්ද මේ වෙනස ඇති කළේ !

අහස සිඹින නෙක බිල්ඩිම් මැද්දේ
දවස ගෙවන නෙක තත්පර මැද්දේ
හවස දිනක් ගේ තුළ දී සද්දේ
දෙබස මතක් විය කවියෙන් විද්දේ ........

හවහට හෙමිහිට පුතු ගෙන උකුලට
හැඩේට ළංකොට පොඩි පුතු සිරුරට
කාලෙට වුණු දේ විය පවසන්නට
අපහට වුණි එය අහගෙන ඉන්නට ......

දසක අටක් වයසයි අත්තම්මා
දසක පහක් වෙයි මගෙ සුදු අම්මා
දසක තුනක් වත් මට නැත නිම්මා
දෙබස පටන් ගති අපි තුන් අම්මා .....

අත්තම්මා :
කන්ද උඩින් ඉර එබෙන්න පළමුව
නින්ද මතින් අපි නැගිටල විදි සුව
මන්ද උඹල මේ කරනා විහිලුව
ඉර දු‍ටු විට හිස පොරවයි තව තව !

නදේ සියොත් මැද ළිදට දිව්ව අපි
වදේ නොකිය ලිං දියත් ඇද්ද අපි
පදේ මොටද මගෙ අනේ අහෝ තොපි
බාත් රූම් මිස ළිදට යයිද තොපි !

අම්මා :
පාසැලට ගුරු පාර දිගේ ඇවිදන් එදා
සීරුවට අඩි තබා ගියෙමු ඒ අපි එදා
පූරුවට කල පවක්දෝ සිතේ මට මෙදා
උඹලාට අඩි දෙකට වාහනය හුරු මෙදා !

අත්තම්මා :
සිල් ගන්න පෝ දාට නැතේ අදිමදි කළේ
මල් පුදා බුදුන් හා දෙගුරුන්ට පෙම් කළේ
ගල් ලෑලි ගල් කූරු පමණකිය රජ කළේ
පොල් මල්ල වැනි බරක් පොඩි පිටේ අද කළේ !

අම්මා :
හූණු බිජු රසකැවිලි රස බැලුව අපි එදා
සත දෙකේ සියඹලා ගුලි ගිලපු ඒ එදා
පීසා ද මැකරෝනි විශ ගිලින මේ මෙදා
බලයෙන්ම ලෙඩ බදාගෙන විදිති දුක් සදා ......

නැතත් කිසි කෙනෙක් ගං දියට පැන නැටූ අපි
පාර දෙක වදින විට අඩ අඩා දුවපු අපි
පූල් එක මිස පැටව් දානවද ගගට අපි
අහෝ ඇයි නැති කළේ සොදුරු බව උන්ට අපි !

අත්තම්මා:
රාස්සිගෙ අව් ‍රැල්ල මිදුල සිප ගන්නවිට
ගම පුරා කුප්පිවල එලිය විහිදෙනා විට
හැම දෙනා ගෙට අවුත් එකතු වෙයි පිල උඩට
ඩොලැක්කය ගහන විට අපි ගයමු හරි හැඩට .....

ඩොලැක්කේ ගියත් විසිවෙමින් කුණු බක්කියට
ගිටාරේ ගේනවලු සුවය අද පැටි උන්ට
අපි එකල ටීටරේ නාට්ටිය බැලුවාට
දැන් උන්ට නාට්ටිය ගේනවලු සාලයට !

අම්මා :
පාසලේ සිට සෙමෙන් ඇවිද ආ යාලුවෝ
දෙපා පොඩි ඇලට දා කොටනතුරු මාලුවෝ
වේලි වල තිබුණු ඒ බිගු කැදලි හෑරුවෝ
අහෝ නැත දැන් උන්ට ඒ සොදුරු කාලයෝ !

අත්තම්මා:
කාලයේ ඇවෑමය අමුතු දේ සිදු කළේ
බාලයේ සොදුරු  බව ඇයි උන්ට නැති කළේ
තාලයේ හැටි ගමන නැතේ සුබ මේ කලේ
කෝ කොහිද කවුරුන්ද මේ වෙනස ඇති කළේ !

24 comments:

  1. හොඳ ප්‍රශ්ණයක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ප්‍රශ්නෙනම් වරදක් නෑ.. ඒත් පිළිතුරු නැත.

      Delete
  2. එක පාරක් කියෙව්වා ලස්සන අදහස්..ආයෙමත් හෙමින් කියවන්න ඕනෙ....

    ReplyDelete
    Replies
    1. කිරිල්ලියේ කියවන්න... අපි පුංචි කාලෙ වින්ද ලස්සන ජීවිතේ ආයෙත් මතකයට ඒවි ...

      Delete
  3. දෙබස පටන් ගන්නවා කිව්වේ තුන් අම්මා
    නොමැත තුන් දෙනෙක් නම් ගැන ගන්නට ලැබිලා
    දසක තුනක් වත් වයසක් නැති අම්මා
    කිම ගොලු වුනේ මේ ඒ අම්මලාගේ කවි හන්දා.....?

    ReplyDelete
    Replies
    1. දෙබස පටන්ගති අපි තුන් අම්මා
      හවස වෙලාවක ඉදගෙන පෙම්මා
      දිගට දිගට ලියු කවි වැඩි වෙම්මා
      මංම මගේ කවි මකලා දැම්මා ..........

      Delete
  4. මට හිතෙන විදියට තව ටිකක් කල් යද්දි පොඩිඋන්ට සුන්දර ලමාවියක් නැතිවෙයි.

    කෙලිදෙලෙන් ගතකලා අපි අපේ බාලේ
    සතුට ඉතිරී ගියා අපෙ පුංචි කාලේ
    මේ තමයි දැන් කාලෙ උන් දන්න තාලේ
    සොයති උන් ලමාවිය පීරලා ජාලේ

    ReplyDelete
    Replies
    1. හැතැම්මක් විතර දුර පාසැලට ගිය පයින්
      ගුරු පාර දිගට තිබු මඩ කඩිති පහු කරන්
      පොත් බෑග පාර මත තබා ගියෙ එය ඇදන්
      පාර මත තිබු ගලක් ගුටි කෑව අප පයින් ...

      අපි විදපු ඒ සුවය ජාලෙකින් ලබන්නද
      අපි බලපු බිගු කැදලි පොකුණු අද තියෙනවද
      අපි ලබපු ඒ සොදුරු මතකයන් මැරෙනවද
      අපි අපිට හැකි පමණ යළිදු එය නංවමුද ! ....

      Delete
  5. ඇත්තටම අපූරු කවි ගැලපුමක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් ....

      Delete
  6. නියමයි.. හිතන්න දෙයක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම් ....

      Delete
  7. කියල නිමකරන්න බැරි ප්‍රශ්නයක්.තව ටිකක් දිග් වුනානම් කවිය තවත් නියමයි.තීන දෙනාගේම කුඩා කලේ ටික ටික වෙනස් වෙච්ච අපුරුව.

    ReplyDelete
    Replies
    1. මම කවි ගොඩක් ලිව්වා අසර්.. ඒත් ඕනවට වඩා දිග උණාම කියවන්න කම්මැලි නිසා කපල දැම්ම .... ස්තුති ඔයාටත් ...

      Delete
  8. Hamadama awith kiyawaala yanawa. Ithin hithuna ada liyanna mona hari.
    Lassanai kavi tika. Dasaka 3 k passata gihin nawathenawanam. Asai e atheethayata.
    Kumari...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව ඔයාවත්... අපි කවුරුත් අතීතයට කොච්චර ආසද නේද ?

      Delete
  9. මේක නම් හොද ප්‍රශ්ණයක් තමා...ඒත් ඉතින් කාලයත් එක්ක ඔය දේවල් වෙනස් වෙන එක නවත්වන්නත් බැහැ නේද?
    අපේ වැඩිහිටියො හිතන්නෙ එයාලා හිටපු වගේ පරිසරයක අපිත් ඉන්න ඕන කියලා.අපි හිතන්නෙ අපි ඉන්න වගේ පරිසරයක් ඊලග පරම්පරාව ඉන්න ඕන කියලා.ඒත් ඔය දෙකම වෙන්නෙ නැහැනේ.

    වෙනස් වීමට හැඩගැහෙන එක තමා හොදම දේ..(මම හිතන විදියට) :)

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියොයි අපියි හැමෝම එහෙම හිතන්නෙ ඇත්තටම අපේ අතීතය සුන්දර නිසානෙ...

      ඉතින් අපි අපේ ළමයින්ටත් හොදම දේ දෙන්න ආස නිසා අපේ අතීතය වගේ සුන්දර ලෝකයක් දෙන්න තියෙනවනම් ආසයි .. ඒත් ඒක ප්‍රායෝගික නෑ..

      මට ඉන්නව මගෙ පුංචිලගෙ නංගිල මල්ලිල මට වඩා ගොඩාක් පොඩි.. මං එයාලට අපේ අතීතයෙ ලස්සන කියනවිට මල්ලි නම් ආසවෙන් අහගෙන ඉන්නවා. නංග කියනව "අනේ, ඔයා බොරු කියන්න එපා, ලයිට් නැතුව කොහොමද අනේ හිටියෙ ? " කියල... ඔන්න පංඩිතකම ...
      එයාල දැනටම වෙනස් වෙලා ..

      Delete
  10. රාස්සිගෙ අව් ‍රැල්ල මිදුල සිප ගන්නවිට
    ගම පුරා කුප්පිවල එලිය විහිදෙනා විට
    හැම දෙනා ගෙට අවුත් එකතු වෙයි පිල උඩට
    ඩොලැක්කය ගහන විට අපි ගයමු හරි හැඩට ..

    මේ වගේ අවස්ථාවක් මටත් තියෙනම් කොයි තරම් සුන්දරද මේ ගෙවන කාර්යබහුල ජීවිත වලට වඩා..

    කවි ටිකනම් සුපිරියි සම්මානි..තව කාලයක් යද්දි අපේ දරුවන්ගෙ ජීවිත මොන විදියට වෙනස් වෙයිද කියල හිතාගන්නත් අමාරුයි නේද..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත් රූ,

      අනාගතේ ගැන අනුමාන කරන්න බැහැ මේ යන ‍රැල්ලෙ හැටියට...

      Delete
  11. වෙනස් නොවෙන දේවල් පවතින්න බෑනේ!ඒ උණත් හොද විදියට වෙනස් වෙනවනම් තමයි හොද!:)

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒත් හොද විදියට නෙවෙයිනෙ මේ වෙනස්කම් වෙන්නෙ ..

      Delete
  12. ලස්සන කවි පංතියක්.. ඔයා කියපු නිසා මේ කවි පෙළේ මං දැකපු ආකෘතිමය දෝෂ කීපයකුත් හොඳ ලක්ෂණ කීපයකුත් පෙන්වන්නම්.. අන්තර්ගතය ගත්තාම ඉතා ඉහල අර්ථ රසයක් දැනෙණ බව කියන්නම අවශ්‍යයි..

    ඒ වගේම බොහෝ තැන් වල එළිවැට යොදා ගන්න උත්සාහ කර තිබීම දක්ෂතාවයක් ලෙස දකින්න පුළුවන්.. ඒ වගේම ඇතැම් පද වල එළිවැට බිඳ ගැනීමෙන් පේන්නේ එළිවැට ට වහල් වෙලා නැති බවයි.. එය සමස්ථ කවි පංතිය සැලකුවාම සාධනීය ලක්ෂණයක් විදිහටයි මං දකින්නේ.. මන්ද එළිවැට කවියට එළියක් දීම පිණිස මිස කවියේ අදහසට හානි වෙනවා නම් එළිවැට අත හැරීම අවශ්‍යයි..


    එක් කවියක යවහන් දෝෂය තියෙනවා..

    එහෙත් මෙවන් විරිත් වලදී එළිසමය අත්‍යවශ්‍ය වන නිසා ඒ සම්බන්ධයෙන් තව පොඩියක් අවධානය යොමු කළත් කමක් නෑ කියලා හිතෙනවා.. ඒ කියන්නේ සමහර තැන් වල එළිසම රැකීම සඳහා අර්ථයෙන් එතරම් නොගැලපෙන වචන එකතු කරලා තියෙනවා මං දැක්කා.. ඒ වගේම ඇතැම් තැනක එළිසම ත් අතහැරිලා තිබුණා...

    "දෙබස පටන් ගති අපි තුන් අම්මා" කියද්දී අම්මා කියන වචනය ඒ තරම් නොගැලපෙන බවයි මට හිතෙන්නේ..
    "මුල පිරුවා දෙබසට අත්තම්මා" වගේ පදයක් දැම්මා නම් එම සුළු දොසත් ඇති වන්නේ නෑ.. ඔබේ කවි පදය විකෘති කළාට සමා වෙන්න..

    "අහෝ නැත දැන් උන්ට ඒ සොදුරු කාලයෝ!" කියද්දී එළිසම මඟ හැරිලා..

    ඒ වගේම ඒ කවියේ දිත් මුල් ගුර බිඳීම කියන දෝසය තියෙනවා.. ඒ කියන්නෙ කවියක යම් පදයක මුල් අකුර "ගුරු" හෙවත් ඇදෙන අක්ෂරයක් වෙනවා නම් ඉතිරි පද වලත් ගුරු අකුරු ම යෙදිය යුතුයි කියලා නියමයක් තියෙනවා.. ඇත්ත වශයෙන්ම මුල් ගුර බිඳීමෙන් කවියේ රසයට සැලකිය යුතු හානියක් වෙනවා..

    මේ වගේ චූටි චූටි කාරණා කීපයක් හැර සම්මානි ගේ නිර්මාණය සම්මානයක් දෙන්න පුළුවන් තරම් සුන්දර කවි පෙළක් බව කියන්න ඕන...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති, ලොකු විග්‍රහයක්.. එළිවැට එළිසමය පිළිබද වැඩිදුර තොරතුරු හොයාගන්න ඔබේ බ්ලොග් එකට එන්න ඕනෙ.. ඊට පසුව තවත් සාර්ථක නිර්මාණයකට මහන්සි වෙන්න ඕනෙ. නැවතත් ස්තුති ඔබට ..

      Delete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....